|
සැබෑ මම නොදැක කණයො පිනුම් ගහනවා
ජොලි සීයා නඩු දමයි
ජොලි සීයාට අනන්‍ය වූ අංග රචනා කිහිපයක් තියෙනවා. රැව්ල, කොණ්ඩය, සංග්ලාස් දෙක සහ ඇඳුම. මම ඒවා ටික බුද්ධිමය දේපළ පනත යටතේ රෙජිස්ටර් කළා. අංක 03 -188/52, යටතේ 1853 දරණ පනතෙන් 2014, 03. 07 දින ගැසට් කරලා තියෙනවා ඒක ගැන.
ඇයි එක පාරටම මේ වගේ තීරණයක් ගත්තේ? මේක ක්ෂණිකව ගත්තු තීරණයක් නෙවෙයි. සෑහෙන්න කල් ඉඳලා හිතාගෙන හිටපු එකක්. ජොලි සීයා විදිහට ඇඳගෙන සෑහෙන්න දෙනෙක ස්ටේජ් නගිනවා. ඇතැම් අය මගේ ගානට වඩා අඩු මුදලකටයි සිං කරන්නේ. ජොලි සීයා කියන නමම පාවිච්චි කරන අයත් ඉන්නවා. මං ඔවුන්ට කාලයක් තිස්සේ අවවාද කළා එහෙම කරන්න එපා කියලා. ගායනය මගේ වෘත්තීය. ඒ අය කරන්නේ මට බඩේ පහර ගහන එක. ජොලි සීයාව ජනප්‍රිය තත්ත්වයට ගෙන්න මම කොච්චර කැපවීම් කළා ද කියන එක මම විතරයි දන්නේ.
කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ මෙය ඊර්ෂ්‍යාවට කරපු වැඩක් කියලා? මොන පිස්සුද මල්ලී. මාව අනුකරණය කරන අය ගැන මම තරම් සතුටු වුණු කෙනෙක් තවත් නැතුව ඇති. හැබැයි ජොලි සීයා වසංගතයක් එයි කියලා නම් මම ජීවිතේට හිතුවේ නැහැ. සමහර බෑන්ඩ්වල කොල්ලො කතා කර කර කියනවා අයියේ ඔයා වගේ කෙනෙක් ඊයේ සිං කරන්න ස්ටේජ් නැගලා සිංදු කෑවා කියලා. බෑන්ඩ් එකේ අය හිතාගෙන ඉඳලා තියෙන්නේ මම කියලලු. ඔය වගේ සිද්ධි කිහිපයක්ම ආරංචි වුණා. ඒ විතරක් නෙවෙයි ජොලි සීයා විදිහට ස්ටේජ් නගින වැඩි දෙනෙක් අසභ්‍ය වදන් කියනවලු. මේවා දකින අහන මිනිස්සු මොකද මම ගැන හිතන්නේ. මට එන්න එන්න ෂෝස් අඩු වුණා. ඇතැම් කාලවල්වලදී ෂෝස් නැත්තටම නැහැ. ඉතින් මම ගත්තු තීරණය අසාධාරණද කියන්නකෝ. කවුරු හරහාද ඔබ මෙවන් වූ නීතිමය ක්‍රියා මාර්ගයක් ගත්තේ?
නීතියට අනුව ඔබ විදිහට ගී ගැයුවොත් සහ ජොලි සීයාට ඇන්දොත් ඒ අයට මොකද වෙන්නේ? අවුරුද්දකට හිරේ දානවා. ඒ වගේම අවුරුදු පහක් යනකම් ජොලි සීයාගේ සිංදු කියන්න තහනම්. දැනට එවන් වූ ඩුබ්ලිකේට් ජොලි සීයලා නීතියේ රැහැනට කොටු කර ගන්න පුළුවන් වෙලා තියෙනවාද? ඔව්. දැනටත් හතර දෙනෙක් ඇල්ලුවා. තව අට දෙනෙක් විතර ඉන්නවා. ඒ අයවත් රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගනීවි.
මේ වගේ ක්‍රියා මාර්ග ගනිද්දී එක එක අයගෙන් තර්ජන එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔබත් එවන් තත්ත්වයකට ලක් වුණාද? මොකද නැත්තේ. මට කෝල්ස් එනවා ඉවරයක් නැහැ. අතපය කඩනවලු. දිව කපනවලු. මම ඕවට පසුබහින කෙනෙක් නෙවෙයි. ගෙදර අය නම් ඒ වගේ තර්ජන ආවම මාව ගෙදරින් එළියට බස්ස වන්නේ නැහැ.
නීතියට අනුව ගීතයක අයිතිය ඇත්තේ ගී පද රචකයාට සහ සංගීතඥයාට. ඔවුන්ගෙන් අවසරය අරගෙන අනෙක් ජොලි සීයලා සිංදු කියන්න පටන් ගත්තොත්? මගේ ගොඩක් ගීතවල තනු නිර්මාණය මගේ. ඒ වගේම මම ගයන මගේ පද රචනාත් තියෙනවා. මේ වන විට අර ලෝකල් කට්ටිය වැඩිපුරම ගයන්නේ බජාර් එකේ ලලක්කා ගීතය. එය රචනා කළේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු. මම හිතන්නේ නැහැ කීයටවත් ඔහු ඒක අරගොල්ලන්ට විකුණයි කියලා. කමල් බියන්විල, ශෙහාන් ගලහිටියාව, නැසී ගිය හේමසිරි හල්පිට සහ හෙන්රි කල්දේරා මට ගීත ලියලා තියෙනවා. මම හිතන්නේ ජීවතුන් අතර නැති අයගේ වුණත් ගී පද ඔය වගේ අයට ලබා දෙන්න තරම් පහත් තත්ත්වයකට ඒවාහි අයිතිකරුවන් වැටෙයි කියලා.
කොහොමද මේ ජොලි සීයාගේ සංකල්පය ඔබේ ඔළුවට එන්නේ? මම කාලයක් බෑන්ඩ්වල සිං කළා. කිව්වේ අමරදේව මාස්ටර්, ටී. එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි මහත්වරුන්ගේ සිංදු. ඒ අයගේ ගීත මගේ කටහඬින් අහන්න මිනිස්සු කැමැති නැහැනෙ. ඉතින් මට හිතුණා මගේ අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න. වයසක අයත් තරුණ වෙන්න උත්සාහ කරන කාලේ තරුණ මම වයසට ගියොත් කොහොමට හිටීවි ද කියලා හිතුණා. ඔන්න මම එක දවසක් සීයා කෙනෙක් විදිහට ඇඳගෙන බලෙන්ම වගේ ස්ටේජ් එකට නැග්ගා. එදා සිං කරලා බහිද්දී අප අතරින් වියෝ වූ නෙල්සන් අබේකෝන් තමයි කිව්වේ මේ චරිතය දිගින් දිගටම කරන්න කියලා. ජොලි සීයාගේ රැව්ල, කොණ්ඩෙ සකස් කර දුන්නේ මගේ බිරිය උමංගා. මුලින්ම ජොලි සීයා ස්ටේජ් එකට නැග්ගේ රුපියල් 250 කට. ඒ මීට වසර 25 කට විතර කලින්.
ඔබේ සැබෑ ස්වරූපය වැඩි දෙනෙකු හඳුනන්නේ නැහැ. මේ නිසා ඔබට හිත් රිදීම් එහෙම ඇති වෙලා ඇති? හිත් රිදීම් නම් අනන්තයි. ඔන්න දවසක් ස්ටේජ් එකක් ගාව මම ඉද්දී මාව පෙන්න පෙන්න මිනිස්සු දෙන්නෙක් මට බනිනවා. ‘අන්න අරූ තමයි හොර ජොලියා’ කියලා. මම එදා ගැසට් පත්‍රය පෙන්නුවා. ඒ අයට කට උත්තර නැහැ. තව දවසක් මාව සන්දර්ශනයක දොරටුවකින් ඇතුළට ගත්තේ නැහැ අඳුර ගන්නේ නැතුව. මාව සැබෑවට අඳුනන්නේ නැති හින්දයි ඔය කණයො ටික පිනුම් ගහන්නේ.
මොනවද ඔබේ අලුත් නිර්මාණ? මම සී ඩී එකක් අවුට් කරනවා ඩෙඟා ඩෙඟා නම් වූ එහි මගේ ජනප්‍රිය ගීත දෙක තුනක් සහ අලුත්ම නිර්මාණ කිහිපයක් ඇතුළත්. මගේ සී. ඩී. හොරට ගහන දෙතුන් දෙනෙකුව මගේ අතටම අසු වුණා. ඔවුනටත් මම නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා.
|