වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




නෙථම් මලක් අදත් පිපේ සිරස නමා කලා වැවට

නෙථම් මලක් අදත් පිපේ සිරස නමා කලා වැවට

මහින්ද දිසානායක

සිය හදවත රැඳුණු මතක මං පෙත් අතර ඔබගේ සිත සැරිසරන අයුරු පිළිබඳ ඔබ මඳක් සිතුවේද? එසේ නම් මේ ගෙනහැර පාන්නේ ඒ මතක මංපෙතෙහි සැරිසරන කලාකරුවන්ගේ හැඟීම් සමුදායකි. ඒ හැඟීම් සමුදාය සමඟ මෙවර මතක ගී පොතට සහභාගි වන්නේ ප්‍රවීණ ගේය පද රචක මහින්ද දිසානායකයි.

අලුයම පටන් අහස්කුස විහිඳුණු කිරි කොකුන්ගේ සුදු පැහැය සිහි ගන්වන සුදු වලාපෙළ අතුරුදන්ව සන්ධ්‍යා වලාපෙළ අහස් කුසෙහි නවාතැන් ගෙන ඇත. ඒ දවස තිස්සේම වෙහෙස මහන්සි වූ සුදු වලාපෙළට ගිමන් නිවන්නට ඉඩහසර පාදමිනි. හෝරා කිහිපයක් ගතවුණා පමණි.

හදිසියේම වලාපෙළ පළවා හරිමින් අරක් ගන්නට තැත් කරන තැනින් තැන විසිරී ඇති කථ වලාපෙළ මගේ සිහියට නඟන්නේ ඇත් රෑනකි.ඒ අතරතුර කූඹිච්චන්කුලම වැව පිස හමන මද සුළඟ අවට සැරිසරන්නේ මිදුලෙහි සක්මනෙහි යෙදී සිටින මගේ ගතෙහිද හැපෙමිනි. ඉන් ගතට මෙන්ම සිතට ද ගෙනෙන්නේ සුවදායක හැඟීම් සමුදායක් බව සැබෑ ය. නමුදු මේ මදනලෙහි වෙනදා නැති යමක් සැංඟී ඇතැයි වරෙක මට සිතේ. මම ඒ සිතුවිල්ලෙන්ම වෙලෙමින් දිගින් දිගටම සක්මනෙහි යෙදුනෙමි. මගේ සිතට පිවිසියේ නුඹමය. අප්පච්චී, නුඹගේ සෙනෙහසම ය.

සත්දෙනෙකුගෙන් යුත් දරු කැළ අතර මම සයවැනියා වීමි. අප සියලුදෙනාටම පෑ ඒ නුඹගේ සෙනෙහස මේ වේලෙහි සිහිපත් වනවිට මගේ මතකයට නැඟෙන්නේ වැව් බැම්මකි. වැව් ජලයෙහි රඳා පැවැත්ම සිදුවනුයේ මේ යෝධ වැව් බැම්ම නිසා ය. නුඹ අපට එවැනි යෝධ වැව් බැම්මක් සේ වීය. අද අප යම් තැනක සිටින්නේ ද ඒ නුඹ වැනි වූ යෝධ වැව් බැම්ම නිසා නොවේදැයි සිහිපත් වනවිට නම් මගේ නෙතට පිවිසෙන්නේ කඳුළකි.

නුඹගේ හදවත රැඳුණු සෙනෙහෙදම කෙතරම් ද යත්, කිසිවෙකුටත් එහි තරම වචන පෙළකින් හෙළි කිරීමට තරම් නුඹ මැළි වුවද දරුවන් කිහිපදෙනෙකුගේ පියෙකු ලෙස ඒ කොතරම් වී දැයි මට වැටහුණේ මගේ කුථදුල් පුතු උපන් දිනයේය. ලොවටම රහසෙන් එහි සොඳුරු බව විඳිද්දී නුඹ ද එසේ හදවත සිරකර ගත් සෙනෙහෙදමෙන් කාලය ගත කළ අයුරු මට මැවි මැවී පෙනේ.

අම්මාගේ අහිමිවීම සිදුවනවිට මම සත් වියැති දරුවෙක් වීමි. දරුවන් සත්දෙනෙකු සමඟ ඔබ තනිකර ඇය අප අතැර ගියේ නොසිතූ මොහොතකය. නුඹ ඒ සියලු දුක්ඛ දෝමනස්ස සිතෙහි දරා අප ඇති දැඩි කළා පමණක් නොව, මනා අධ්‍යාපනයක් ලබා දී අප යහමඟට යොමු කළේ සිය වගකීම නියම අයුරෙන් හඳුනාගත් පියෙකු විලසිනි.

ආර්ථික වශයෙන් බොහෝ දුෂ්කර අඩියක සිටි අපගේ කුස පිරවීමට නුඹ ගත් වෙහෙස කෙතරම් දැයි මට සිහිපත් වන්නේ නිතැතිනි. එක් අයකු, දෙදෙනෙකුගේ නොව සත් දෙනෙකුගේම කුස පිරවීමට තනිව වෙහෙසීමට නුඹට සිදුවූයේ දෛවයේ සරදමකට මෙන් යැයි නොයෙක් වර මට සිතෙයි. එනමුදු නුඹ ඒ දෛවයට අභියෝග කළ අයුරු වරෙක මා පුදුමයට පත් කරනුයේ අතීතය සොයා යන එක් නිමේෂයකදීය.

අප වගා කළේ අහස් දියෙනි. කුඹුරු අස්වද්දන්නට ජලය හිඟ වූ එකල නුඹ එයට යෙදූ ප්‍රතිකර්මය අපූරුය. නුඹත් දෙවැනි අයියාත් පාළුගම තිබූ අප හේන අසලෙන් වැවක් කැපූ අයුරු මට අද මෙන් මතකය. අක්කර ගණනක් ඈතට විහිදී ගිය කුඹුරු යායත්, ඉරිඟු, මිරිස්, බණ්ඩක්කා, තියඹරා ආදී බෝගවලින් පිරී ඉතිරී ගිය හේනත් ඵල දැරූයේ නුඹගේ මහන්සියෙහි ප්‍රතිඵලයෙනි. සියලු ඵලදාව නෙලා ගන්නට හැකි අයුරෙන් එක් තැනක් තෝරා ගත් නුඹ වැව කැපීම ඇරැඹූ අයුරු මගේ නෙතට විද්‍යාමාන වෙයි. ඊට පොඩි අයියා ද එක් වූ අයුරු මගේ මතකයෙහි ලියැ වී තිබේ.

ඒ සියල්ල නුඹගේ සිතැඟි පරිදි ඉටු කරන්නට අයියලාගෙන් ලැබුණු සහයෝගය මෙහිදී සිහිපත් කළ යුතුය. අද ද ඒ පාළුගම අපගේ නින්දගමකි. නුඹගේ ඒ කටයුත්ත කෙතරම් මල්ඵල දැරුවේ ද යත් අද පරම්පරාවට ද සිය කුඹුරු අස්වද්දනුයේ නුඹ එකල තැනූ වැවෙනි. එවැනි විස්ම කර්මයක් කරන්නට සුපතල වූ දැනුමකින් නුඹ පොහොසත් වූ අයුරු කදිමය. අස්වනු කපා ගන්නට පෙර එහි පිවිසෙන මම මුළු හේන්යායේම ඇවිදින්නේ ඉමහත් සතුටකින් හදවත සනසාගෙනය. පැසීගෙන එන ඉරිඟු කරල් කිහිපයක් කඩා ගනිමින් පුච්චා නුඹ මට කන්නට දෙන්නේ එය එකල මගේ ප්‍රියතම ආහාරයක් බව නුඹ දත් නිසාමය. වතුර තිබහට තියඹරා ගෙඩියක් කඩා ගන්නා මා එය හප හපා එහි රස බලන අයුරු නුඹ බලා සිටින්නේ අපිරිමිත සෙනෙහසෙනි. එකල ඒ තියඹරා ගෙඩියෙහි රසය නිම වී තිබුණේ නුඹගේ සෙනෙහෙස ද මෙහි රසය ද එක් කරමින් බව දැන් මට සිතෙන්නේ අද තියඹරා ගෙඩියක එවන් රසයක් මට නොදැනෙන බැවිනි.

වරක් මා ගිතෙල් උණු කරන බඳුනකට වැටුණේ අහම්බයෙනි. රථ වාහන නොවූ හරි හමන් පාරක් තොටත් නොවූ එකල වූ එකම වාහනය වූයේ තිරික්කලයයි. මා උස්සා ගත් නුඹ තිරික්කලයකට දමා සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි වෙද ගෙදරට රැගෙන ගියේ ඉක්මනිනි. ඒ අතීතය සත්‍ය ලෙසම දුක් කම්කටොළුවලින් පිරී ඉතිරී තිබුණ ද අපගේ ජීවිතයට නුඹ ලබා දුන්නේ ආලෝකයකි. නැවත විවාහයක් කර ගැනීමේ වයසක නුඹ පසු වුව ද අප වෙනුවෙන් නුඹගේ ජීවිතයම කැප කළේය. ඒ නුඹ පිළිබඳ නොසිතමිනි.

මේ ගීතය ඇසෙන සෑම මොහොතකකම වගේ සිත දුවන්නේ ඒ අතීතය වෙතය. නුඹගේ සෙනෙහෙදම සොයාය.

පියකුගේ දුක කියාපාන

මහ දියකඳ කලාවැවේ

දරු සෙනෙහස දල්වාගෙන

රැලි ගංගා හඬා වැටේ

 

සීගිරියේ ගී පවුරේ

කවි සිතුවිලි විමානයේ

ලියා ඇති ද එක ගීයක්

ඔබ වෙනුවෙන් පියාණනේ

 

සීගිරි ලලනා දෑසින්

කඳුළු බිඳක් නොහෙළුවාට

නෙළුම් මලක් අදත් පිපේ

සිරස නමා කලා වැවට

 

ගේයපද – රඹුකන සිද්ධාර්ථ හිමි

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

 

 

කලා වැවේ වැව් බැම්ම මෙන් වූ නුඹගේ සෙනෙහෙ දම පිළිබඳ පද ගෙතූ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පදවල ගැබ් වූ පිය සෙනෙහසෙහි තරම අපූරුය. ගේය පද රචකයෙකු වූ මා සුරතින්ද එවැනි සොඳුරු ගීයක පද බඳින්නට තවමත් මට නොහැකි විය. ඒ සොඳුරු කර්තව්‍යය අපූරුවට ඉටු කළ රඹුකන හිමියන්ගේ ගෙය පද වඩා අර්ථවත් වී ඇත්තේ රෝහණ වීරසිංහගේ සංගීතයත්, කරුණාරත්න දිවුල්ගනේගේ සොඳුරු ස්වරයයි. ඒ සියල්ලෙන් සුසැඳුණු මේ ගීතය මගේ ජීවිතය හා සම නොවේදැයි නොයෙක් වර මට සිතේ. ඒ නිසාම ඊට මම පෙම් බඳිමි.

මේ ගීතයට ද මගේ හදවතෙහි ඇති වන්නා වූ බැඳීම කෙතරම්දැයි කිව නොහැකි තරම්ය.

පැන මඩ කඩිති වැව් තාවුථ වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ

අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ

 

සාමා, අමර විකුණති බස් පොළේ කජු

කුමාරෝද පිටු දන් දෙති එයින් මතු

උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ

වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

 

රන්මසු පටපිලී අඹරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

 

ගේය පද – මහින්ද චන්ද්‍රසේකර

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

 

මේ ගීතය ඇසෙන වරක් වරක් පාසා මගේ සිත ඒ අතීතය සොයා සැරිසරයි. මා අද මෙතැන සිටින්නට හේතු වූ මිනිසුන් අතර ඔවුන්ට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි. දුෂ්කර කාල පරිච්ඡේදයක දුනුමඬලාව වැනි දුෂ්කර ගම් පියසකට පැමිණි ඔවුහු ගුරුවරුන් යැයි ඇමතීමට වඩා මා කැමැත්තක් දක්වන්නේ ගුරු දෙවිවරුන් යැයි ඇමතීමටය. ඒ තරමටම ගුරු භූමිකාවෙහි අගය අපට වටහා දුන් මුල් ගුරුතුමා මගේ මතකය අතර සැරිසරන්නෙත්, මගේ ගුරු දිවියෙහි මා මුහුණ දුන් ශෝකජනක සිදුවීම වරින් වර සිහිපත් වන්නේත් එකවිටමය.

දිනක් සවස් වරුවෙහි මිදුලෙහි සක්මනක යෙදී සිටින මම නිවසෙහි අලංකරණයට සිටුවා ඇති බෝල්පනාව පඳුරු වැටිය නෙත ගැටුණේ ඉබේටමය. වසන්ත කාලය නිසාදෝ බෝල්පනාව පඳුරු වැටිය ලියලා දළුලා වැඩෙන ඉක්මන යැයි මට සිතිණි. මම පඳුරු කපන කතුර අතට ගත්තේ බෝල්පනාව වැටියට නව පෙනුමක් අරුත් ගන්වන්නටය. එහිදී මට පෙනුණේ එකින් එක කැපී වැටෙන බෝල්පනාව පඳුරේ කොළ දළු ඉවත්වීම නිසා නව පෙනුමක් මිදුලට ලැබුණු අයුරු ය.

එනමුත් බිම වැටුණු කොළ, දළු වැළපෙන බවක් සිතෙයි. සිත දුකෙන් බර වෙයි. මේ සිතුවිලි අතර සැරිසරන අතරතුර නැවතත් මම වැටිය කපන කතුර අතට ගත්තේ වැටියෙහි ඉතිරි පඳුරු ටික කපා නිම කිරීමට සිතමිනි. ගත වූයේ නිමේෂයකි. මගේ අතට ඉඳිකටුවක් ඇනුනු කලක මෙන් දැනුණු වේදනාව ගණනකට නොගත් මම වැටිය කපාගෙන ගියෙමි. ලේ වැකුණු සුරත මා දුටුවේ හදිසියේමය. සිදු වූයේ කුමක්දැයි මට සිහිපත් වූයේ සැණෙනි. විසකුරු සතකු මගේ අතට දෂ්ට කර අවසන්ය. මම බෝල්පනාව වැටියත් අවටත් සෝදිසි කර බැලීමි. කිසිවෙකුත් අවට නොවූයෙන් මම වහ වහා රෝහල් ගත වූයෙමි. මා ඉගැන් වූ ශිෂ්‍යයකු රෝහලේ වෛද්‍යවරයකුව සිටින වග මගේ මතකයට පිවිසියේ එහි ගොස් මද වේලාවකට පමණ පසුවය. මම ඔහු සොයා පියවර තැබීමි.

‘ඇයි මොකද?’

ඔහුගේ ස්වරයෙහි වූයේ නුරුස්සන බවකි. මම ඔහුගේ උවන මතට නෙත් යොමු කළෙමි.

‘සතාව අඳුනනවද?’

‘සතාව දැක්කද?’

ඔහුගෙන් ප්‍රශ්න වැලකි. මම ‘නැත’ යැයි හිස වැනීමි.

‘එහෙම නම් ඕ. පී. ඩී. එකට ගිහින් පිටගැස්මට බෙහෙත් එකක් විදගෙන ගෙදර යන්න. ඊට පස්සේ අමාරු වුණොත් වාට්ටුවකට ඇතුල් වෙන්න.’

ඔහු කියවාගෙන ගියේ ගිරවකු පරිද්දෙනි. මගේ හදවතෙහි නැඟුණු වේදනාව පිට වූයේ හිස් මුදුනෙනි. කිසිවක් නොපැවසූ මම ඔහු අසලෙන් මෑත් වූයෙමි.

එකල මම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙහි සිංහල සාහිත්‍යය ඉගැන් වූ ගුරුවරයෙක් වීමි. ඔහු සාමාන්‍ය පෙළ පංතියෙහි ශිෂ්‍යයෙක් ලෙස මගෙන් අකුරු කළ අයුරු මගේ මතකයේ තැන්පත් වී තිබුණේ රූප පෙළක් මෙනි.

මේ ගීතය අසන මොහොතක් මොහොතක් පාසා කලකට ඉහත වූ මේ සිදුවීම යළි යළිත් මගේ මතකයට පිවිසෙයි. හදවත රිදුම් දෙයි.

‘සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ’ යන පදය මේ අයට කෙතරම් උචිත ද යන්න සිතට පිවිසෙන්නේ එවිටමය. පසුගිය කාලයෙහි මෙවැනිම වූ සිත් රිදවන කාරණා කිහිපවකටම මුහුණ දෙන්නට වූයෙන් මගේ රිදුනු සිත තව තවත් පෑරුණි. ඒ ඇසිල්ලේ මගේ සිත වෙලා ගත්තේ අපූරු සිතිවිල්ලකි. අප ඔවුන්ට සිප් කිරි පෙවූ බව සත්‍යය. ඒ අතරම ගුණයෙන් පෝෂණය නොවූ යන්ත්‍ර වැනි මිනිසුන් පිරිසක් සමාජයට දායාද වීම ද සිදු වී ඇති බව අනෙක් සත්‍ය වෙයි. බොහෝ දෙනා ගුණයෙන් නැණයෙන් පෝෂණය කිරීමට අප දැරූ තැත අසාර්ථක වූ බවත් මට හැඟේ. මන්ද සමහරු කුමන අයුරෙන් හෝ එවැනි සොඳුරු මිනිසකු කිරීම කළ නොහැක්කේමය. එය බලු වලිගයක් උණ පුරුකේ දමා ඇද ඇරීමට දරන තැත මට සිහිපත් කරන බැවිනි.

ඔහු කියවාගෙන ගියේ ගිරවකු පරිද්දෙනි. මගේ හදවතෙහි නැඟුණු වේදනාව පිට වූයේ හිස් මුදුනෙනි. කිසිවක් නොපැවසූ මම ඔහු අසලෙන් මෑත් වූයෙමි.