වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




දෙබසක් කියන්නේ පාවෙන හිම කුට්ටියක්

දෙබසක් කියන්නේ පාවෙන හිම කුට්ටියක්

කොළඹ අහස හැදූ ගයා රම්‍ය අල්විස්

වර්ණ, රන් සිරිමල් ටෙලි සිතුවම් නිර්මාණය කිරිමෙන් අනතුරුව ගයා රම්‍ය අල්විස් නම් සම්මානනීය අධ්‍යක්ෂවරයා අපට හමු වන්නේ කොළඹ අහස පුංචි තිරයේ නිර්මාණය කරමිනි. ජාතික නාලිකාවේ සෑම සතියේ දිනකම රාත්‍රී 9 ට විකාශය වන එය ඔහු රූපයට නැඟූ පළමු මෙගා නාට්‍යය වේ. මේ වන විට සැලකිය යුතු මට්ටමේ ප්‍රේක්ෂක අවධානයකට ලක් වූ කොළඹ අහස පුද්ගල රස වින්දනතාවය ඉහළ දැමීමේ ප්‍රයත්නයක් ලෙස ද බොහෝ දෙනා හඳුන්වති. මේ එම ටෙලි සිතුවමේ අධ්‍යක්ෂ ගයා රම්‍ය අල්විස් සමඟ කළ සංවාදයක සටහනකි.

ගයා, කොහොමද කොළඹ අහස තැනුණේ?

මම මේ වන විට ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙක්. අප අතර සිටින නිෂ්පාදකවරු කාලයෙන් කාලයට නාට්‍ය නිර්මාණය කරනවා. මගේ වාරේ ආවා. මම කල්පනා කළා මොකක්ද මෙවර මා ප්‍රේක්ෂකයාට දිය යුත්තේ කියලා. කොටස් සියයක නාට්‍ය ආකෘතිය මට නුහුරුයි. ඒකත් මට එක්තර ආකාරයක අභියෝගයක්. මම පොඩි කාලේ ඉඳලම කොළඹ නගරයේ හැදුණේ. මට කාලයක් තිස්සේ හමු වූ චරිත කිහිපයක් තිබුණා. ඉතින් මට හිතුණා මේ නාගරික චරිත කිහිපය අළලා කතාවක් ගොතන්න. කොළඹ අහස මත ඉඳගෙන කොළඹ දිහා බලපුවාම අහසට මොන තරම් දේවල් හිතෙනවා ඇත්ද. අන්න ඒ සිතුවිලි ධාරාව ගැනත් හිතලා මම කොළඹ අහස පිටපත ලියන්න ගත්තා.

මෙහි බොබිගේ චරිතය මවන විජය නන්දසිරිව අප නිතර දෙවේලේ දකින්නේ හාස්‍යෝත්පාදක චරිත හරහා. නමුත් ඔබ කොළඹ අහස යට ඔහුව තබන්නේ වෙනම තැනක?

විජය අයියව අපි විකට චරිත තුළින් දැක්කා. ඒ වගේම සීරියස් චරිතවලට පණ පොවමින්ද අපට හමුවුණා. මේ අතරමැදි චරිතයකුයි මම ඔහුට දුන්නේ. හරියටම කිව්වොත් ද්විත්ව භාව නිරූපණයකුයි විජය අයියා කරන්නේ. මං ඔහුව දැකලා තිබුණා පරණ චිත්‍රපටවල. ඒවාහි ඔහු සීරියස් චරිත විශිෂ්ට ලෙස ඉදිරිපත් කරනවා. එවන් වූ දක්ෂයකුගෙන් වැඩක් ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් මට. විජය අයියා පවා කියලා තියෙනවා බොබි කියන්නේ ඔහුගේ රංගන ජීවිතයේ පරිවර්ථනයක් කියලා.

කොළඹ අහස හි දෙබස් බොහෝ සෙයින් රසවත් කියලා එය නරඹන ප්‍රේක්ෂකයින් කියනවා?

මටත් ඒක ඇතැම් අය කියලා තියෙනවා. ඇත්තටම නාට්‍යයක දෙබස් ලස්සන විය යුතුයි. එතකොටනෙ ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වන්නේ. ආර්. ආර්. සමරකෝන්, ධර්මසේන පතිරාජ වැනි අප විශිෂ්ට කලාවේදීන්ගේ නිර්මාණවල ඔවුන් භාවිත කළ දෙබස්වලට මම හරිම ප්‍රියයි. කාලෙකට ඉහතදී ඒ අයගේ නිර්මාණ නරඹද්දී මට හිතුණා මම කවදා හරි වැඩක් කරද්දී මේවහි ආභාෂය ගන්නවා කියලා. දෙබසක් කියන්නේ පාවෙන හිම කුට්ටියක් වගේ. එහි මතුපිට පෙනෙන්න තියෙනවා අඩුයි. ඒත් වතුර යට තියන කොටස වැඩියි. කොළඹ අහසත් එහෙමයි. ඩයලොග්වල පිට අර්ථයට වඩා ගැඹුරු යථාර්ථවාදී තේරුමක් තියෙනවා.

මෙගා ආකෘතිය ඔබට ගැළපුනාද?

ඔව්. මෙගා නරක නැහැ. අපේ රටේ මෙගා කියන එකට අර්ථකථනයක් නැහැනේ. දිනපතා විකාශය වෙනවා නම් කොටස් ගාන වැඩි නම් ඒක මෙගා. හරයක් ඕනෑ නැහැ. ඔෂීන් වැනි කතාත් මෙගානේ. ඒත් ඒවා මිනිස්සු බැලුවනෙ රොද බැඳගෙන. අද ලංකාවේ තිබෙන මෙගාවල නාට්‍ය භාෂාව නැහැ. ටෙලි නාට්‍ය පරිහරණය කරන අයගෙයි වැරැද්ද තියෙන්නේ. කොළඹ අහසෙහි එහෙම නැහැ. සවසට සීන් 20 ක් 30 ක් කරන ටාගට් එකක නෙවෙයි මම හිටියේ. නාට්‍ය භාෂාව ඇතුළෙයි මම කොළඹ අහස හැදුවේ. එහෙයින් මම සියුම්ව කොටස් සීයේ අභියෝගය ජය ගත්තා කියලා කියන්න පුළුවන්.

අවර ගණයේ ටෙලි නාට්‍ය අද ඕනෑ තරම් තියෙනවා. නමුත් කොළඹ අහසට වඩා ඒවා ජනප්‍රියයි?

ජනප්‍රිය වුණු සියලු දේ හොඳ නැහැ. හොඳ සියලු දේ ජනප්‍රියත් නැහැ කියලා කතාවක් තියෙනවනේ. වෙළෙඳ රටාවට අනුව යම් නාට්‍යයක් බලන ඔළු ගෙඩි ගණන වැඩි වුණොත් අන්න ඒක ජනප්‍රියයි. ඒත් ඒ බලන කණ්ඩායමේ බුද්ධි මට්ටම කොතනද තියෙන්නේ කියලා මනින නීර්ණයක් නැහැ. උසස් සිනමාත්මක ගති ලක්ෂණ සහිත නාට්‍යයක් කළොත් එය වටා රොක් වන රසිකයින් ගණන අඩුයි. ඒවාට උදාහරණ ඕනෑ තරම් පහුගිය කාලේ තිබුණනේ. ඒක නිසා ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ තත්ත්වෙ දන්න මට එකී කාරණාව ගැටලුවක් නෙවෙයි.

ඔබට දැනෙන විදිහට කොළඹ අහස ජනප්‍රියද නැද්ද?

ජනප්‍රියයි. නමුත් කොච්චර ජනප්‍රිය ද කියලා නීර්ණය කරන්න මම දන්නේ නැහැ. දැයට කිරුළට සමගාමීව ජාතික රූපවාහිනිය මඟින් වයඹ පළාතේ සමීක්ෂණයක් තිබ්බා. එහිදී කොළඹ අහසට තිබුණු රේටින්ග්ස් ප්‍රමාණය ඉහළයි.

කොළඹ අහස හී දවසට සීන් කීියක් රූගත කළාද?

රූප මාධ්‍යයත් එක්ක නිර්මාණයක් කරනවා කියන්නේ බැංකුවක් සහ හමුදාවක් සමඟ ගනුදෙනු කරනවා වගේ වැඩක්. දවසට සීන් විස්සක් තිහක් කරන අධ්‍යක්ෂවරුන් සිටිනවා. ඔවුන් එහෙම කළා කියන්නේ හරිම අභිමානයෙන්. හැබැයි බලද්දී ඔලාරික දෙබස්, එකම ලොකේෂන්. මට එහෙම කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. ආයතනයෙන් මට බලපෑමක් එල්ල කළෙත් නැහැ අහවල් කොටස් ගණනක් කළ යුතුයි කියලා. බොහෝ දිනවල සීන්ස් දහයකටත් අඩුවෙනුයි රූගත කළේ.

මෙහි ප්‍රධාන භූමිකා කිහිපයක්ම කරන්නේ නව පරපුරේ උදවිය. වොල්ගා කල්පනී, චමීර ශානක, දිලුම් බුද්ධක ඊට උදාහරණ?

මං ඔවුන්ව තෝරා ගත්තේ තිර පරීක්ෂණයකින්. මට චරිතවලට ඒ අයව මනාව ගැළපුණා. ඔවුනුත් තම වගකීම හොඳින් ඉටු කළා. රුවන්ගි රත්නායක වුණත් එහෙමයි. අලුත් වුණත් පරණ වුණත් මට ඕනෑ විදිහට රඟපානවා නම් මට ඒ ඇති.

ඔබේ ඊළඟ වෑයම?

මට ඕනෑ හොඳ චිත්‍රපටයක් කරන්න. කොළඹ අහසින් පසු මගේ මුලු නිර්මාණ ශක්තියම මම යොදවන්නේ ඒ වෙනුවෙන්. නැවත මාව හමුවන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විදිහට.

මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ?

මෙහි තේමා ගීතය ගයන්නේ සමන් ලෙනින්. මේ වන විට එයට ද ලැබෙන ප්‍රතිචාර ගුණාත්මකයි. මෙමඟින් ඩිලාන් වික්‍රමසිංහ නම් වූ සංගීත අධ්‍යක්ෂවරයකුව මම හඳුන්වා දෙනවා. කොළඹ අහස හැඩ කරන්න මට සහාය අධ්‍යක්ෂණයෙන් ඉන්දික ධර්මතිලක, කැමරාව මෙහෙයවීමෙන් දීපාල් ජයසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් චින්තක විජේරත්න, අංග රචනය රුක්මන් තිලකරත්න ඇතුළු නිෂ්පාදන කණ්ඩායමේ සියලු දෙනාව මේ මොහොතේ මම මතක් කරනවා.