වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් නළුවා දැන්මම එයිද?

අලුත් නළුවා දැන්මම එයිද?

ශෛලාසනය වේදිකා ගත කර ගෙදර හැමෝටම ඇද කර කර රඟපාල පෙන්නුවට දැවැන්ත නළු නිළි පිරිසක් සමඟ හා හා පුරා කියලා රඟපාන කොට දැනෙන ආධුනික බව, බය, චකිතය එදා මට වැඩියෙන්ම දැනුණා. නාට්‍යයේ එක දෙබසක් තිබුණා, දෙබස කියලා ඉවර වුණාම මම ලූෂන් අයියගේ පිටට අත තියන්න ඕනෑ කීප සැරයක්ම. පුරුදු කළත් මම පිටට අත තිබ්බේ නැහැ. ලූෂන් අයියටත් හරියට කර ගන්න බැරි වෙනවා කියලා මට සැරෙන් කිව්වම බයටම අත තිබ්බා. දැන් නම් එහෙම කාලයක් තිබුණ ද කියලා හිනාත් යනවා.

ඉන් පස්සේ දෑස නිසා රූපගත කිරීම්වලට අම්මත් එක්ක ගල්ගමුවේ ගියා. ගල්ගමුව කියන්නේ එතකොට ඈත පිටිසර ලස්සන ගම්මානයක්. අපි සේරම නතර වුණේ පැරැණි විශාල නිවසක. ශ්‍රියාණි අක්කා, ජෝ අබේවික්‍රම සිනමාවේ සුප්‍රසිද්ධ චරිත වුණත් පොඩ්ඩක්වත් ආඩම්බර නැහැ. මම අම්මා, අග්‍රා සජීවනී, ශ්‍රියාණි අක්කා සේරම හිටියේ එක කාමරයක. ගිය දවසට පහු වෙනිදාම ෂූටිං පටන් ගත්තා. අපි උදේ පාන්දරම ඒ චරිතයට අවශ්‍ය ඇඳුම් ඇඳගෙන නෙලුම් මල් පිපිනු ගඟක් ගාවට අරගෙන ගියා. අපේ ඇඳුම් අහිකුන්ඨක ගෑනු අඳිනවා වගේ උරහිසක් පන්නලා මහපු හැට්ටයකුයි රෙද්දකුයි. ගඟ අද්දරම පාසි බැඳුණ ගල් තලාවක් තිබුණා. එතැන සුමිත්ත අමරසිංහ මහත්තයා කැමරාව හයි කරලා තිබුණා. ලෙස්ටර් සුමිත්‍රා යුවලත් ඒ අසලම හිටියා. ජෝ අයියා ඇස් දෙකක් වගේ හිල් කරලා තිබුණු මුටියක් ඔලුවට දදා බල බල හිටියා. තවත් පිරිමි ළමයි කට්ටයකට ඒ කාලේ විධියට ඇඳුම් අන්දලා තිබුණා.

සුමිත්ත අයියා වෙලාව බල බලා ඉඳලා ලෙස්ටර් සර්ට කිව්වා වේලාව හරි සර් කාවද ඉස්සෙල්ලාම ගන්නේ කියලා.

සර් කිව්වා කෝ ප්‍රීති, ප්‍රීතිව ගල් තලාව උඩට ගේන්න කියලා.

මම ගල් තලාවට නැග්ගේ ලිස්ස ලිස්සා.

සර් කිව්වා හරි . . . දැන් ප්‍රීති ඉස්සෙල්ලාම ගන්නේ ඔයාව. ගඟ දිහා බලලා ලස්සනට හිනාවෙන්න කියලා.

මම ගඟ දිහා බැලුවා. ජෝ අයියා ඔලුවේ මුට්ටිය දාගෙන ඉන්නව දැක්කම ඇත්තටම ආයාසයකින් තොරව හිනා ගියා.

එදා වරුවක්ම රූපගත කළේ ගඟේ බැහැගෙන. මමයි අග්‍රා සජීවනියි මගේ වයසෙම කළු ගෑනු ළමයෙකුයි. අපිට තිබුණේ ගෙඟ් නෙලුම් මල් කඩන්න. ගඟ ගැඹුරුයි. බෙල්ල ගාවටම වතුර. මට තිබුණේ චිත්‍රපටයේ ඉතාම ඉතා කුඩා දර්ශනයක්. ඒත් ගෙඟ් දවස් තුනක් විතර රූපගත කිරීම් කළා. මගෙත් එක්ක රඟපාපු කලු ගෑනු ළමයා මාත් එක්ක හරියට යාලු වුණා. එයා කිව්වා නෙලුම් මල්වල ඇට ඒගොල්ලො කනවා. කාලා බලන්න කිරි රසයි කියලා. අපි ඒවා කකා කතා කර කර හිටියා. අපි දෙන්නගෙ ෂූටිං ඉවරයි කිව්වම එයා ඇහුවා අපේ ගෙදර යමුද කියා.

‘ගොඩක් දුරද?’

‘නෑ මේ ළඟමයි’

‘ගෙදර මොනවද තියෙන්නේ?’

‘අපේ ගේ වටේම බෝගන්විලා ගස්වල මල් පිපිලා හරිම ලස්සනයි’

එහෙම කිව්වම මටත් ආස හිතුණා බලන්න යන්න. මම අම්මගෙන් ඇහුවා එයත් එක්ක ගිහින් එන්න ද කියලා.

‘ගේ තියෙන්නේ දුරද?’ අම්මත් ඇහුවා.

‘නෑ නැන්දේ දෙවැට දිගේම ගියාම අපේ ගේ’

‘එහෙනං පරිස්සමට ගිහින් ඉක්මනට එන්න’

අපි දෙන්නා අහිගුන්ඨක ඇඳුම් ඇඳලා දිය බේරි බේරි සුදු වැලි අතුරපු පුංචි අඩි පාරේ ඇවිදගෙන ගිය හැටි මට අදත් මතක් වෙන්නේ ලස්සන චිත්‍රයක් වගේ.

එයා කිව්වේ ඇත්ත. බෝගන්විලා ගස්වල මල් පිරිලා ඉතිරිලා ගිහින්. දැන් කොළඹ තියෙන පෝච්චිවල හදන කුරු ගස් වගේ නෙමෙයි, යෝධ ගස්. කොහොඹ, පලු වගේ විශාල කැලෑ ගස් වහගන්න බෝගන්විලා වැල් ගස් උඩ මල් පලසක් වියලා.

‘අනේ මට ටිකක් කඩල දෙන්නකො . . .’

එයා අත්තක් උඩට නැගලා කටු ඇනෙන්නැති වෙන්න මල් ඉත්ත පිටින්ම කඩලා බිමට දැම්මා. අපි දෙන්නයි ඒ මලුයි තවත් කැලෑ මලුයි කඩාගෙන ෂූටින් කරන තැනට ආවා. අපි පරක්කු වුණා කියලා අම්මා දෝස්මුරේ දැම්මා.

අම්මා ඇහුවා දැන් මේ මල්වලට මොකද කරන්නේ කියලා.

මටත් එතකොටයි මතක් වුණේ අපරාදෙ ඒවාට කරන්න දෙයක් නැහැනේ කියලා. අපි එදා රෑ එතනින් පිටත්වෙන කොට බෝගන්විලා මල් පරවෙලා කටු අත්ත විතරක් ඉතුරු වෙලා තිබුණා. අම්මා එපා කිව්වත් පහුවෙනිදාත් මම එයත් එක්ක ඇවිද්දා.

ඉතාම මෑතකදී ළඟදී දවසක් මාධ්‍යවේදියෙක් අපේ ගෙදර ආවා රවී ගැන පත්තරයකට ලිපියක් ලියන්න. ඒ දෙන්නගෙ කතා බහ ඉවර වුණාම මම ගිහින් තේ ඇල්ලුවා. ඇය කිව්වා මම මිස් කොයි වෙලේ ඒවිද කියලා බලාගෙන හිටියේ කතා කරන්න කියලා.

‘ආ . . . ඒ මොකද?’ මම ඇහුවා. මිස් මගේ ගම ගල්ගමුවේ. මිස්ට මතකද දෑස නිසා චිත්‍රපටය කරන්න ගල්ගමුවේ ගියා.

‘අනේ මොකද මතක නැත්තේ. මම එහෙදි මගේ වයසෙම වගේ ගෑනු ළමයෙක් එක්ක යාලු වෙලා මල් කඩන්න ගියා මට තාමත් මතකයි.’

මං මිස්ට කියන්න හැදුවෙ ඒ ගැන තමයි. ඒ මගේ ලොකු අම්මා. ලොකු අම්මත් ඒක හැමදාම මතක් කරනවා. මිස්ව කවද හරි හම්බ වුණොත් එයාව මතකද කියලා අහන්න කිව්වා.’

මට ඒ වෙලාවේ හරිම සතුටක් දැනුණා. ලංකාව කොයි තරම් පුංචි රටක්ද කියලත් හිතුණා. අවුරුදු හතළිස් දෙකකට පස්සේ නෑදෑයෙක් ගැන තොරතුරුක් ලැබුණ වගේ මමත් කිව්වා එයාව ආදරෙන් මතක් කළා කියන්න කියලා.

මගේ රූපගත කිරීම් දවස් පහකින් විතර ඉවර වුණා. මම හිතුවා පහුවෙනිදාම මාව ගෙදර පිටත් කරයි කියලා. ඒත් දැන් වගේ නෙමෙයි ඒ දවස්වල කීප දෙනෙක්ගෙම වැඩ ඉවර වුණාම තමයි වාහනයක් කොළඹ යන්නේ. ඒ නිසා එදත් මට ඉන්න සිද්ධ වුණා.

මම හවස නාලා ඇඳේ හාන්සි වෙලා ඉන්න කොට ශ්‍රියාණි අක්කගෙන් ඇහුවා, ශ්‍රියාණි අක්කා අර තාපසයට අරන් තියෙන අලුත් නළුවා දැන්මම එන එකක් නැහැ නේද? කියලා.

‘අනේ නැහැනේ. එයාට ෂූටිං තියෙන්නේ පරක්කු වෙලානේ. පස්සේ ඒවි. මොකද ඔයා එක පාරටම එයා ගැන අහන්නේ’

‘නිකං මට දකින්න ආසයි. ළඟදී මම පත්තරයකින් එයා ගැන කියෙව්වා. ඉතිං වචනයක් හරි කතා කරන්න ආස හිතුණා.’

‘අයියෝ අපරාදෙ ඔයා හෙට යනවනේ. ඔයා ගියාට පස්සේ තමයි එයා එන්නේ. කතා කරන්න හම්බ වෙන එකක් නැහැ.’

එහෙම කියලා ශ්‍රියාණි අක්කා කාමරෙන් එළියට ගියා. වෙලාව හවස හයට විතර ඇති කාමරේ තිබුණේ අඩ අඳුරක්. මම එහෙම ඉන්න කොට අලුත් නළුවගේ මුහුණ දොර ගාවින් මතු වුණා. නළුවා දොර උළුවස්සේ අත්දෙක දෙපැත්තට තියලා ඇහුවා,

‘කෝ බලන්න මාව බලන්න ආසවෙන් ඉන්න ගෑනු ළමයා’ කියලා.

මාව රත් වුණා. මට හරිම ලැජ්ජයි. ශ්‍රියාණි අක්කා මම කියපු සේරම කියන්න ඇති. මම මේවා කියන කොට එයා සාලේ ඉන්නත් ඇති. මම ලැජ්ජාවට ඒ වෙලාවේ එයාගේ මුහුණවත් බැලුවේ නැහැ. මම එළියට යන්නේ නැතිව පැය දෙකක් විතර එහෙම ඉන්න කොට අලුත් නළුවා ආයිත් ආවා.

‘කෝ මේ ළමයා මාව දකින්න ආසයි, කතා කරන්න ආසයි කියලා, දැන් එළියටවත් එන්නේ නැහැනේ. මුහුණ පෙන්නන්කො බලන්න කලු ද සුදු ද කියලවත්’

එහෙම කිව්වමත් මම එළියට ගියේ නැහැ. හිටපු විදියටම හිටියා. රෑ නමයට විතර අම්මා ඇවිත් මට කෑම කන්න යමු කිව්වම අම්මත් එක්කම ගිහින් කාගෙවත් දිහා බලන්නේ නැතිව කෑම කෑවා. ඉන් පස්සේ අපි සුහදව කතා කළා.

රාත්‍රී ආහාරයෙන් පසුව මිදුලේ පුටු කියලා සේරම කතා කර කර ඛ්ඹ්ටියා. එතැන හිටියේ ලොකු කට්ටිය නිසා මම කාමරේ හිටියා. ටිකකින් ශ්‍රියාණි අක්කා ඇවිත් කතා කළා. මොකද ඇතුළට වෙලා ඉන්නේ, කට්ටියම එළියේ යමු එළියට කියලා. ඉතින් මමත් ගිහින් පුටුවකින් වාඩි වුණා. ශ්‍රියාණි අක්කා නරි බෑනා එකේ සිංදුව කිව්වා. තව කවුද සිංදු කිව්වේ කියලා මතක නැහැ. රවීන්ද්‍ර රන්දෙණිය හින්දි සිංදුවක් කිව්වා. ඒක කියන ගමන සැරෙන් සැරෙන් මගේ දිහා බැලුවා. සුමිත්ත අයියා ඇහුවා බොනී (සුමිත්ත අයියා මේ අලුත් නළුවාට කතා කළේ බොනී කියලා) මම ඔය සිංදුවේ තේරුම ප්‍රීතිට කියලා දෙන්න ද කියලා.

සුමිත්ත අයියට හින්දි පුළුවන්නේ. මට දැනුයි මතක් වුණේ. දැන්මම ඕවයෙ තේරුම් කියලා දෙන්න ඕනෙ නැහැ. සුමිත්ත අයියා හයියෙන් හිනා වුණා. පසු කලෙක රවියි, සුමිත්ත අයියයි දෙන්නම ඒ සින්දුවේ තේරුම කියලා දුන්නා.

පහුවෙනිදා ෂූටිං ගියාව අනිත් අය රඟපාන තුරු රවී මගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇහැව්වා. දිගටම රඟපානවද, කොහේද ගෙවල් තියෙන්නේ. ඒ දෙක නම් හොඳින්ම මතකයි. රවී හුඟාක් පෝසත්, බොහොම සෙල්ලංකාර තරුණයෙක්. ඕනෑම ගෑනු ළමයෙක්ගේ හිත ඇදිලා යනවා කියලා අහලා තිබුණා නිසා මම උත්තර දුන්නේ පරිස්සමට. ගෙදරට එන පාරවත් කිව්වේ නැහැ.

දෑස නිසා ඉවර වෙලා ගෙදර ගියාම මට තැපෑලෙන් ලිපියක් ඇවිත් තිබුණා. ඒක එවලා තිබුණේ මම ගැන කැමැත්තෙන් හිටපු තරුණයෙක්. ගැහැනු ළමයෙක් නිළියක් වුණාම ලැබෙන ආදීනව එකේ ලියලා තිබුණා. ලිපිය ඉරලා විසි කරලා දැම්මත් එකේ අපූර්වත්වයක් තිබුණයි කියලා හිතෙන කොටස මගේ හිතේ ලිය වුණා. ඒ කාලේ තරුණ පිරිමි ළමයි හිතන විධිය උපහාසාත්මකව ලියන්න පුළුවන් ශක්තිය හරිම අපූරුයි.

මින්පසුව ප්‍රීති සෙනවිරත්න කියන ඔබේ නාමය සමුපකාරයේ කරවල ඔතන කොළවල ද, කඩල කා විසි කරන (ගොටු) පත්තර කැබලිවල ද, හෝටලයේ අත පිහදා කුණු බාල්දියට විසි කරන පත්තර කැබලිවලද ප්‍රචලිත වනු ඇත.

දෑස නිසා ෂූටිං ඉවර වෙලා ටික දවසකට පස්සේ රවීන්ද්‍ර රන්දෙණිය කියන හැඩකාර තරුණ නළුවා බෙන්ස් කාරයකින් අපේ ගෙදර ආවම මම පුදුමෙනුත් පුදුමයට පත් වුණා.