වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




අපි තරු තරගවලට පුහුණු කරන්නේ නෑ

අපි තරු තරගවලට පුහුණු කරන්නේ නෑ

නර්තන කේෂ්ත්‍රයේ උඩුගං බලා යන චිත්‍රසේන පරම්පරාව

දේශීය නර්තනයේ සැබෑ රිද්මය ජාත්‍යන්තරයට ගෙන යමින් චිත්‍රසේනයන් මෙරට නර්තන කලාවට කළ මෙහෙය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නේය.

එමෙන්ම ඔහුගේ ප්‍රිය බිරිඳ ප්‍රවීණ නර්තනාචාරිණි ආචාර්ය වජිරා චිත්‍රසේනද නර්තනය සිය ආත්මය කොට ගනිමින් දශක ගණනක් පුරාවට ලාංකේය නර්තන කලාවේ උන්නතිය වෙනුවෙන් අනූපමේය සේවයක යෙදුනාය. චිත්‍රසේන නම් වූ ඒ මහා නර්තන ශිල්පියා අද අප අතර නැතත් වජිරා, සිය උපේකා, අංජලිකා දියණියන් සහ හේෂ්මා, උමී සහ තාජි මිණිබිරියන් ද සමඟින් චිත්‍රසේනයන් ආරම්භ කළ ගමනේ ඉදිරිය සකසමින් සිටින්නීය.

මෙරට සාම්ප්‍රදායික නර්තනය වෙනුවෙන් අරැඹි චිත්‍රසේන කලායතනය දශක ගණනාක් පුරා මෙරටට දක්ෂ නර්තන ශිල්පීන් ශිල්පිනියන් බිහි කිරීමට පුරෝගාමී සේවයක් ඉටු කළේය. එහි වර්තමානය නව දැක්ම මඟින් සම්ප්‍රදාය රැක ගනිමින් නව තාවයෙන් යුතුව ලාංකේය නර්තනය ජාත්‍යන්තරයට ගෙනයාමේ වගකීම ගෙන සිටින්නේය. එහි දෙවන පරම්පරාවේ වගකීම කරට ගත් ප්‍රවීණ නර්තනාචාරිණි උපේකා චිත්‍රසේන සහ තෙවන පරම්පරාව නියෝජනය කරමින් හේෂ්මා සහ තජී අද සරසවිය කතාබහට එක් වෙයි.

මේ කතාබහේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ උපේකා චිත්‍රසේන සමගිනි.

ලාංකේය නර්තන කලාවේ සළකුණක් වූ චිත්‍රසේන - වජිරා යුවළ සෙවණෙහි වැඩෙමින් මේ දක්වා පැමිණි ගමන දෙස ආපසු හැරී බැලුවොත් අද ඔබට මොකද හිතෙන්නේ ?

මම තාත්තා අම්මාගේ පංතිවල නටලා ඉගෙන ගත්තාට වඩා දැකලා තමයි නර්තනය පුරුදු වුණේ. ඔවුන් ජීවිතයේ තියෙන ප්‍රශ්න අමතක කරලා මේ කලාව වෙනුවෙන් වූ වෙහෙසීම මම දැක්කා. අම්මා තාත්තාගෙන් ඒ දේ ඉගෙන ගෙන තැනකට එන්න මටත් උවමනාව තිබුණා. ඒත් ඒ චිත්‍රසේන වජිරාගේ දුව නිසාම නෙවෙයි. මමත් උපරිමයෙන් කැප වෙලා මේ කලාවට යමක් කිරීමෙන් කියලා මම හැමදාම හිතුව දෙයක්. දෙමව්පියන් වෘත්තිය විදියට නැටුම් කළාට වෘත්තියක් කියන්නේ වැටුපක් ලැබෙන දෙයක්නේ. ඒ වුනත් ඔවුන් කවදාවත් වැටුපකට වැඩ කළෙත් නැහැ. මුදල් උපයන්න නර්තනය කළෙත් නැහැ. ඔවුන් ඒ දෙය කළේ කලාවට තියෙන ආදරය, භක්තිය නිසයි.

ඒ කාලේ කොල්ලුපිටියේ අපේ ගෙදර තමයි කලායතනය විදියට පැවතුනේ. මේ හැමදේම මම දැක්කා. කොතෙකුත් අපහසුතා මධ්‍යයේ උනත් තාත්තයි අම්මයි බොහොම සතුටින් මේ කටයුතු කරගෙන ගියා. මමත් කවදා හරි මේ තත්ත්වයට එන්න ඕනි කියලා මිසක් මේක දුකක් කියලා නම් හිතුවේ නැහැ. මමත් ඒ දෙදෙනා වගේම කලාව ජීවිතයක් විදියටයි දැක්කේ. කවදාවත් වෘත්තියක් විදියට හිතුවේ නැහැ. කාලයක් අම්මත් ඉස්කෝලෙක ඉගැන්නුවා. ඒ වගේම මමත් ටික කාලයක් ඉගැන්නුවා. මගේ මහත්තයා හැමදාම කිව්වේ දෙවියෝ දුන්නු මේ වරමෙන් පුළුවන් තරම් ඉදිරියට නර්තනය කරගෙන යන්න කියලා. නිරතුරුවම ඔහු මාව දිරිමත් කළා. මේ ගමනට එයත් මහා සවියක් වුණා.

එදා සහ අද අතර ඔබට දැනෙන වෙනස පැහැදිලි කළොත් ?

මට මතකයි ඒ කාලෙත් කොල්ලුපිටියේ අපේ ගෙදර හවස අම්මයි තාත්තයි පුහුණු වෙනවා බලන්න විදෙස් කලාකරුවන් පැමිණෙනවා. වෙන දේවල් වගේ නැටුම, අපිට විදේශයකින් ලැබුණු දෙයක් නෙවෙයි. ඒක අපේම දෙයක්. අපි එය සුරැකිව ඉදිරියට ගෙන යා යුතු වෙනවා. ඒ නිසයි ඉදිරි දැක්මක් කි‍්‍රයාත්මක වෙන්නේ. අද වනවිට අපේ ශාන්තිකර්ම බෙහොමයක් නැතිවී යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. සංස්කෘතිය රැකීමට අපි මේ දේවල් සුරැකිය යුතු වෙනවා. ඒ නිසයි අපි මේ දේ වේදිකාවට ගෙන එන්නේ. විදෙස් රටවලින් අපේ නර්තනයට ඉහළ පිළිගැනීමක් තියෙනවා. දැන් කාලයේ වේදිකාවට ගැලපෙන අයුරින් මේ දේ නිර්මාණය කළ යුතු වෙනවා. ඒ කාලේ නර්තනයට තිබු ලැදියාව නම් දැන් බොහොමයක් අඩු බවයි පෙනෙන්නේ. ඉස්සර කාලේ දැන් වගේ ගොඩක් නර්තන කණ්ඩායම් තිබුණෙත් නැහැනේ. ඒ වගේම දැන් බොහොමයක් අය කලා කටයුතු වලට දායක වෙන්නේ රැකියාවන්හි නියැළෙන අතරදීමයි. ඒ අතින් බලනකොට දැන් කාලය ඒ කාලේ තිබුණු විදියට වඩා ගොඩක් වෙනස්.

දැන් නර්තනය ටෙලිවිෂනය සහ ප්‍රසංග සඳහා පමණක්ම වෙන් වෙලා නේද ?

ඒක වෙලා තියෙන්නේ මුදල් වුවමනා නිසයි. මේ තුළින් මුදල් උපයා ගන්න නම් කළ යුත්තේ එයයි කියා හිතන නිසා තමයි මෙවැනි තත්ත්වයක් උදා වෙන්න හේතුව. ඇත්තටම එසේ විය යුතු නැහැ. අපි හදන්නනේ එවැනි තත්ත්වයකට යන්නේ නැතුව මුදල් හම්බු කරන හොඳ ජිවිතයක් ගෙවන්න ළමුන්ට උදව් කරන්නයි. අපි හැමදාම නැටුම් කරන්නේ භක්තියකින්. එයට අගෞරවයක් වන අන්දමේ කිසි දෙයක් කරන්නේ නැහැ. අපි අගයන අය ඉදිරියේ පමණයි අපි රඟ දක්වන්නේ. ප්‍රේක්ෂකාගාරයේ අවධානය ඒ වෙත තිබිය යුතුයි. කන බොන වේලාවට කිසිම අවස්ථාවක අපි නර්තනයේ යෙදෙන්නේ නැහැ. කොක්ටේල් පාටිවල අපි නටන්නේ නැහැ. මේ වගේ අපිට වෙන් වූ නීති රීති පද්ධතියක් තියෙනවා. පිටරටක දී වුනත් එහෙමයි.

දැන් ගොඩක් අම්මලා තාත්තලාට වුවමනා ළමුන් ටෙලිවිෂන් එකේ තරු තරඟවලට යවන්න පමණයි. තරුවක් කිරීමෙන් ටෙලිවිෂන් එකේ සංදර්ශන වේදිකාවේ දස්කම්පාන්න පමණයි. අපේ කලායතනයේ තරු තරඟවලට ළමුන් පුහුණු කරන්නේ නැහැ. මම නම් මේ තරඟවලට සම්පූර්ණයෙන් විරුද්ධයි. දෙමාපියන් තරු තරඟවලට ළමුන් මහන්සි කළත් සාමාන්‍ය පෙළින් පසුවට ඔවුන් වෙහෙසෙන්නේ ඒ දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හරි නීතිඥයෙක් කරවන්නයි. එහෙම වුණොත් නම් අපේ කලාව නැතිම වෙලා යයි. ඕනිම දෙයක පැවැත්මට උනන්දුවක් තිබිය යුතුයි. නර්තනයටත් එය එසේමයි. තරුවක් වූ පමණින් නර්තනය රැඳෙන්නේ නැහැ.

මීළඟට අපේ කතාබහට සම්බන්ධ වුණේ හේෂ්මා. විදෙස් අධ්‍යාපනයෙන් පසුව වර්තමානයේ චිත්‍රසේන කලායතනයේ නර්තන නිර්මාණ සිදු කෙරෙන්නේ ඇය විසින්. ඇය සිය අදහස් දැක්වූවේ මේ අයුරින්.

“ආච්චියි සීයායි දේශීය නර්තනය වේදිකාවට ගෙන ආ දවසේ ඉඳල කරන්න හැදු දේ ඉදිරියට ගෙන යෑම තමයි අපි හැමෝගේම බලාපොරොත්තුව. ආච්චිඅම්මා එක්ක මම ගොඩක් අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඇයත් සමග මට නර්තනයෙන් වගේම නිර්මාණ හදන්නත් දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා. මගේ මේ හැම නිර්මාණයක්ම කෙරෙන්නේ ඒ අතීත අත්දැකීම් සමඟින්.

අපි හදන්නේ වේදිකාවේ නිර්මාණය වූ චිත්‍රසේන ශෛලිය සමග උපරිමය දෙයක් කිරීමටයි. නර්තන ශිල්පීන් වශයෙන් අපි නර්තනය භාෂාවක් විදියට භාවිත කරනවා. ඒක හරියට කළොත් එයින් කළ හැකි නිර්මාණ බොහෝයි. වේදිකාවට අවශ්‍ය රංග වස්ත්‍රාභරණ, වේදිකා සැරසිළි නැටුම නැති වෙන විදියට කරන්න එපා කියන අවවාදය තමයි සීයයි ආච්චියි හැමදාම අපට දුන්නේ. කියන්න හදන දේට ඒ අදාළ චරිතයට මෙන්ම එම පරිසරයට ගැලපෙන දේ පමණක් යොදා ගත්තොත් එය තමයි ගොඩක්ම වටින්නේ. මූලික විය යුත්තේ නැටුම මිසක් චරිතය නොවෙයි. එය මූලික කරගනිමින් අපි නිර්මාණකරණයේ යෙදෙනවා.”

චිත්‍රසේන කලායතනයේ ඉදිරි දැක්ම ගැන සඳහන් කළේ තාජි. චිත්‍රසේන කලායතනයේ වර්තමාන ප්‍රධාන නර්තන ශිල්පිනිය ලෙසින් කටයුතු කරන්නේද ඇය යි.

“චිත්‍රසේන කලායතන වෙනුවෙන් අපි ඉදිරි අවුරුදු පහ වෙනුවෙන් දැක්මක් ඉදිරිපත් කළා. දේශීය නර්තන කලාව රැක ගනිමින් කලායතනය ජාතික මට්ටමේ කලායතනයක් බවට පත්කිරීමයි සීයාගේ බලාපොරොත්තුව වුණේ. අපි හැමෝම එකතු වෙලා ඒ වෙනුවෙන් තමයි මේ පියවර තැබුවේ. මේ වෙනුවෙන් අපි දැනට ප්‍රසංග කිහිපයක් ඉදිරිපත් කළා. වර්තමාන පරම්පරාවේ නැටුම් ශිල්පීන් ශිල්පිනියන් පුහුණු කරවා එය ඉදිරිය වෙනුවෙන් රැක ගැනීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ඒ වෙනුවෙන් අපි දීර්ඝ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන්න සූදානම්. පහසුකම් නොමැති අයට ශිෂ්‍යත්ව, නේවාසික පහසුකම් ලබාදීමත් මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා. මේ තුළින් ස්ථිර නර්තන ශිල්පීන් බිහි කිරීමයි ප්‍රධානතම අරමුණ. දේශිය නර්තන කලාවේ පැවැත්මට ප්‍රධානම සාධකය වෙන්නේත එයයි. ලංකාවේ කෙතරම් රංග ශාලා බිහි වුණත් නිසි ආකාර නර්තන ශිල්පීන් නෙමැතිවීම ලොකු අඩුවක්. මමත් මට හැකි පමණ කාලයක් මේ වෙනුවෙන් කැප කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ”