වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




එම්. එස්. වෙන් වී අවුරුදු විස්සයි

එම්. එස්. වෙන් වී අවුරුදු විස්සයි

තාත්තාගේ සිංදු කිව්වාට පුතාට කම්මුල් පාරක් වැඩිමහල් පුත් සුසිල් සිහිපත් කරයි

යූත් රඟහලට මැයි 18 වැනිදාට විවෘත ආරාධනාවක්

වසන්ත සමයේදී කොවුලන්ගේ ගී නාදය කාටත් මිහිරක් ගෙන එන්නේය. සොබා දම් මාතාව ද ඊට නොදෙවෙනිව තම රූප සොබාවෙන් හැඩ වන්නීය. වසන්ත සමය එසේ වුණත් වසන්ත සමයක් නැතත් වසරේ ඕනෑම විටෙක ගීත ගයන්නට උපන් හපනෙක් විය. අපේ රටෙ බයිලා චක්‍රවර්ති ලෙස විරුදවලී ලද්දේ ඔහුය. ඒ 1994 බක් මාසයයි. පෙරදින ප්‍රසංග රාශියකට සහභාගි වූ ඔහු කොළඹ හැටේ වත්තේ ප්‍රසංගයට සහභාගීවීමට පැමිණියේ අවසාන මොහොතේය. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළය. ඒ හා සමානව විවිධ ගීත ඉල්ලීම් ද කිහිපයකි. පෙම් ලොව නින්දෙදි දුටු සුන්දර ස්වප්නයක් ගැන ඔහු ගීතය ගැයුවේය. ප්‍රතිචාර තව තවත් ඉහළය. හෙතෙම තවත් ගීත කිහිපයක් ගායනා කළේ තම ශරීරයේ ඇති අපහසුවට වඩා තම රසික රසිකාවන්ගේ කැමැත්තට ඉඩහසර ලබා දෙමිනි.

ප්‍රසංගයේ ගීත ගායනයෙන් පසු ඔහුට වේදිකාවෙන් බැසීමට නොහැකි විය. හදිසියේ හටගත් හෘදයාබාධය නිසා වේදිකාවේ සිටියදීම පපුව අල්ලාගෙන ඔහු සිටි තැනම වාඩි විය. සංවිධායකයන් යුහුසුළුව ඔහු රෝහලට ගෙන ගියහ.

අවාසනාවක තරම, තැටිය මැද්දෙ කළු කරපු, පහන් තැටිය මැද හුන් රාමාටත් බය නැති මේ සොඳුරු කලාකරුවා, සංගීතවේදියා සියල්ල හැරදා සැඟව ගොස්ය. කොවුලා වගේ ගී ගැයූ රස ආහාර කවා දරු පවුලම පෝෂණය කළ බයිලා චක්‍රවර්ති ඔහුය. මග්ගගේ සැම්සන් ප්‍රනාන්දු හෙවත් එම්. එස්. ප්‍රනාන්දු මීට වසර විස්සකට පෙර අප හැරදා ගියේ එසේය.

යුග යුග හද බැඳි ගායකයා මෙලොව හැරදා ගොස් දශක දෙකක් ගත වුව ද අදටත් ඔහුගේ ගීත මෙරට රසික ජනතාව වැළඳ ගන්නේ ඉමහත් ආදරයෙන් යුක්තවය. ඔහුගේ ගීත අප අතර රැව් පිළිරැව් දීමට ඔහුගේම පුතුන් සය දෙනෙකු මෙලොව ඉතිරිව සිටින්නෝය. මේ අතරින් ජ්‍යෙෂ්ඨතම පුත්‍රයා වූ සුසිල් ප්‍රනාන්දු තම පියාගේ සොඳුරු මතක සමඟින් මෙවර පිය සටහන් සමඟ එක් වන්නේය.

‘අපේ පවුලේ වැඩිමහල්ම දරුවා මම. මම ඉපදුන දවසේ අපේ තාත්තා ගොඩාක් සතුටු වුණා කියලා අම්මා කියලා තියෙනවා. අපේ මහ ගෙදර තිබුණේ ගල්කිස්ස සුමනාරාමය පිටුපස. තාත්තගේ කාමරේට සුමනාරාම පන්සලේ බෝධින් වහන්සේයි, බුදු පිළිමෙයි පෙනෙනවා. මට මතකයි තාත්තා උදේට නැගිටින කොටම බුදු ගුණ කියාගෙන නැගිටින්නේ. උදේම නානවා. ඒක එයාගේ පුරුද්දක්. තාත්තාගේ නම අගට ප්‍රනාන්දු කියලා ආවට එයා හොඳ බෞද්ධයෙක්. හැබැයි අන් හැම ආගමකට ගරු කළා. එයා ගල්කිස්ස ප්‍රදේශයේ හිත හොඳ චණ්ඩියෙක්. ඒ කාලේ චණ්ඩි කියන්නේ සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටින මිනිසුන්ට. තාත්තා හොඳට කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කරලා තිබුණා. ඒ දවස්වල ලංකාවේ බයිලා කලාවේ රජා වුණේ වොලී බැස්ටියන්. මට මතකයි මම කුඩා කාලේ බයිලා තරග සංවිධානය කරනවා. විවිධ කලා සංගම් විසින් බයිලා තරග පවත්වනවා. ඒ කාලේ ඒ හැම තරඟයකින්ම ජය ගන්නේ එම්. එස්. ප්‍රනාන්දු. ඒ කියන්නේ මගේ තාත්තා. ජයග්‍රහණය කරපුදාට පහුවෙනිදා අපේ ගෙදර ලොකු පාර්ටි එකක් තියනවා. හැම කලාකරුවෙක්ම වාගේ අපේ ගෙදරට එනවා. එදාට ඉතින් මුළු ගල්කිස්ස පළාතම බයිලා සාගරයක ගිලෙනවා.

ඒ කාලේ දවස් හතක් බයිලා තරගයක් පවත්වනවා. දැන් ඔය පවත්වන සුපර් ස්ටාර් වගේ. මේ තරගයෙන් දවස් හතම ජය ගන්න කෙනා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. බොහෝ වෙලාවට ඔය දවස් හතම ජය ගන්නේ අපේ තාත්තා. දවසක් මේ බයිලා තරගයක් ගැන නිවේදනය කරමින් හිටපු ලලිත් එස්. මෛත්‍රීපාල මහත්මයයි කරුණාරත්න අබේසේකර මහත්මයයි තමයි තාත්තට ‘බයිලා චක්‍රවර්තී’ කියන නම දැම්මේ. ඒ වගේම වොලී බැස්ටියන් මහත්මයා ගෙන ගිය බයිලා කලාවට වෙනස් අරුතක් ලබා දෙමින් පොප් බයිලා කලාව නිර්මාණය කළේ තාත්තා.

එසේ කියූ සුසිල් මඳ වේලාවක් කල්පනා කළේය. යළි කතාවට එක් වුණේ සතුටු සිනාවක් මුවඟට ගනිමිනි.

‘දවසක් අපේ ගමේ සංගීත සංදර්ශනයක් තිබුණා. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. ඒ ප්‍රසංගයේදී මමයි මගේ මිතුරෙකුයි එකතු වෙලා තාත්තයි ජෝති අන්කලුයි කියන ගීතයක් ගායනා කළා. ගීතය අතරමඟදී සෙනඟ බලාගෙන ඉද්දිම එක පාරටම මට කණ හරහා විදුලි කොටනවා වගේ පහරක් වැදුණා. බලන කොට තාත්තා මට ගහලා තියෙන්නේ. ජෝති අන්කල් හිනාෙවිවී බලාගෙන හිටියා. එදා සවස තාත්තා අපි හැමෝටම කන්න බොන්න ගොඩාක් අරන් ආවා. ඇවිත් මාව ළඟට අරන් කිව්වා ‘පුතේ මම නැති කාලෙක මගේ සිංදු කියපන්. මම රුපියල් පන්සියයක් ගන්න තැනට ඔයාව රුපියල් පනහට මිනිස්සු ගෙනි යනවා. එතකොට මේ පවුල ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. දුකටම මට එදා හොඳටම ඇඬුනා. තාත්තා අපිට කොච්චර තරවටු කළත් හිත යටින් එයා දුක් වුණා අපිට දඬුවම් දෙන්න වීම ගැන. එයා කොයි තරම් දරදඬු තීරණ ගත්තත් අභ්‍යන්තරයෙන් හරිම සංවේදි චරිතයක්. මිනිසුන්ට පුළුවන් හැම වෙලාවකම උදවු කරනවා. එයා ගායනයට වගේම ගීත රචනයටත් හරිම දක්ෂයි. එයා ගායනා කරපු ගීතවලින් සියයට අසුවක් පමණ තාත්තගෙම ගීත රචනා. අලුත් පරපුරකට ඉදිරියට එන්න එයා හැම වෙලාවෙම අත දුන්නා. අපේ බාප්පා වෝල්ටර් ඉන් එක් කෙනෙක්.

තාත්තා කෑවා බිව්වා, විනෝද වුණා වගේම බිරිදගේ, දරුවන්ගේ අනාගතය ගැනත් හොඳට බැලුවා. තාත්තගේ සම වයසේ කලාකරුවන් අතරින් ඉස්සර වෙලාම ගෙදරක් හැදුවේ තාත්තා. එයාගේ යුතුකම් මොනව ද, වගකීම් මොනවද කියලා හොඳට වටහා ගෙන ජීවත් වුණ කෙනෙක්.

1994 අවුරුද්ද වෙනකොට මම කසාද බැඳලා විදෙස් රටක සේවයේ යෙදිලා හිටියේ. මම වැඩ කරපු සමාගම ඇමරිකානු සමාගමක්. හරියටම අප්‍රේල් දහ වැනිදා මගේ නමට ෆැක්ස් එකක් ආවා තාත්තා නැති වුණා කියලා. මම නිවාඩු ඉල්ලුවා. ඇමරිකන් නිලධාරීන් කිව්වා යන්න දෙන්න බැහැ කියලා. මම රැකියාවෙන් අස් වෙලා එදා ගුවන් තොටුපලට ආවා. ඒත් මට ලැබුණ ටිකට් එකට ගුවන් යානයක් තිබුණේ පැය දහයකට විතර පස්සේ. ඒ වෙලාවේ මගේ ගැටලුව හඳුනාගත්ත ලංකාවේ සහෝදරියක් එයාගේ ටිකට් එක මට දුන්නා. එයා මගේ ටිකට් එකෙන් ආවා. මම ලංකාවට එනකොට තාත්තගේ දේහය කලා භවනේ තිබුණේ. දේහය දැක්ක වෙලාවේ මට අතීතයේ හැම දෙයක්ම මැවී මැවී පෙනුණා. තාත්තා නැති වෙලා පසුගිය අප්‍රේල් නව වැනිදාට අවුරුදු විස්සක් ගෙවෙනවා. ඒ වුණත් තාත්තාගේ ගීත අදටත් ජනප්‍රියයි.

තාත්තා නැති වෙලා දශක දෙකක් ගත වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ආධාර අනුබලය ඇතිව මේ මාසේ දහ අට වැනිදා ලොකු ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙන්නේ. ඒ මහරගම යූත් රඟහලේදී. වික්ටර් රත්නායකයන්, ඇන්ජලීන් ගුණතිලක, ලලිත් පොන්නම්පෙරුම, මැණික් චන්ද්‍රිකා, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, ධනපාල උඩවත්ත, මයිකල් පෙෙරේරා, එච්. ආර්. සොයිසා, චලක චමුපති ඇතුළු කලාකරුවන් රැසක් වගේම මගේ සහෝදරයින් වන සරත්, ශාන්ත, සුනිමල්, ශානකත් මගේ පුතා සම්පත් ඒ වගේම බාප්පා වෝල්ටර් ප්‍රනාන්දුත් මේ ප්‍රසංගයේදී ගීත ගායනා කරනවා. සංගීතය යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමෙන් මෙහෙය වන්නේ. මේ ප්‍රසංගය එම්. එස්. ප්‍රනාන්දු නම් සංගීතවේදියා වෙනුවෙන් නොමිලේ සංවිධානය කෙරෙන්නේ. ඒ නිසා විවෘතව හැමෝටම ආරාධනා කරනවා එදාට එන්න කියලා යැයි පැවැසූ සුසිල් තම පියා වෙනුවෙන් තමාගේ යුතුකම ඉටු කලා යන හැඟීමෙන් යුතුව අපට සමු දුන්නේය.

අඳුරෙන් එළියක් ඉතිරි කර අප අතරින් සමුගත් එම්. එස්. ප්‍රනාන්දු නම් කලා ශිල්පියාට සරසවියේ අප ද නිවන් සුව ප්‍රාර්ථනා කරමු.