වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




පටාචාරා හදන්න ලක්ෂ 90 ක් ගියා

පටාචාරා හදන්න ලක්ෂ 90 ක් ගියා

- ජානකී හිල්

අරකවිල ඉපදුණු කුඩා දැරියට තිබුණේ අපූරු ආශාවල්. ඈ තමන්ගේ ගම අවට කෙල්ලෝ කොල්ලෝ ටිකත් එකතු කරගෙන ගල උඩ සමිතිය පටන් ගත්තා. ඒකේ හිටිය අයට තිබුණේ එක එක දක්ෂතා. ඒ දක්ෂතා එක්තැන් කරපු මේ දැරිවි කාලගෝල නාඩගම පුරුදු පුහුණු වුණා. කොට්ටං කොළේ ආරාධනා පත්‍ර ලියලා ඒක නරඹන්න හැමෝටම ආරාධනා කළා.

‘කවද හරි මම නර්තන ගම්මානයක් හදනවා’

මේ අපූරු දැරිවිගේ හිතේ තිබුණේ අපූරු හීනයක්. ඈ ඒක අද වන විට හැබෑ කරගෙන. ජානකී හිල් මේ අපුරු දැරියයි. ඒ විතරක් නෙවෙයි ඇගේ අධ්‍යක්ෂණයෙන් වගේම පිටපතෙන් හැඩවුණු ‘පටාචාරා’ නෘත්‍ය නාටකය මේ මාසයේ 10, 11 දවස්වල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වේදිකා ගත වෙනවා. මේ සාකච්ඡාව සැකසෙන්නේ ඒ නෘත්‍ය නාටකය ඇසුරෙන්.

අරකවිල නර්තන පදනම ඔබගේ සිහිනය සැබෑවීමක්?

ඔව්. මම මගේ හීනය සැබෑ කර ගත්තා. අද වන විට මේ ගම්මානයේ ඇති නර්තන පදනමේ ළමයි දෙසිය පනහක් විතර ඉන්නවා. ඔවුන්ට අපූරු ශික්ෂණයක් සමඟ නර්තනය ඉගෙන ගැනීමේ අපූරු ඉඩකඩක් මා මෙහි නිර්මාණය කළා. ළමයෙක් මොන දේ ඉගෙන ගෙන ඉස්සරහට ගියත් රොබෝවරයෙක් වගේ වුණොත් කිසිම වැඩක් නැහැ. මනුස්සකම හඳුනන හිත හොඳ මනුස්සයෙක් වෙන එකයි වඩාත් වැදගත් වෙන්නේ. එවැනි කෙනෙකුª කලාව ඔස්සේ නිර්මාණය කිරීමයි මගේ අරමුණ වුණේ.

‘පටාචාරා’ වගේ නෘත්‍ය නාටකයක් බිහිවීමේ පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද?

අද බොහෝ ළමයි රියැලිටි වැඩ සටහන් පස්සේ තමයි දුවන්නේ. ඒත් අරකවිල නර්තන පදනමේ ඉන්න ළමයි ඒ අය අතරෙන් තරමක් වෙනස් අයයි. ඔවුන් එහි යථාර්ථය හොඳින් හඳුනා ගත්ත පිරිසක් නිසා, ඒ පසුපස දුවන්නේ නැහැ. ඒ අයට යමක් කළ යුතුයි කියලා මා හිතුවා. ඒ අනුවයි ‘පටාචාරා’ කරළියට නැඟෙන්නේ. ඒ වගේම ‘පටාචාරා’ නෘත්‍ය නාටකය බිහි වෙන්න තවත් හේතුවක් තිබෙනවා. මම නාට්‍ය වැඩමුළුවලට විවිධ ප්‍රදේශවල සංචාරය කළා. ඒ අවස්ථාවලදී මම දැක්ක දෙයක් වුණේ අවුරුදු දොළහේ, දහතුනේ, දාහතරේ ළමයි ඉක්මනින්ම විවාහ වූ බවයි. නැත්නම් කිසිම කෙනෙකුට දන්වන්නේ නැතුව හොරෙන් විවාහ වුණා.

සමහර අය ඒ අතර අතරමං වෙන අයුරුත් මා දුටුවා. මේ විදියට විවිධ තැන්වල දුටු මේ දසුන මගේ සිත සසල කළා. ඒ අය ජීවිතය පිළිබඳ නොදැන මේ වැටෙන අපහසුව ගැන යමක් කිව යුතුයි කියලා මට සිතුණා. එවිටම වගේ මගේ මතකයට ආවේ පාටාචාරා කතා වස්තුවයි. එය මම නර්තන රැසක් රැගත් නාටකයක් වගේ වේදිකාවට රැගෙන ආවා. මෙහි නළු - නිළියන් එකසිය පනහක් පමණ රංගනයෙහි හා නර්තනයෙහි යෙදෙනවා. ඒ සියල්ලන් සමඟින් සමාජයට හොඳ දෙයක් දෙන්නයි මට උවමනා වූයේ. එය සාර්ථකයි කියලා මට හිතෙනවා.

මේ නෘත්‍ය නාටකයේ පුංචි ළමයින් පවා නර්තනයේ යෙදෙනවා. ඔවුන්ව හැසිරවීම පහසු කටයුත්තක්ද?

ළමයකු නිර්මාණය කිරීමේදී එය කළ යුත්තේ කුඩා කාලයේම බවයි මගේ හැඟීම වන්නේ. මොකද ඒ අයගේ ඔළුවේ ලොකු අයගේ වගේ අනං මනං නැති නිසා හැසිරවීමට පහසුයි. මගේ නර්තන පදනමේදී මේ අය නිර්මාණය වුණේ මනා සංයමයකින්. ඒ සංයමය නිර්මාණ කටයුත්තකදී බොහොම ප්‍රයෝජනවත් වුණා. ඔවුන් නිර්මාණයට ආවේණික විදියට ඒ කටයුත්ත සංයමයෙන් සිදු කළ නිසා මට ඔවුන් හැසිරවීමට වැඩි මහන්සියක් ගන්න වුණේ නැහැ.

‘පටාචාරා’ නෘත්‍ය නාටකයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මට තවම ඒ ගැන හිතා ගන්නවත් බෑ. මේ නෘත්‍ය නාටකය සඳහා ලක්ෂ 90 ගණනක් වියදම් වුණා. ඒ තරම් වියදමක් ගියත් මට උවමනා වුණේ සමාජයට වඩා ගුණාත්මක දෙයක් දෙන්නයි. ඒ නිසා ගිය වියදම අපතේ නොගිය බව දැනෙන්නේ ‘පටාචාරා’ සඳහා ලැබුණු ප්‍රතිචාර නිසයි. මහාචාර්ය, ආචාර්යවරු වගේම රවිබන්ධු විද්‍යාපති, අනෝජා වීරසිංහ ආදී බොහෝ දෙනෙක් මේක බලලා මට ප්‍රශංසා කළා. ඔවුන් ඔක්කොම ඇහුවේ ජානකී, මේ තරම් නළු - නිළියන් රැසක් එකතු කරගෙන ඔයා මේ තරම් හොඳ වැඩක් කළේ කොහොමද කියලයි.

ඒ අයගේ අදහස් මට සතුටක්. මේ හැම වික්‍රමයක්ම කරන්නට මට හැකි වුණේ මගේ මහත්තයා පීටර් නිසයි. ඔහුත් මේ අවස්ථාවේ මා සිහිපත් කරනවා. ඒ වගේම මීටත් වඩා තවත් හොඳ නිර්මාණයකින් ඔබ අතරට එන්නත් පුංචි අදහසක් තියෙනවා. ඒක කුමන මාධ්‍යයකින් වේදැයි දැන්ම කියන්න බැහැ.

(පසුපිටෙහි දැක්වෙන්නේ ‘පටාචාරා’ නෘත්‍ය නාටකයෙහි ජවනිකාවකි.)