|
අත්තම්මාගේ සිංදු අතරට අම්මගෙ සිංදුවත් මම කිව්වා
සධානා රණතුංග
වෙසක් පුර පෝ දින නිමිති කර ගනිමින් විශාරද සධානා රණතුංගගේ ’බුදු හිමි දැක්මට’ නම් සංයුක්ත තැටිය ඔබ හමුවට පැමිණීමට නියමිතය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නළුවෙක් වුණු ශාන්ති අබේසේකරගේත්, ගායන ශිල්පිනියක් වන දයා හේමන්තා අබේසේකරගේත් ආදරණීය දියණියක වන සධානා නැවතත් මේ ගයන්නේ සිය අත්තම්මා වූ ජන හද බැඳ ගත් වසන්තා සන්දනායක අතීතයේ ගැයූ බොදු බැති ගී කිහිපයකි. විශාරදවරියක් මෙන්ම ගුරුවරියක ද වන ඇගේ මේ නව ප්‍රයත්නය පිළිබඳ සධානා සරසවිය සමඟ පිළිසඳරක යෙදුණාය.
‘බුදු හිමි දැක්මට’ කියන්නේ මා ගයන මේ දෙවැනි සී. ඩී. තැටියයි’. එහි ඇතුළත් වන්නේ බෞද්ධ ගීතයි. මගේ අත්තම්මා ගැයූ ගීත වගේම මගේ අම්මා ගැයූ එක් ගීතයකුත් මගේ ස්වරයෙන් මේ සී. ඩී. එකේ ඇතුළත්. මගේම කියලා සී. ඩී. එකක් කරන්න කලින් අත්තම්මාගේ ගීත ගයන්න මට කාලයක ඉඳලා තිබුණෙත් පුදුම ආශාවක්. ඒ ආශාව සැබෑවක් වෙන්නේ මේ වසරේදීයි. අත්තම්මාගේ ගීත ගයන්න තවත් කාරණයක් වුණේ කාලයක් වගේම අදත් බොහෝ දෙනා අත්තම්මාගේ ගීත ප්‍රිය කිරීමයි. ඒ වගේම අපි ප්‍රසංගයකට ගීත ගයන්න ගියාට පස්සේ රසිකයන් නිතරම ඉල්ලන්නේ අත්තම්මාගේ ගීත වීමත් මේ වගේ සී. ඩී. එකක් කරන්න හේතු වුණා.
මේ සී. ඩී. එක එළි දැක්වෙන්නේ කවදාද? ‘බුදු හිමි දැක්මට’ ගීත එකතුව එළි දැක්වීමට උත්සවයක් ගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් වෙසක් පෝය දිනයට දින කිහිපයකට කලින් මේ සී. ඩී. එක සරසවිය පොත්හළ ඇතුළු සියලුම ගීත සී. ඩී. ගන්න පුළුවන් වෙළෙඳ ආයතනවලින් මිල දී ගන්නට මගේ රසිකයන්ට හැකියි. එමෙන්ම ‘බුදු හිමි දැක්මට’ ගීත එකතුව පිළිබඳ මගේ රසිකයන්ට දැනගැනීම සඳහා පුවත්පත් වගේම විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඔවුන්ව දැනුවත් කරන්නයි මා සිතාගෙන ඉන්නේ.
බොදු බැති ගීත එකතුවට අත්තම්මාගේ ගීත වගේම ඔබගේ මව ගැයූ ගීතයකුත් අයත් වෙනවා. ඒ ගීතය ඇතුළත් කිරීමට විශේෂ හේතුවක් තිබුණාද? අම්මා කලකට ඉහතයි ‘දහම් කැදැල්ලේ’ ගීතය ගායනා කළේ. මේ ගීතය සරත් විමලවීර මහත්තයාගේ පද රචනාවක්. එහි තනුව ආර්. මුත්තුසාමි මාස්ටර් විසින් රචනා කළා. මේ ගීතයට අම්මා වගේම මමත් බොහොම කැමැතියි. සී. ඩී. එකට ගීත තෝරන අතරතුරේදියි අම්මා මගෙන් ඉල්ලීමක් කළේ. ඒ ඇගේ ගීතයකුත් මේ සී. ඩී. එකට තෝරා ගන්න කියල. ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැති වුණත් මා අම්මාගේ ඉල්ලීමට ගරු කළා.
‘බුදු හිමි දැක්මට’ සංගත තැටියේ නව සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජගත් වික්‍රමසිංහයි. සංගීත අධ්‍යක්ෂණයට ඔහුව තෝරා ගන්නත්, සී. ඩී. පටයට තෝරාගත් ගීත පිළිබඳවත් යමක් කියමුද? ජගත් වික්‍රමසිංහ කියන්නේ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් සමඟ මා මේ සී. ඩී. එක කළේ මීට වසරකට ඉහතයි. කුමන හෝ හේතුවකට ඒ කළ සී. ඩී. එක එකපාරටම නැති වුණා. නැවතත් තෝරා ගත් ගීත ටික අපි සී. ඩී. එකකට නැඟුවා. ඒ වගේම මේ සී. ඩී. පටයට ගීත නවයක් ඇතුළත් වෙනවා. එහිදී මර්වින් සේනාරත්න, ඩෝල්ටන් අල්විස්, සරත් විමලවීර කියන ගේය පද රචකයන්ගේ ගේය පදත්, ගාමිණී සන්දනායක, ආර්. මුත්තුසාමි යන සංගීත ශිල්පීන්ගේ තනුත් මෙහි ඇතුළත්. බුදු හිමි දැක්මට, සිරි නිවන, නොකියාම එදා, ධර්මරාජා නමාමි, පටාචාරා, සාක්‍ය මහාරාජා, ත්‍රයිලෝ හිමි, මගේ බුදුරජාතිරාජ යනාදී වශයෙන් එකල ජනප්‍රිය වූ ගීත මා සී. ඩී. පටයට තෝරා ගත්තා.
ඔබගේ අදහස මේ විදියට හැමදාම අත්තම්මාගේ ගීත ගය ගයා ඉන්නද? ඔබගේම ගීත ඇතුළත් සංගත තැටියක් එළි දක්වන්න අදහසක් තිබෙනවාද? මේ වන විටත් මම මගේම ගීත කිහිපයක් ගායනා කරලා තිබෙනවා. තවත් වසර දෙකකින් විතර මගේම ගීත නිර්මාණ රැගත් සී. ඩී. පටයක් එළි දැක්වීමටත් පුංචි අදහසක් තිබෙනවා. ඒකට තරමක කාලයක් ගතවේවි. හොඳ නිර්මාණ කිහිපයක් තෝරාගෙන හොඳ වැඩක් කරන්නටයි මට අවශ්‍ය වන්නේ.
මෙහෙම දෙයක් තියෙනවා. මා වගේම අක්කව වුණත් බොහෝ දෙනා හඳුනන්නේ වසන්තා සන්දනායකගේ මිනිබිරියන් කියලා. නැතිනම් ශාන්ති අබේසේකරගේ, දයා හේමන්තාගේ දුවෙක් කියලා. ඒ විදියට ලැබෙන හඳුනා ගැනීම අපට ලැබෙන්නේ පරම්පරාවෙන්. නිකම්ම කෙනෙක් විදියට ක්ෂේත්‍රයට එනවාට වඩා ඒ පරම්පරාවෙන් ලැබෙන පිළිගැනීම අපට බොහොම වටිනවා. ඒ වටිනාකම සමඟයි අපි ස්වතන්ත්‍ර නිර්මාණ කළ යුත්තේ. එහෙම නැතිව පරම්පරාවේ පැරැණිම ගීත ගයමින් පමණක් සිටීම මා අනුමත නොකරන්නක්. මේ මොන දේ කළත් රසිකයන්ගේ සිතේ රැඳිලා තියෙන්නේ පැරැණි ගීත කියන කාරණයත් අප අමතක නොකළ යුතුයි.
70 හා 80 දශකයේ බිහි වුණු මේ ගීත සමුච්චය අද පරම්පරාව දක්වා ජනප්‍රිය වීමට හේතු වූ කාරණා ලෙස ඔබ දකින්නේ මොනවාද? මට හිතෙන්නේ මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඒ ගීතවල තනුවයි. ඒ කාලයේ බොහෝ ගීත නිර්මාණය වුණේ හින්දි ගීතවල තනුව අනුවයි. ඒ තනු නිර්මාණය වී තිබුණේත් රාගධාරී සංගීතය ආශ්‍රයෙන්. මේ නිසා බොහොම සොඳුරු ලෙස ඒ ගීත ගැයුණා. ඒත් සමඟම ඒ ගීත රචනා ගැනත් අපගේ අවධානය යොමු විය යුතුයි. ගීත රචනයේ තිබුණු සොඳුරු බවත් අතීතයේ ගීත අපගේ මතකයේ රැඳීමට හේතු වුණා. දැන් බිහිවන සරල, බොළඳ රචනා වෙනුවට එකල ගීතවල පදවල අපූරු අර්ථ ගැබ් වුණා. නමුත් අලුත් නිර්මාණවලත් අර්ථවත් ගීත නැතිවාම නොවෙයි.
ඔබගේ නිවැසියන්ගෙන් මේ කටයුතුවලට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? මම ගුරුවරියක් ලෙස උගන් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඒ ඉගැන්වීම් අතරතුර කාලය ලැබෙන අයුරෙන් සංගීත ප්‍රසංගවලට සහභාගිවීමටත් අමතක කරන්නේ නැහැ. අනිත් එක සෑම අවස්ථාවකම මගේ මහත්තයත් ඒ ප්‍රසංගවලට සහභාගි වෙනවා. එයාර් ලංකා එකේ සේවය කළත් ඔහුට අපූරුවට ගීත ගයන්නත් හැකියි. ඒ නිසා අපි දෙන්නගේ කටයුතුවලට දෙන්නගේම සහයෝගය නැතිවම බැහැ. මේ සියලු කටයුතු අතර ඕෂධ, ශෂික පුතාලගේ වැඩ කටයුතුත් පැවරෙන නිසා මම තරමක් කාර්යබහුලයි. අක්කා සුප්‍රියාගෙන් වුණත් අපට ලැබෙන සහයෝගය කියලා නිම කරන්න වචන නැහැ. මේ හැම දෙයක් අතර හැමෝගෙන්ම මට ලැබෙන උනන්දුවෙන් මම මගේ කලා ගමනේ ඉදිරියට යනවා. සමුගන්නා අවසානයේ මට කියන්නට තිබෙන්නේ මගේ රසිකයන්ට සී. ඩී. පටය අහලා ප්‍රතිචාර දක්වන්න කියලයි.
|