වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා

හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා

පසුගිය සතියෙන්...

දැන් ඔන්න විස්කි ග්ලාස් කීපයක් හිස් කරල ටික වෙලාවක් යන කොට මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. වටපිට බලපුවහම කැරකෙනවා. ගුවන් සේවිකාවන් එක්නෙකා දෙන්න වෙලා පේන්න පටන් ගත්තා. යානය ඇතුළේ ඉන්න අනික් මඟීන් මට ඩබල් ට්‍රිබල් වෙලා පේන්න ගත්තා. යානයේ ජනෙල් කවුලුවෙන් එබිල බැලුවහම වලාකුළු අතරින් ඉගිලිලා යනවා වගේ මට දැනෙන්න වුණා. හරියට රූබර ලලනාවන් ගොඩක් සමඟ ඇලී ගැලී ඉගිල්ලිලා යනවා වගේ මට දැනෙන්නට වුණා. දැන් මට ඉන්න තැනුත් අමතක වෙලා. කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියලවත් මට දැන් නිච්චියක් නැති තරම්.

ඔය අතරේ හිතට ආපු ජොලියට හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියලා මම කෑගැහුවා. මෙහෙම කියලා බලන කොට ප්ලේන් එකේ හැමෝම මගේ දිහා බලාගෙන ඉන්නවා මට පේනවා. මේ අයගේ මුහුණු මට දෙක වෙලා පේනවා. ගුවන් යානයට ගොඩ වෙන වෙලාවේ මගේ හිතේ තිබුණ ලැජ්ජා භය චකිතය දැන්නම් මගේ හිතේ කොනකවත් ගෑවිලා නෑ.

දැන් මට මේ විදියට කෑගහල තියෙන්නේ සැබෑ සිහියෙන් නොවන බව මට තේරුණේ මේ කවුරුත් මම දිහා බලා ඉන්න විදියෙන්. මගේ මේ වෙනස් හැසිරීම නිසාම මගේ අසලින් ගුවන් යානයේ වාඩි වෙලා හිටිය අයත් පුදුම විනෝදයක් ලබනවා කියලා මට දැනුණා. ඒ හින්දම මමත් ඒ අයට තව තවත් විනෝදයක් ලැබෙන විදියට හැසිරෙන්න පටන් ගත්තා. රූබර ගුවන් සේවිකාවන්ටත් මගෙ හැසිරීම හරිම විනෝදජනක වුණා.

එක පාරක් සීතලටත්, තවත පාරක් උෂ්ණත්වයටත්, තවත් පාරක් සෙම් කෝපයටත් එක එක වර්ගයේ සැර බීම වර්ග තරම ඉක්මවා බීම නිසාම මගේ හැසිරීම වෙනස්ම මුහුණුවරක් අරගෙන තිබුණා. ඔය අතරේ ගුවන් යානයේ පාලක මැදිරියෙන් නිවේදනයක් නිකුත් වෙන්න පටන් ගත්තා. දැන් අපේ ගුවන් යානය ඩුබායි රටට ළං වෙනවා කියලා. මම ටක් ගාලා ජනෙල් කවුළුවෙන් බිම බැලුවා.

මොන ගොඩබිමක් ද වලාකුළු ගොඩක් ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්න නෑ. ටික වෙලාවක් යන කොට වලාකුළු අතරින් චුටි කලා මැදිරි එළි ගොඩක් දිස්වෙන්න පටන් ගත්තා. ඒ තමයි ඩුබායි නගරය. ක්‍රමක් ක්‍රමයෙන් ගුවන්යානය රට ඇතුළට ළං වෙන කොට ආයෙත් ගුවන් යානයේ පාලක මැදිරියෙන් නිවේදයක් නිකුත් වුණා.

ගුවන් යානය ගොඩ බසින්න සූදානම්. ආසන පටි තද කර ගන්න කියලා. ඒ වෙන කොටත් මම පටිරෝල් කරගෙන තිබුණ නිසා තව මොන පටි ද තද කර ගන්න තියෙන්නෙ කියලා හිතලා මම වටපිට බලමින් හනික වෙරි හින්දම පටිය උපරිමයෙන් තදකර ගත්තා.

මෙතෙක් වෙලාවක් මුහුද උඩින් ආපු අපිට ක්‍රමයෙන් ගොඩ බිමත්, එහි අලංකාරයත් දිස් වෙන්නට පටන් ගත්තම යානයේ හිටිය හැමෝම සතුටින් ඉන්න බව මට පේන්න පටන් ගත්තා. ඒත් මට නම් හිතට දුකක් ඇති වෙන්න පටන් ගත්තේ හරියට දිව්‍ය ලෝකේ ඉඳලා ආයෙත් මනුෂ්‍ය ලෝකයට ගොඩ බහින්න වුණානේ කියලා හිතුණ නිසා. සිහින ලෝකයක අතරමං වෙලා හිටිය මට ගොඩබිමට ළං වෙන කොටම මතක් වුණේ අරාබි රටවල පවතින දැඩි නීති රීති. ඒ රටවල තියෙන දඬුවම්වල භයානකකම. මේවා මගේ හිතට මතක්වෙන කොට මගේ වෙරි ඉබේටම බැස්සා. වෙරි මරගාතේ යානයෙන් බහින්නේ කොහොමද?

අපේ රටේ පොලීසි වගේ බීල ඉන්න අයව අල්ලයිද? ඩුබායි පොලීසිය දෙකක් ඇනලා මාව කූඩුවට දමයිද? දඩ ගහයිද? මට ඇප තියන්න වෙයි ද? එහෙම වුණොත් මට වෙන වස ලැජ්ජාව. දැන් මම ප්‍රශ්න රාශියකට මැදි වෙලා. ඔන්න ඔය අතරේ පාන්දර හතරට විතර ගුවන් යානය ඩුබායි ගුවන්තොටුපළට ගොඩ බැස්සා. මගේ හිතේ බය තවත් වැඩි වුණා.

අපේ රටේ පොලීසියේ අය නම් මේ වෙලාවට හොඳට නිදියන වෙලාව. ඩුබායි රටේ පොලීසියේ අයත් එහෙම වුණොත් මට චාන්ස් එකක් තමයි කියලත් මට හිතුණා. දැන් ඉතිං මොනව කරන්නද. මම කරගත්ත දේවල්වලට මමම විඳවන්න එපායැ. ඕනෑ දේකට මුහුණ දෙන්න කියලා හිතලා හිතට ධෛර්ය ගත්තා. කවුරු නැතත් මට ඇනස්ලි, සැමුවෙල් ඉන්නවා. මම හිත ආයෙත් හදාගෙන බැරි බැරි ගාතේ වෙරිමර ගාතේ ගුවන් යානයෙන් හෙමින් සැරේ බැහැ ගත්තේ මගේ හැසිරීමෙන් විමෝදයක් ලබපු පිරිසගේ මුවඟ රැදුණ සිනාවන් අතරින්.