|
||||||
ලකී ඩයස් ඉතිහාසයට එක්වෙයිමට මාවම හඳුනා ගන්න බැරිවුණා
මගේ ජීවිතේ පරමාදර්ශී චරිත පහක් තියෙනවා
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ මාළිගය දෙසට ජවසම්පන්නව ගමන් කළ ප්‍රධානියා නිළමේවරුන් කිහිපපොළක් සමඟ කතාබහකින් අනතුරුව රජු බැහැ දකින්නට ගියේය. උසට සරිලන සිරුරත්, හිස දෙපසින් ගලා විත් ගෙල සිප පහළට ගලන නිරෝගී කෙස් කළඹත් ඔහුට අපූරු තේජාන්විත බවක් එක් කළේය. හෙතෙම දමිළ ජාතිකයනට නෑකම් කියන ලකුණු දැක ගත හැකි වූයේ නළල මධ්‍යයේ කැපී පෙනෙන රක්ත වර්ණ තිලකයෙනි. රාජාලියකුට සමැති සිහින් දිගැටි බොර පැහැ නෙත් යුගල දෙස එකවර බැලීමට පවා අසීරු තරමට බියජනක වුව ද ඔහුගේ මඳ සිනහව පියකරු වු එකකි. අරිට්ඨ . . . හේ කවුරුන්දැයි වට පිටාවේ සිටින පිරිස හඳුනා ගන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආමන්ත්‍රණයෙනි. රාජසිංහ රජතුමාගේ අමාත්‍යවරුන් අතර කැපී පෙනෙන මෙන්ම තීන්දු තීරණවලට සෘජුවම මැදිහත්වීමට හැකි අරිට්ඨ අපට හමුවන්නේ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටය අතරතුරය. ඒ එක් කතාවකි. ඉතිහාස කතාවන්හි සැරිසරන අරිට්ඨ මේ කාලයේදීම අපට මුණ ගැසෙන්නේ මහා නන්ද අමාත්‍යවරයා ලෙසිනි. වෙනස්ම වූ ස්වරූපයකින් හමු වන මහා නන්ද සිටින්නේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරනු ලබන මහරජ ගැමුණු චිත්‍රපටයේය. ඒ තවත් කතාවකි.
ඉතිහාසයේ යුග දෙකක සැරිසරන අරිට්ඨ, මහා නන්ද තෙවැනි වරට අපට හමුවන්නේ ඉතිහාසයේ නම ප්‍රකට කළ පුවත්පත් කලාවේදියකු ලෙසටය. ඉහත කී දෙදෙනාටම වඩා හාත්පස වෙනස් චරිතයක් මවන හෙතෙම සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරනු ලබන ‘අනගාරික ධර්මපාල’ හරහා ද එක්වන්නේ ඉතිහාස කතා මාලාවේ තවත් නිර්මාණයකටය. අරිට්ඨ අමාත්‍ය මහා නන්ද පුවත්පත් කාර්තෘවරයා. මේ තිදෙනාම මවන හෙතෙම අප හොඳින්ම දන්නා ප්‍රවීණ රංගන ශිල්පිියෙකි. මේ මොහොතේ ඔහු සහ මම දිගු හරවත් කතාබහකට සූදානමිනි. ඔබත් එන්න . . . මේ කතාබහට. අපි මෙතැන් පටන් ආදරණීය ලකී . . . ලකී ඩයස් නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා කියවමු.
එකම වසරේ ඉතිහාස කතා ත්‍රිත්වයක වෙනස්ම චරිත තුනක්. මා හිතන්නේ ඔබ අලුත් උයනක මල් දරන්නයි සූදානම. ආරම්භයට හොඳම තැන එතැන. . . පරාක්‍රම නිරිඇල්ලයන්ගේ යශෝරාවය ටෙලි නාට්‍යයේ බලදේව මගේ ජීවිතේට ගෙනාවේ කදිම ආලෝකයක්. මුලින්ම ඒ පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරමින් කතාබහ ඇරැඹීම වටිනවා. මිනිස්සු බලදේවට ආදරය කරන්න පටන් ගනිද්දී ලකී ඩයස්ටත් ආදරේ කළා. එතැනින් පටන් ගත්ත ගමනේ බොහෝ වෙලාවට මං එකම රාමුවකට කොටු වුණා. මට නිරතුරුවම ලැබුණේ වැඩිමල් සහෝදරයා, පියා, සල්ලිකාර තරුණයා, ව්‍යාපාරිකයා වගේ රාමුවකින් කොටුවුණු චරිත. වසර පහළොවක් විතරම බොහෝ අධ්‍යක්ෂවරුන් මාව ඒ රාමුවට කොටු කළා. නමුත් ඒ රාමුවේ කොටු වී නොසිටීමට මට උවමනාවක් තිබුණා. “නැව ගිලුනත් බෑන් චූන්” ඊට හොඳ උදාහරණයක්. රූපවාහිනියේ ප්‍රේක්ෂකයන් හූල්ලමින් බලදේව දිහා බලන් ඉන්න කාලේ මං “නැව ගිලුණත් බෑන් චූන්” චිත්‍රපටයට ගිවිසුම් අත්සන් කළා. බිම පෙරළෙමින්, ගීත ගයමින්, සටන් ජවනිකා රඟපාමින් මා චරිතය මැනවින් රඟපෑවා. යශෝරාවය සුපර් හිට් එකක් වුණා වගේම “නැව ගිලුනත් බෑන් චූන්” මාව රිදී තිරයේ සුපර් ස්ටාර් කෙනෙක් කළා. මේ අතරතුරේදී මට “හිමි අහිමි” එකේ හොඳම චරිතය ගැන ප්‍රේක්ෂකයන් ලබා දුන්නේ වෙනම යහපත් ප්‍රතිචාරයක්. ඒ දඩබ්බර චරිතය දැකපු හැමෝම මට කිව්වේ චණ්ඩියෙකුගේ චරිතයකටත් සුදුසුයි කියලයි. ඒ වුණාට මට එහෙම චරිතයකට ආරාධනාවක් ලැබුණෙම නැහැ. ඒ අනුව මම “පාරාදීසේ සහ සත්‍යා” කළා. ඒ දෙකේ චරිත ඉතාම වෙනස්. නැටුම්, ෆයිට් කළා. මේවයින් මං රාමුව බිඳින්න උත්සාහ කළා. නමුත් මාව වැඩිපුරම කොටු වෙලා තිබුණේ ධනවතා, අයියා, ව්‍යාපාරික තරුණයා වගේ චරිතවලට.
මේ අතරතුරේදී වසරකට මං කරන්නේ එක චිත්‍රපටයයි, එක ටෙලි නාට්‍යයයි කියලා මමම හදාගත්ත රීතියකුත් තිබුණා. මෙහෙම කාලයක් ගත වුණා. මගේ ඊළඟ විජයග්‍රාහී හැරවුම ලක්ෂයේ ගෞරවය හිමි විය යුත්තේ සුරන්ජන් විජේනාමට. සුරන්ජන් මගේ රඟපෑම දැකලා තිබුණට ඔහු මාව තියල තිබුණෙ වෙනම තැනක. විජය නන්දසිරි සමඟ ප්‍රතිවිරුද්ධ චරිතය තමයි යර්ස් බොස් ටෙලි නාට්‍යයේ මට ලැබුණේ. ඒක මට ලොකු කරනමක් වගේම අභියෝගයකුත් වුණා. සුරන්ජන් මා කෙරෙහි තැබූ විශ්වාසය මං ප්‍රේක්ෂකයන් හමුවේ ඔප්පු කොට සුරක්ෂිත කළා. යර්ස් බොස් මාව වෙනමම තැනකට ඔසවා තැබුවා විතරක් නෙවෙයි, උපරිම ජනප්‍රියත්වයත් ළං කර දුන්නා. තවත් කාලයක් ගත වුණා. එක් දිනක් සුගත් සමරකෝන් මට ඇමතුමක් ලබා දුන්නා. ඉන් පසුව අපි හමු වුණා. ඔහු මට පැවසුවා ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ අරිට්ඨ කියන චරිතයට මම තෝරා ගන්නට ඔහු හිතාගෙන ඉන්නා වගක්. ඉන් අනතුරුව මම පිටපත කියෙව්වා. මට වැටහුණා මේ මගේ රංගන ජීවිතයේ තවත් අති සුවිශේෂ හැරැවුම් ලක්ෂයක ඇරැඹුමක් කියලා. අරිට්ඨ කියන චරිතය මං බාර ගත්තා. මගේ රංගන ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් වෙනුවෙන් මට අවස්ථාව ලබාදී ආරාධනා කළ සුගත් සමරකෝන්ට මගේ ගෞරවය හිමි විය යුතුමයි. සුගත්ගේ ළෙන්ගතු ආරාධනයෙන් මම අරිට්ඨ චරිතයට සූදානම් වුණා. මේ අතරතුර දිනෙක ජයන්ත චන්ද්‍රසිරි මට ආරාධනාවක් ගෙන ආවා මහරජ ගැමුණු චිත්‍රපටයේ අමාත්‍ය මහා නන්ද චරිතය රඟපෑමට. ජයන්තත් එක්ක වැඩ කරන්න මං හිටියේ බොහොම ආසාවෙන්. ජයන්ත වගේ කෙනෙකුට මාව මඟහැරීම පිළිබඳත් පොඩි කණගාටුවකුත් හිතේ තිබුණා. කොහොම හරි ජයන්තගේ ආරාධනාවත් මං පිළිගත්තා. අමාත්‍ය මහා නන්ද වීමේ වරම සමඟ මගේ හැරවුම් මාවත තවත් ශක්තිමත් වුණා. සනත් අබේසේකර අනගාරික ධර්මපාල චිත්‍රපටයට ආරාධනා කරන්නෙත් මේ කාලයේදීමයි. එහි මා නිරූපණය කරන්නේ ධර්මපාලතුමාට දිවි හිමියෙන් කැප වී උදව් උපකාර කරන එඩිතර පුවත්පත් කලාවේදියකුගේ චරිතයක්. එයත් මට ලැබුණු හොඳ වෙනසක්. ඔබ කීවා නිවැරැදියි. මේ වසරේ මං ගමන් කරන්නේ අලුත් පාරක. ලංකාවේ තැනෙන ප්‍රධානතම ඉතිහාස කතා ත්‍රිත්වයක ප්‍රධාන චරිත ලැබීම භාග්‍යයක් කියලා මට දැනෙනවා. මේ අලුත් මල් පිපෙන වාරය කියලයි මට හිතෙන්නේ.
මේ චරිත ත්‍රිත්වය ගැනත් කෙටියෙන් කතා කරමු. අරිට්ඨ කියන්නේ රාජසිංහ රජතුමාගේ ළඟම සිටින අමාත්‍යවරයකුගේ චරිතයක්. මේ චරිතය සඳහා මාව සුවිශේෂී ලෙස වෙස් ගැන් වූවා. පළවෙනි දවසේ මට ඇඳුම් අන්දවලා, මේකප් කරලා කඩු එල්ලල ඔක්කොම ඉවර වෙලා තමයි මට කණ්ණාඩිය ළඟට යන්න දුන්නේ. මට මාවම අඳුනගන්න බැරි වුණා. මට අදහා ගන්න පවා බැරි වුණා ඒ වෙනස. ඒ වෙනස ලබා දීමට කටයුතුª කළ ප්‍රවීණ අංග රචනා ශිල්පී වසන්ත විට්ටච්චි, ඇඳුම් නිර්මාණ ශිල්පී වෙනුක වික්‍රමආරච්චි, කොණ්ඩා සැකසුම් ශිල්පී සරත් රණවීර වගේම කලා අධ්‍යක්ෂ ධම්මික හේවාදූවත්තටත් මං මේ මොහොතේ හද පිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඇහැලේපොල කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණධීරත් මේ මොහොතේ ස්තුති පූර්වකව මතක් කරනවා. අමාත්‍ය මහා නන්ද චරිතය වෙනුවෙනුත් මං කැපවීමෙන් කටයුතුª කළා. දුටුගැමුණු රජතුමාගේ කතාන්දරය සඳහා මා තෝරා ගැනීම වාසනාවක් ලෙසටයි මට හිතෙන්නේ. ජයන්ත මගේ චරිතයට තවත් බොහෝ දේ එක්කොට තිබුණා. ඒ වගේම අනගාරික ධර්මපාල චිත්‍රපටයේ මා මවන්නේ එඩිතර මාධ්‍යවේදියකුගේ භූමිකාව. එතුමන්ට ඒ වකවානුවේ රැකියාව පවා අහිමි වී තිබෙනවා. මෑත ඉතිහාසයේ ප්‍රතාපවත් එඩිතර චරිතයක් තමයි අනගාරික ධර්මපාල හි රඟන්නේ.
ඔබ ආනන්දියෙක්. කුඩාකලේ ඉතිහාසය ගැන ඇල්මක් තිබුණාද? ඇත්තටම ඔව්. ඉතිහාසය, භූගෝලය වගේම අපේ රට ගැන හොයන්න මං පෙලඹුණේ ආනන්දයේ තිබූ පසුබිමත් එක්ක. බර්ටි විජේසිංහ වගේ ගුරුවරු මට ඒ කටයුත්තට හොඳට උදව් කළා. ඒ උගත් දෑ මේ චරිත සඳහා මට මහෝපකාරී වුණා.
මේ චරිත ත්‍රිත්වය දිවෙන්නේ ඉතිහාසයේ වකවානු තුනක් හරහා. මේ වෙනස ඇති කර ගත්තේ කොහොමද? මහරජ ගැමුණු චිත්‍රපටයේ කතා විලාසය ඇඳුම් පැළඳුම් සහ මගේ රංගන ශෛලිය වෙනස් එකක්. ඒ වගේම ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මට ලැබුණු චරිතය සුවිශේෂීයි. මට ද්‍රවිඩ ඌරුවකට තමයි සියල්ල රඟපාන්නට තිබුණේ. ඉරි තුන නළලේ ඇඳල පොට්ටුව තියලා රඟපෑව වගේම හඬ කැවීමේදීත් දමිළ බසට සමීපව තමයි සිංහල උච්චාරණය කළේ. අනගාරික ධර්මපාල චිත්‍රපටයේ මෑත ඉතිහාසයේ ජන ජීවිතයට සමීපව රඟපෑවේ. ඉතාමත් අභියෝගාත්මක චරිත තුනක්. යුග තුනක චරිත තුනක් කියන්නේ හාත්පස වෙනස් රංගනයන් ඉදිරිපත් කළ යුතුයි. මා හිතනවා ඒ අභියෝගය ජය ගත්තා කියලා.
අපි පාසල් කාලය ගැන මීට පෙර කතා කළා. ඒ කාලේ නළුවෙක් වෙන්න හීනයක් තිබුණාද?
නෑ. කවදාවත්ම නැහැ. ඉස්කෝලේ යන කාලේ හරිම භාෂාවෙන් කිව්වොත් මදාවියෙක්. ඒත් කලාවට ඇල්මක් තිබුණා. නළුවෙක් වෙනවා කියලා හිතාගෙන හිටියේ නෑ කවදාවත්ම.
ඔබේ ජීවිතේ බොහොම නිසොල්මනේ ශාන්තව ගලා යන බවක් අපට දැනෙනවා? ඒක නිවැරැදියි. මං බෞද්ධ පරිසරයක හැදුන වැඩුණු කෙනෙක්. ඒ වගේම මගේ තාත්තා තමයි අදටත් ජීවිතේ පරමාදර්ශී චරිතය. මගේ දෙමව්පියෝ අතිශය බෞද්ධ. මං දහම් පාසල් ගියේ වජිරාරාමයට. මේ වගේ කරුණු මාව බෞද්ධ දර්ශනය ඇතුළේ ජීවත්වීමට පෙලඹවීම් ඇති කළා. මට ඇසුරු කරන්න ලැබුණේ හොඳ චරිත. ඒ වගේම බුද්ධිමත් මට වඩා ප්‍රබල චරිත. නම් වශයෙන් ගත්තොත් මගේ තාත්තගෙන් පටන් ගත්තම කර්නල් පී. ඩබ්ලිව්. රාජපක්ෂ, ආනන්ද තිස්ස ද අල්විස්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගාමිණී ෆොන්සේකා. මේ පස් දෙනා තමයි මගේ ජීවිතේ හැඩ කළේ. ඉතිං මේ වගේ දැවැන්ත චරිතවලින් මං ජීවිතේට බොහෝ දේවල් එකතුªකර ගත්තා. ඒ එකතුව මට ජීවිතේ හැමදාටම වටිනවා. මගේ තාත්තගේ ජානවලට පින් සිද්ධ වෙන්න මං කාටවත් නැවෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙන්න මට පුළුවන්. මට ලොකුª දේවල් උවමනා නැහැ. මං අවශ්‍ය නැති දේවල්වලට ගිජු නැහැ. ජීවත්වෙන්න පුළුවන් ගාණට හැම දේම තිබුණාම මට ඇති. ඒ නිසා ජීවිතේ තැනිතලාවක ගලාගෙන යන සුනිමල සුපිරිසුදු සීතල දිය දහරක් වගේ පිවිතුරුයි. සුන්දරයි. ගිජු නොවීම නිසාම දුකක් නැහැ. ඒ නිසා ජීවිතේ හැමදාම සුන්දරයි.
පසුගිය කාලයේ ඔබ නිවේදකයකු ලෙසටත් අපට හමුවුණා. අවසන් වශයෙන් කොෆි විත් ලකී. ඒ නිවේදකයාට මොකද වුණේ? ඔව්. ලක්ෂපති වැඩ සටහනින් පසුව කොෆි විත් ලකී ඉතාමත් හොඳ ප්‍රතිචාර ගෙන දුන්නා. එහි කඩඉමක එය නතර කළා. නමුත් කිසිම හේතුවක් මත එක නාළිකාවක කළ වැඩසටහනක ආකෘතිය හා අනන්‍යතාවය මං තවත් අයකුට විකුණන්න සූදානම් නැහැ. ඉදිරියේදී වෙනත් මාදිලියක හැඩයක වැඩ සටහනක ඉදිරිපත් කරන්නකු ලෙසට ආරාධනා ලැබුණොත් එහි ගුණාත්මක බව සහ සමාජයට ඇති ප්‍රයෝජනය ගැන සලකා බලා බාර ගන්න මං සූදානම්. කොෆි විත් ලකී කරලා ඒකේ ආකෘතියට ටී විත් ලකී කරන්න මට බැහැ. ඒකට මං සූදානම් නැහැ.
අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ? වර්තමානයේ ටෙලි නාටය ක්ෂේත්‍රයේ රඟපාන නළු නිළියන් අතර තෝරා ගත හැකි පිරිසක් ඉන්නවා. අවම වශයෙන් පස්දෙනා පස්දෙනා දෙපාර්ශවයෙන් තෝරා බේරා ගත හැකි දක්ෂයන් ඉන්නවා. හොඳ දක්ෂයන් ද අපේ අතර ඉන්නවා. නමුත් නවක නළු නිළි කැල සිනමාවට අදාල රංගන ක්‍රමවේදයක් හෝ සිනමාවට උචිත පෞරුෂයක් ඉදිරිපත් නොකිරීම ගැන මට තිබෙන්නේ කණගාටුවක්. |
||||||