වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




චමින්දගෙන් පාට පිරුණු දේදුණු

චමින්දගෙන් පාට පිරුණු දේදුණු

චමින්ද ලාල් ඉපදුණේ මාතර කඹුරුපිටියේ. කුඩා කාලේ පටන් නළුවෙක් වෙන්න තිබුණු ආසාව නිසාම ඔහු කලාවට සම්බන්ධ වුණා. මේ වන විටත් ඔහු කලා නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වී තිබෙනවා. එමෙන්ම ඔහු පාට පිරුණු දේදුණු නමින් ගීත දහසයක් එළි දැක්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ කෙටි පිළිසඳරකි.

‘ඔව්, මට කුඩා කාලේ ඉඳලම නළුවෙක් වෙන්න පුදුමාකාර උනන්දුවක් තිබුණා. ඒ නිසාම මම පාසල් කාලෙදි පාසල් වේදිකාවේ නාට්‍යවලට දිගටම යොමු වුණා. පාසල් වේදිකාවේ රඟපාපු මට රංගන ශිල්පියෙක් ලෙසින් කලාවට සම්බන්ධ වෙන්න තිබුණු ආසාව වැඩි වුණා.

ඔබට රංගනයට එන්න උදව් කළේ කවුද?

වසන්ත කුමාරසිරි මහතා තමයි මට මේතාක් දුර එන්න උදව් කළේ.

ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?

මගේ පළමු නිර්මාණ වුණේ කෝපි කඩේ පියුංගෙ චරිතය. ඉන් පසුව තීර්ථ තරණය, සිරීගෙ ඉරණම, පාවෙලා වැනි නිර්මානවලට දායක වුණා.

සිනමා නිර්මාණවලටත් ඔබ දායක වුණාද?

ඔව්. සිද්ධාර්ථ, දළදාගමනය, අඩ්‍රස් නෑ, මේ නිර්මාණ තුනට මම දායක වුණා.

ඔබව මිනිසුන් අතරට ගියේ මොන නිර්මාණය හරහාද?

සිරිගෙ ඉරණම ටෙලි නාට්‍යය හරහා මම ප්‍රේක්ෂකයින් අතරට ගියා.

ඊට අමතරව?

දැන්වීම්වලටත් මම සම්බන්ධ වුණා.

පාට පිරුණු දේදුණු මොන වගේ නිර්මාණයක්ද?

මේක මගේම ගීත 16 ක් ඇතුළත් සී. ඩී. එකක්. මෙහි ගීත ගායනය මගේ. ගී පද රචනා සඳහා ජයසිරි අමරසේකර මෙන්ම තවත් කිහිප දෙනෙක් සම්බන්ධ වුණා.

ඔබගේ ඉදිරි නිර්මාණ මොනවාද?

යෞවන සම්මාන වේදිකා නාට්‍යවලට සම්බන්ධව පුහුණුවීම් කරනවා. බොම්බෙ වෙල්වට් නමින් නිර්මාණය කරන සිනමා පටයකට ආරාධනා ලැබුණා.

ඔබ වෘත්තියෙන්?

පුද්ගලික ආයතනයක රැකියාව කරනවා.

ආත්ම තෘප්තිය සඳහා කලාවට සම්බන්ධ වූ චමින්ද ලාල් රංගනය විෂයක් ලෙසින් හදාරනවා. රංගනයෙන් සහ ගායනයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ඔහුට අපගේ සුබපැතුම්. ඔහුගේ ලිපිනය: නො: 213, පුවක්වත්ත, ඉහළ විටියල, කරගොඩ, උයන්ගොඩ .