වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




එකම යුද්ධයක් ගැන චිත්‍රපට දෙකක්

එකම යුද්ධයක් ගැන චිත්‍රපට දෙකක්

හිම මෙන් අතුළ වලා රොද මැදින් දිව යන කැමරාව සමග අපට ඇසෙනුයේ කෙනෙකුගේ ආත්ම කථනයකි.එහෙත් එය ජීවත් වන්නෙකුගේ නොවේ.ඔහු මිය ගොසිනි.කවදාදැයි කියන්නට මට නොහැක.ඔහුගේ ආත්ම කථනය සමග වලා පටල මැද ඇවිද යන අප ඉන් පහළ දකිනුයේ මහ හඬ නංවා ගෙන යන දුම්රියකි.එය පැරණි දුම් කෝච්චියකි.අප අතීතයේ දවසක සැරි සරන බැව් සහතිකය.දුම්රියේ ගමන් ගන්නා බොහෝ පිරිස මැද සිටින ඇතැමෙක් නින්දේය.

තවත් කෙනෙකු කහින හඬ ඇසේ.එහි සිටින මගින්ගේ තරාතිරම නිරික්ෂණය කරන කැමරාව නතර වනුයේ එහි සිටින මවක් සහ දරුවන් දෙදෙනෙකු සමීපයේය.මේ දුම්රිය ආසන ප්‍රමාණයට සෙනග පිරී ඇත්තේය.බාල අත දරුවා මවගේ තුරුල්ලේය.දැරිය සිටිනුයේ දුම්රිය කවුළුව ළඟය.ඇය එක්වරම සිය මෑණියන් ට පෙන්වනුයේ මවගේ උකුලේ නිදා සිටින මළනුවන් පිළිබඳවය.ඔහුගේ නාස් පුඩු අතරින් ලේ බිඳුවක් එළියට ඇවිත් නතර ව තිබේ.දුම්රිය මහ හඬින් නලා නාද කරමින් හිම කඳු අතර ඉදිරියට එනු අපට පෙනෙනුයේ ආකාසයේ සිටය.

පසුගිය වකවානුවේ ලොව විචාරකයන් අතර බුහුමනට පත් වූ තවත් චිත්‍රපටයක් වන ද බුක් තීෆ් චිත්‍රපටය ආරම්භ වනුයේ එපරිද්දෙනි. මේ චිත්‍රපටයේ ආරම්භක දර්ශණය සමග මගේ මතකයට එක් වනුයේ පසුගිය වසරේම තිර ගත වීම ඇරඹි ඒ හා සමාන සිනමා විචාරක අවධානයට පාත්‍ර වූ චිත්‍රපටයක් පිළිබඳවය.එහි ද ආරම්භය හිම කඳු අතරින් දිව යන දුම්රියක් මැදි වියේ කාන්තාවක් ද කැටුව පැමිණ කඳුකරයේ පාළු දුම්රිය නැවතුම් පළක නතර වීමයි.එයින් නොනැවතින එහි මුල් දර්ශණ පමනක් නොව චිත්‍රපට දෙක අතර ඇති කතාන්දරයේ ද කිසියම් සමානකමක් උසුලනු මට පෙනෙයි. ද බුක් තීෆ් බ්‍රිතාන්‍ය සිනමාකරු බ්‍රයන් පර්සිවල්ගේ නිර්මාණයකි.දෙවැන්න ඉන් හයිඩිං නම් පෝලන්ත චිත්‍රපටයක් වන අතර එහි සිනමාකරු ජාන් කිදාවා බ්ලොන්ස්කිය.මේ චිත්‍රපට දෙකම පාදක කරනුයේ ද එකම කාල වකවානුවක්ය.ඒ දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි.එහි එන මිනිසුන් වෙනස් වනුයේ දෙරටක ජීවත් වන්නන් හෙයිනි.එහෙත් යුද්ධය නම් පොදු සාධකය මේ චිත්‍රපට යුගලෙහිම මිනිස් ජීවිත පිළිබඳ සමාණ ඉරණමක් ලබා දී ඇත්තේය.

දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිම වී එන වසරට අවුරුදු හැටකි.එහෙත් එහි උණුසුම තවමත් රැඳී පවතින බැව් තව දුරටත් ඒ සම්බන්ධව තැනෙන චිත්‍රපට උදාහරණ සපයයි.අද එම යුද්ධයට මුහුණ දුන් බොහොමයක් මහළුය.නැතහොත් ජීවතුන් අතර නැතුවා විය යුතුය.එයට මුල් වන කිසිවකු අද නැති වග නම් සහතිකය.එහෙත් යුද්ධය නොදුටු සිනමාකරුවන් තවමත් එහි වීරයන් පිළිබඳ චිත්‍රපට තනති.එහෙත් මේ චිත්‍රපට යුගලම වීරයන් පිළිබඳ නොවේ.

කෙසේ වෙතත් දෙවැනි ලෝක මහා සංග්‍රාමය තරම් සිනමාව සඳහා පාදක වන තවත් යුද්ධයක් ඉතිහාසයේ නොවූ විරූ තරම්ය. යුරෝපයේ බොහෝ රටවල් යුද්ධය සම්බන්ධ තම තම අත්දැකීම් තම තම ඇසින් යුතුව සිනමාවට ගෙන ආහ.එය අද දක්වාම සිදුවන්නකි. පෝලන්තයේ තැනෙන ඉන් හයිඩිං මෙන්ම අමෙරිකාවේ තැනෙන ද බුක් තීෆ් ද එයට කදිම උදාහරණයන්ය. මේ සිනමාකරුවන් දෙදෙනාම සිය සිනමා කෘතින් සදහා වස්තු විෂය කොට ගනුයේ එකිනෙකට සමාන පුවත් ය.එනම් දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ සිය ජීවිතය පරදුවට තබා රැකවරණය ලබා දෙන යුදෙව්වන් පිළිබඳ කතාන්තරයන්ය.එහෙත් ඉන් හයිඩිං චිතපටය ද බුක් තීෆ් චිත්‍රපටය ද ඒ අත්දැකීම ගෙන එනුයේ එකිනෙකා අතර පරස්පර වෙනස්කම් සහිතවය.ඉන් හයිඩිං මානුෂිය රැකවරණය සහ ආත්මාර්ථය පිළබඳ මිනිසුන්ගේ සිතුවිලි වඩා සංවේදි ආකාරයෙන් ඉදිරිපත් කිරිමක් හේතුවෙනි.

බුක් තීෆ් චිත්‍රපටයේ දී ජර්මානු පවුලක අනාථව තැනෙන තරුණ වියට එළැඹෙමින් සිටින දැරිය සහ ඔවුන්ගේ රැකවරණය ලබන යුදෙව් තරුණයෙක් පිළිබඳවය.එහෙත් ඉන් හයිඩිං චිත්‍රපටය වස්තු විෂය කරනුයේ රැකවරණය පතා තම නිවසේ ලගුම් ගන්නා යුදෙව් තරුණිය සමග සම ලිංගික සම්බන්ධයක් අරඹන ජනිනා නම් කාන්තාවක් සහ එස්ටර් නම් යුවතිය පිළිබඳ පුවතයි. විටෙක අතිශෝක්තියට නැඹුරු වන තිර නාටකයක් වනුයේ නමුදු එහි මේ යුවතියන් දෙදෙනාගේ ආදරයත් යුද්ධය නිමවීමත් සමග ඔවුන්ගේ ජීවිත කනපිට පෙරැලීමත් යන කාරණය සමග එහි රඟපෑ පෝලන්ත නිළියන් දෙදෙනා එකිනෙකට නොදෙවනි නොවන අන්දමේ චරිත නිරූපනයක් සමඟ එය විශිෂ්ට සිනමා අත්දැකීමක් බවට පත්වෙයි. එහි කෙළවර ජනිනා පිළිබද කිසිම ආකාරයකින් අපුලක් අප සිත් කරා ඇදී නොඑයි. එහි රඟපෑ මග්දලේනා බොක්සැර්ස්කා පසුගිය ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය දිනා ගත්තාය.

ද බුක් තීෆ් සිනමා නිර්මාණය ඉන් හයිඩිං චිත්‍රපටයේ අත්දැකීමෙන් වෙනස් වනුයේ එයිනි. දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් භාගයේ පෝලන්තයේ ගම්මානයක් ජීවත් වන ගැහැනුන් දෙදෙනෙකු වටා සිය සිනමා නිර්මාණය ගොඩ නගන ඉන් හයිඩි සිනමා කෘතිය හරහා යුද්ධය හමුවේ මිනිසුන්ගේ ආත්ම ගෞරවය ද සත්‍යය ද අවසන් වන අන්දම මනාව සිය සිනමා කෘතියට පාදක කර ගනී. එහි දී ඔහු සිය සිනමා කෘතිය ඇතුළත කිසිවකුට හෝ දොස් නොපවරණ ඉරණමකට ගෙන හැර පායි.

ඒ ජර්මනියේ දරුණු අතවරයට ලක් වන පෝල්න්තයේය.එහෙත් බුක් තීෆ් චිත්‍රපටයේ යුද්ධය පිළිබඳ අත්දැකීම ලබනුයේ ජර්මනියේ සිටය. එය දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය සිදු කිරීමේ පාපය පැවරුණ රටකි.එමෙන්ම ඉතා තිරශ්චින ඝාතන රැල්ලකට මුහුණ පාන යුදෙව්වන් ගැන කියවුන ද බැවින් නිර්මාණ සියල්ලලේම සාමාන්‍ය ජර්මානුවන් පිළිබඳ බොහෝ චිත්‍රපට කතා කළේ නැත දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳ තැනුණ චිත්‍රපටවල ජර්මානුවන් දකින්නේ මහා රකුසන් පිරිසක් හැටියටය. එහෙත් ද බුක් තීෆ් චිත්‍රපටය සාමාන්‍ය ජර්මානු මිනිසුන් සහ ගැහැනුන් ද ළමයින් ද යුද්ධය හමුවේ පොදු ඉරණමක ට ගොදුරු වන අන්දම මනාව කියා පායි. සිනමා කෘතියේ මුල් හමුවන කථිකයා ජීවමාන චරිතයක් නොවෙයි. එය අපට ගෙන එන්නේ මරණයේ සෙවනැල්ලයි.මුළු චිත්‍රපටය පුරාම එය සෙවනැල්ලක බඳු ව ගලා යයි.

යුද්ධය තම මුවදොරටම පිවිසෙන තෙක්ම එහි ආදිනවයන් වටහා නොගන්නා මිනිසුන් එයින් පසු හැරෙනුයේ තමන්ගේ සිතැඟි පරිදිය.ඔවුන්ට රැක ගන්නට බොහෝ රහස් ඇත. එහෙත් උපාය ශිලි දැරියක වන ලීසල් තම හදාගත් මාපියන් හමුවේ රැකවරණය ලබන මැක්ස් කම් තරුණයා ගේ වගකීම දරන්නේය.මේ තරුණයා කලකට ඉහත එනම් පළමු ලෝක මහා සංග්‍රාම සමයේ සිය හදාගත් පියාගේ ජීවිතය බේරා දුන් පුද්ගලයකු ගේ පුතෙකි.එහෙත් නීතියේ පරිදි පියානන් ද යුද්ධයට යායුතු දවසක් පැමිණෙයි.

චිත්‍රපටය අරඹන විට දැරිය අකුරු නොදත් තැනැත්තියකි ඇය තම නම සඳහන් කරනුයේ එක්ස් අකුරු තුනකිනි. එහෙත් එයින් එහා එය උච්චාරණය කරනුයේ කෙලෙසදැයි ඇය නොදන්නීය.මේ දැරිය කියවන්නට නොදන්නා බව වටහා ගන්නා ඇගේ හදා ගන්නා පියා හෑන්ස් ඇයට අකුරු කියා දීම අරඹයි.එහෙත් හිට්ලර් ගේ තරුණ කන්ඩායමේ සාමාජිකයන් හැටියට එක් දිනක සිදුවන ග්‍රන්ථ සංහාරයට ඇය දායක වන්නේ සිතකින් නොවේ. එහි තිබෙන පොතක් බේරා ගන්නා ඇය එය රැගෙන යද්දි ඇයට මුණ ගැසෙන්නේ ඉල්සා නම් ගැහැනියයි.නගරාධිපතිගේ භාර්යාව වන ඇය සතු දැවැන්ත පුස්තකාලයක් රහසින් පවත්වා ගෙන යයි.මේ සියල්ල සිනමාකරු අපට මතු කරනුයේ සංත්‍රාසය පිළිබඳ හැඟීමක් ඇති කරමිනි. යුදෙව්වන්ට උපකාරි වීම සහ නාසි අදහස් පිළි නොගැනීම යනු සියතින් මරණ වරෙන්තුව ලියා ගැන්මක් බැව් අප දන්නා කාරණයකි.සිනමාකරු අපට භීතිය ගෙනෙනුයේ අප දන්නා යථාර්තය සමගය.

වරින්වර සිදුවන යුදෙව්වන් පැහැර ගැනීම ආදිය සුළභ ව සිදුවද්දී එයට මැදිහත් වන්නට යන හෑන්ස් වැන්නන්ට සිදුවනුයේ හමුදා භටයන්ගෙන් පහර කන්නටය. එහෙත් නාසි හමුදාව පිලිබද හෝ හිට්ලර් පිළිබඳ ජර්මනුවන්ගේ ඇත්තේ අප්‍රමාණ විස්වාසයකි.පසු කලක යුද්ධයට යන හෑන්ස්ට සිදු වනුයේ අබ්බගාතයකු වී නිවසට එන්නටය. එහෙත් එක් බිහිසුණු අඳුරු රැයක රුසියානු යානා ජර්මනියට කඩා වදියි.හෑන්ස් ඇතුළු නිවැසියන් විනාසයට පත් වනුයේ රුසියානු යානා ආක්‍රමණයෙනි.ඉන් හයිඩිං චිත්‍රපටයේ දී පෝලන්තයේ ආක්‍රමණය කරන රුසියානුවන් නිසා පෝලන්ත ජනයාට ඇති වනුයේ කිව නොහැකි තරම් නිදහසකි. එහෙත් රුසියානුවන්ගෙන් පෝලන්තය නිදහස් කළ වගක් එස්තර්ට කියා පාන්නට ජනිනාගේ ස්වර්ථාය ඉඩ නොදෙයි.

එහත් බුක් තීෆ් චිත්‍රපටයේ රුසියානු ආක්‍රමණයත් සමග සිදු වනුයේ ජර්මානුවන්ට ජිවිත ආසාව අත හැර ගන්නටය. නැතහොත් යුදධයේ සුන්බුන් අතරට වන්නටය. ලීසල් යුද්දයේ කෙළවර දකිනුයේ තමා හදා වඩා ගත් මාපියන් මේ යුද්ධයෙන් මිය ගිය අන්දමය.ඇය ඇතුළු පවුලේ පිරිස විසින් දිවි බේරා ගත් මැක්ස් වසසර ගණනාවකට පසු ඇය හමුවන විට ඕ සුළු රැකියාවක් කරමින් දිවි ගෙවන්නීය. එහෙත් චිත්‍රපටය අවසානයේ මරණය විසින් සිය ආත්ම කථනය යළි කියා පාන විට ලීසන් 92 හැවිරිදි මිත්තනියක්ව ජීවත්ව සිටි වග අප දැන ගනිමු. එහෙත් ඇය විවාහ වනුයේ කා සමගදැයි කියා දෙන්නට සිනමාකරු ඉක්මන් නොවෙයි.

ඒ වෙනුවට ඇය ලේඛිකාවක ලෙස ද ධනවත් දිවියක් ගෙවූ වග ඔහු අපට හෙළි කර සිටියි.

එකම යුද්ධයක එක හා සමාන අත්දැකිම් දෙකකට මුහුණ පාන ප්‍රෙක්ෂකයාවන මට සිදුවනුයේ දෙවන ලෝක මහා යුද්ධය පිළිබඳ යළි සිතා බලන්නටය. යුද්ධයේ දී අන් මිනිසුන්ගේ දිවි බේරා ගත් සින්ඩ්ලර්ස් ලිස්ට් හෝ හිට්ලර් ගේ ජීවිතය පිළිබඳ තැනුණු ඩවුන්ෆෝල් වැනි චිත්‍රපට හරහා දෙවන ලෝක මහා සංග්‍රාමය නැවත කියවන්නට අපට හැකිවිණ.ඒ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිලිබඳ ඇතැම් බහුතර මාධ්‍ය මගින් ගොඩ නංවන ලද ජයග්‍රාහකයන්ගේ වීර කාව්‍ය වලට වඩා වෙනස් අත්දැකීම්ය. අමෙරිකානුවන් විසින් අයිවෝ ජිමා දූපත අල්ලා ගැනීම පසුබිම් කර ගෙන ක්ලින්ට් ඊස්ට්වුඩ් නිර්මාණය කළ ෆ්ලෑග්ස් ඔෆ් අවර් ෆාදර් සහ ලෙටර් ෆ්‍රොම් අයිවෝ ජිමා යන චිත්‍රපට යුගල මෙයට වඩා වෙනස්ය.

එය රටවල් දෙකක සිනමාකරුවන් දෙදෙනෙකු එකම යුද්ධයේ සමාන අත්දැකිම් අළලා තැනුණ චිත්‍රපට වීමය. මේ චිත්‍රපට යුගලම නවකතා ඇසුරු කොට ගත්ත ද සිනමාකරුවන් එය වඩා විශිෂ්ට අත්දැකීම් බවට පත් කරයි.එයටත් වඩා බ්‍රිතාන්‍යය සිනමාකරු බ්‍රයන් පර්සිවල් සිය සිනමාකෘතිය හරහා කියා පානුයේ එම යුද්ධයේ දී බ්‍රිතාන්‍ය සමග සටන් වැදුණ ජර්මානුවන්ගේ ඉරණම ගැනය. ඇත්ත නම් මේ චිත්‍රපට සියල්ල එක් කරුණක් අවධානය කරයි.ඒ යුද්ධය මහා කුරිරු දෙයක් බවය. එහි දින්නනෝ ටික දෙනෙකි. වැඩි බහුතරය පරදින්නෝය. එහෙත් එය කියන්නට කලින් ඔවුන් සියල්ල මළවුන් අතරය. එහි ආත්ම කථනය කළ හැක්කේ ද මරණයට පමණය.