|
සංවේදිත්වය, අවංකභාවය, අව්‍යාජ බව ශික්ෂා පද තුනයි
ඉනෝකා සත්‍යාංගනී
ක්‍රිස්ටොෆ් කිසලව්ස්කි
සංවේදීත්වය, අවංකත්වය හා අව්‍යාජත්වය ඔහුගේ සිනමා රීතියේ ශික්ෂාපද තුන බවට පත්වෙයි. මිනිස් අධ්‍යත්මයේ අති සංවේදී තැන් වෙත සේම ගූඩ අදුරු ඉම කරාද සිය චරිත ඔස්සේ එබී බලමින් සිනමා රීතීන් පසුපස හඹානොගිය අව්‍යාජ මිනිසෙකු ඔහුගේ සිනමාකෘති තුලින් අපට හමුවෙයි.
අන්ද්‍රේ තර්කොව්ස්කි
‘කාලය හා අවකාශය’ සිනමාවේ ප්‍රබලම මෙවලම ලෙසින් භාවිතයට ගත් මෙම සිනමාකවියා සංඥා හා සංඛේත රූප ඔස්සේ සිය අදහස් මුදාහැරීමෙන් සිනමාව යනු අධ්‍යාත්මික ගනුදෙනුවක් මිස මිල කල හැකි භාණ්ඩයක් නොවනවග ප්‍රත්‍යක්ෂ කොට පෙන්වීමම ඔහු සිනමාවතුල මාගේ වීරයා වීමට හේතු වන්නේය. එලෙස ‘ශුද්ධ සිනමාව’ ට තර්කොව්ස්කිගෙන් ඉටුවනලද අනුපමේය සේවය තවත් සියවස් ගණනක් ගතවුවද මැකීනොයන්නට හේතුවනු ඇතැයි මම විශ්වාස කරමි.
ඇල්ෆ්‍රඩ් හිච්කොක්
ත්‍රාසය හා භීතිය යනු සුවිශේෂී රසයක් බව සිනමාව තුලින් හදුන්වාදෙමින් නිර්මාණය කරන ලද එකී සිනමාකෘතීන් සර්වකාලීන ගුණයෙන් යුතුව අදටත් අපට රසාස්වාදනය කල හැකි වෙනවා සේම එකී කෘති තුළින් යහ සිනමාවක බස්වහර සිනමා විද්‍යර්ථයින් හට අදටත් උගත හැකි වීම හේතුකොටගෙන සිනමා මාධ්‍ය අන්ත දෙකින්ම ජයගත්තකු ලෙස ඔහු මාගේ ලෝකයේ දැවැන්තයෙකු බවට පත්වී සිටියි.
පේද්‍රෝ අල්මදෝවා
ඔහුගේ සිනමාව තුළ නිරූපිත කාන්තා හා පුරුෂ චරිතයන්ගේ මනෝභාව සුවිශේෂ අත්දැකීම් ඔස්සේ විග්‍රහ කරමින් එහි රොමැන්තික සේම ගූඩ ස්වාභාවයන්ද සංවේදී ලෙස ස්පර්ශයට ලක්කිරීම ඔහු සතු සුවිශේෂීතාව වෙයි. සම්ප්‍රදායික කතාන්තර කලාව වෙනත් මානයන් කරා සිය අසම්මත චරිත ඔස්සේ රැගෙන ගිය ඔහු සුභාවිත සිනමා රීතිය අනුගමනය කරන අතරම ඊට අභියෝග කරමින් එකී රීතිය ඔස්සේ සිනමාත්මකව විවිධ අත්හදා බැලීම් කරන ලද සම්මතයට ප්‍රේම කළ අසම්මත සිනමා කරුවෙකු වීම ඔහු කෙරෙහි මාගේ ආකර්ශනය යොමුකරවා ගත් විශේෂිත හේතුව විය.
ශාස්ත්‍රාලීය පසුබිමකින් තොරව සිනමාවට පිවිසි කියරොස්තාමි තමාටම ආවේණිකවු න්‍යායක් හා ශෛලියක් අනුගමනය කරමින් සිනමාකරුවෙකු ලෙසින්, සිනමාව තුළ‘අල්පේච්ඡතාවාදය’ සිය ආත්මය කොටගෙන ඔහු ‘යථාව - යථාව’ ලෙසින්ම සිනමාව තුළට ගොනුකිරීමට උත්සාහගන්නේ කිසියම් අන්දමක වාර්තාකරණ ස්වරූපයකිනි. එහෙත් ඔහු සතු ශූරත්වය නම් එය හුදු වාර්තාකරණයක් ලෙස නොව හෘදයාංගම සිනමාරූපි අත්දැකීමක් බවට නිරුත්සාහයෙන් යුතුව පරිවර්ථනය කිරීමයි. ඒ ඔස්සේ ඔහු වෑයම් කරන්නේ ස්වාභාවික මානව චර්යාවන් හා භාවයන්,‘රූපණය’ ඔස්සේ නාටකීයත්වයට පරිවර්තනය නොකොට, එකී නිරූපණයන් ජීවිතයේ තවත් එක් අංශුමාත්‍රයක් ලෙසින් සජීවී ගුණයෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීමයි. මෙකී ව්‍යයාමය සාර්ථක කරගැනීම සඳහා සිනමාව පිළිබඳ අවබෝධය පමණක් තිබීම නොසෑහෙන අතර ගැඹුරු ජීවිතාවබෝධයකින් යුතුව මානවයින් හා පරිසර පද්ධතිය වටහාගැනීමේ සූක්ෂම ඉවක්ද නිර්මාණකරුවා තුල තිබිය යුතු හෙයින් කියරොස්තාමි සිනමාව තුල මා හට දාර්ශනිකයෙකි.
ගස් වැන් සෙන්ට්
හිතුවක්කාරයෙකු වන ඔහු සිය මාධ්‍ය භාවිතා කරන්නේ තමාට දැනෙන පරිමානය තුල ස්ථානගතවීමෙන් මිස අනෙකා වෙනුවෙන් යමක් තහවුරුකොට අවබෝධකිරීම සඳහා නිර්මාණකරුවෙකු ප්‍රේක්ෂකයාගේ අතකොළුවක් වියයුතු නැති බවට තහවුරු කරවමිනි. සිනමා භාෂාව දැවැන්ත සිනමා අත්දැකීම් වලින් වියුක්තවු අතිපෞද්ගලික ආත්ම විරේචනයන් ලෙස සිනමාව තුළ ගොනුකිරීමට තරම් සිනමාකරුවෙකු ලෙස ඔහු තුළ වන්නාවු නිර්භීතභාවය හා ආත්ම විශ්වාසය මා ඔහුගේ අනුගාමිකයෙකු බවට පත්කිරීමට තරම් ප්‍රබල වී ඇත.
අබ්දුල්ලතීෆ් කිචීච්ස්
‘බ්ලූ ඉස් ද වෝමස්ට් කලර්’ (Blue is the warmest colour) නැමති ඔහුගේ මෑතකාලීන සිනමාපටය තුලින් නිර්මාණකරුවෙකු ලෙස අබ්දුල් ලතීෆ් පෙන්වාඇති දෘඩ, අවංක, ප්‍රබල හා නිර්භය ප්‍රකාශනය සිනමාවේ ඇති වාරණ පද්ධති සුනු විසුනු කරදැමු අවස්ථාවක් ලෙස මම දකිමි. කලා මාධ්‍යයක් තුල නිර්මාණකරුවෙකු භුක්ති විඳිය යුතු නිදහස එකී නිර්මාණකරුවාගේ ප්‍රකාශන අයිතිය හා නිර්මාණශීලීත්වය උදෙසා අතිශය වැදගත් කරුණක් බව ඔහු විසින් සාධනීයත්වයට පමුණුවන්නේ, එකී නිදහස දේශපාලන, ආගමික, සංස්කෘතික කථීකාවක් අරඹයා පමනක් නොව අතිපෞද්ගලික ප්‍රකාශනයක් උදෙසා වුවද සිනමාව තුළද ලබාදිය යුතු අවකාශයකැයි අප වෙත අවබෝධ කරවමිනි.
|