වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සිහිවටන පුරාවස්තු වන හැටි

සිනමා සිහිවටන පුරාවස්තු වන හැටි

විශිෂ්ට සිනමාපටයක් යනු සිහිනයක් මෙන් අමතක වන්නක් නොවෙයි. එය අමරණීය සිහිවටනයකි. ජර්හාඩ් ස්ට්‍රාස්ස්ක්වන්ඩ් ට්නර් සහ කරීන් හොෆ්ලර් වැනි උන්මාදනීය සිනමා රසිකයන් එය අමරණීය සිහිවටනයක් බවට පත් කරන්නේ සකල ලෝක වාසීන්ටමය.

1949 වර්ෂයේදී තිරගත වුණු කැරොල් රීඩ් අධ්‍යක්ෂණය කළ ‘තර්ඩ් මෑන්’ එදා මෙදාතුර නිර්මාණය වුණු අති දැවැන්ත, අති සාර්ථක සිනමාපටයකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කථාවක් ඇතුළත් මේ ත්‍රාසජනක කලාත්මක සිනමාපටය බ්‍රිතාන්‍ය අමෙරිකා නිෂ්පාදනයක් විය.

සිනමාපටය වාර්තා පොතට එක් වන්නේ එක් ආකාරයකින් පමණක් නොවෙයි. එහි කෞතුක වාර්තාව ද බිඳ හෙළීමට නොහැකිය. ‘තර්ඩ් මෑන්’ කෞතුකාගාරය එහි යනෙන කිසිවකුට නොබලා සිටීමට නුපුළුවන් තැනකි. එය තනි සිනමාපටයක් වෙනුවෙන් නිර්මාණය වුණු ලොව එකම කෞතුකාගාරය වශයෙන් සැලකෙයි.

කෞතුකාගාරයේ කාමර 13 ක් ඇති අතර සිනමාපටයට අදාළ භාණ්ඩ, ලිපි ලේඛන 2300 ක් පමණ එහි ඇත. කෞතුකාගාරය පස්වරු දෙකේ සිට පස්වරු හය දක්වා විවෘතව පවතී.

සංචාරකයන්ට කෞතුකාගාරය නැරඹීමෙන් සහ සිනමාපටයට අදාළ හඬ පටිවලට සවන් දීමෙන් එදා මෙදාතුර නිපදවුණු උදාරතම සිනමාපටයක ජීවත්වීමට වරම් ලැබෙයි. කෞතුකාගාරයට මුල් තිර පිටපත්, කැමරා ආදී සියල්ල ලබා දී ඇත්තේ උන්මාදනීය රසිකයකු වූ ජර්හාඩ් ස්ට්‍රැස්ග්ක් වැන්ඩ් ට්නර්ය.

පැරැණි සුවිසල් ප්‍රොජෙක්ටරය මඟින් සිනමාපටයේ ට්‍රේලරය තිරගත කෙරෙයි. කෞතුකාගාරයේ ඇති බර්ග් කිනෝ සිනමා ශාලාවේ සතියකට තෙවරක් සිනමාපටය මුල් ස්වභාවයෙන්ම තිරගත කෙරෙයි.

කෞතුකාගාරයට පිවිසෙන්නන්ට සිනමාපටයේ සැබෑ දර්ශන තලයන්හි ඇවිදීමට ද අවස්ථාව ඇත. සිනමාපටයේ හැරී ලයිම් දහදිය පෙරාගෙන පොලිසියෙන් බේරීමට දිව යන දර්ශනය ප්‍රතිරංගනය කිරීමට ද පැමිණෙන්නන්ට අවස්ථාවක් උදා වෙයි.

වියානා නගරයේ රූගත කරන ලද එකම සිනමාපටය ‘තර්ඩ් මෑන්’ නොවෙයි. 1984 දී මෝසාට්ගේ ජීවිත කථාව අමේඩියස්, ද ලිවිං ඩේලයිට්ස් ජේම්ස් බොන්ඩ් සිනමාපටය, සිග්මන්ඩ් ෆෙ‍්‍රායිඩ් /කාල් ජුං නාට්‍ය, අ ඩේන්ජරස් මෙතඩි සියල්ල රූගත කෙරුණේ මෙහිදීය.

1965 ජූලි ඇන්ඩෘස්ගේ ‘ද සවුන්ඩ් ඔෆ් මියුසික්’ රූගත කෙරුණේ ඔස්ට්‍රියාවේ තවත් නගරයක් වූ සැල්ස්බර්ග්හිය. සිනමාව සමඟ අත්වැල් බැඳ ගත් සංචාරක ව්‍යාපාරයක් මෙහි දක්නට ලැබේ. නිවාඩු දිනවල පුංචි ජන සුනාමියක් සිනමා නගරයේ දැකිය හැකියි. සිනමාව, සංචාරක ව්‍යාපාරය ජවසම්පන්න කරන බවට ඇති නිගමනයට කෞතුකාගාරයට පිවිසෙන ඕනෑම කෙනකුට එළඹිය හැකිය.

ඕනෑම රටක ඓතිහාසික සිනමා දර්ශන තල ජන ගංගා දෙගුණ තෙගුණ කිරීමට හේතුª වෙයි. ස්කොට්ලන්තයේ මෙල් ගිබ්සන්ගේ බ්‍රේව් හාට්, සිඩ්නිවල මිෂන් ඉම්පොසිබල් ධ්ධ් දර්ශන තලය, අමෙරිකාවේ ෆීල්ඩ් ඔෆ් ඩ්‍රීම්ස් දර්ශන තලය අතුරු සිදුරු නැතිව සෙනඟ පිරී ඉතිරී යන තැන්ය.

සමහර සිනමාපට රූගත කිරීමේදී රූගත කරන ස්ථාන වෙනස් කිරීමට පවා සිදු වී ඇත. ලන්ඩනයේ කිංග්ස්ක්‍රොස් දුම්රිය ස්ථානය ජේ. කේ. රෝලිංගේ හැරී පොටර් නිසා මායාකාරී ලෙස වෙනස් විය. හෝග් වෝට්ස් සීඝ්‍රගාමී දුම්රිය පැමිණෙන ගඩොල් බිත්ති සහිත වේදිකාව, හැරී පොටර් රසිකයන්ට තවත් වසර ගණනක් යනතුරුම අගනා සිහිවටනයකි. හැරී පොටර් දර්ශන තල ගණනාවක්ම අදටත් රසික සංචාරකයන්ගේ හද බැඳී තැන්ය. එංගලන්තයේ බොඩ්ලීන් පුස්තකාලය, එල්න්වික් මාළිගය, ලීඩ්න්හෝල් මාර්කැට්ටුව, ලන්ඩන් සත්වෝද්‍යානයේ උරග නිවෙස, ස්කොට්ලන්තයේ බටහිර වෙරළ දුම්රිය මාර්ගය ආදී බොහෝ තැන් සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානය.

ලෝඩ් ඔෆ් ද රිංන්ග්ස් සහ ද හෝබිට් දර්ශන තල නවසීලන්තය සතු සුවිශේෂී සිහිවටනය. නවසීලන්තයේ උතුරු දූපත සහ දකුණු දූපත දැන් පෘථිවියේ මැද බවට පත් වී ඇත. හෝබිට් රසිකයෝ එහි දර්ශන තල කරා පිය නගති. සොඳුරු දර්ශන, කුවීන්ස් නගරය, මාල් බෝරෝගේ පෙලෝරස් ගඟ, පුකාකු විල මඟින් සිනමා කණ්ඩායම විල් - නගරයක් බවට එම භූමි පෙදෙස පත්කර තිබේ. සංචාරක මණ්ඩලයට දැන් එය සරු අස්වැන්නකි.

ප්‍රංශයේ ඩාවින්සි කෝඩ් දර්ශන තලය සංචාරකයන් පිළිගැනීමට සූදානම් කෙරෙමින් පවතී. බ්‍රිතාන්‍ය, සිනමා රූගත කිරීම්වලට යොදාගත් පල්ලි හා කලාගාර ගවේෂණයක යෙදෙමින් සිටියි. එහෙත් දර්ශන තල සංචාරක ආකර්ෂණය දිනා ගැනීම හොඳට වඩා නරකට හේතු වන අවස්ථා ද තිබේ. ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ‘ද බීච්’ රූගත කෙරුණේ මිනිස් පහස එතරම් නෙලැබුණු තායිලන්තයේ කොහ් ෆි ලේ දූපතේයි. එහෙත් දූපත අන්තර්ජාතික අවධානයට පාත්‍ර වීම නිසා සිනමා කණ්ඩායමෙන් පරිසරයට වූ හානිය දෙගුණ තෙගුණ වී තිබේ.

එමෙන්ම මේ ගණයේ ඇති තවත් විදෙස් සංචාරකයන්ගේ ඇසට හසුවුණු දර්ශන තලයක් ලංකාවේ ඇත. ඒ කැලණි ගඟ ආශ්‍රිතව තැනුණු බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ කිතුල්ගල දර්ශන තලයයි. ඩේවිඩ් ලීන් නිර්මාණය කරන ලද එම චිත්‍රපටයේ දර්ශන තල නැරැඹීමට මෙරටට එන සංචාරකයෝ ගණන ද විශාලය.

2009 වසරේ ‘අවතාර්’ තිරගත වූ පසු චීනයේ හුවාංග් (හුවාංග්ෂාන්) කඳුයාය නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ ද අඩුවක් දක්නට නැත. ‘අවතාර්’ සිනමාපටයේ පාවෙන කඳු නිර්මාණය වූයේ හුවාංග් කඳුවලිනි.