වර්ෂ 2014 ක්වූ මැයි 08 වැනිදා බ්‍රහස්පතින්දා




මෙයා කොළඹ ගිහින් මොනවා කරන්නද?

මෙයා කොළඹ ගිහින් මොනවා කරන්නද?

සරසවිය ගෙන එන අලුත්ම සිනමා කතාව සුදේශ් වසන්ත පීරිස්ගේ තිරරචනය ඇසුරෙනි

රෑ බෝ වෙමින් තිබිණ. පෝය ලබන්නට තවත් කල් නොතිබුණ ද වැහි අන්ධකාරය නිසා අමාවකටත් වඩා දවස කළුවරව තිබිණි. ඈත කොහේදෝ සැඟව සිටින බස්සෙකුගේ හඬ නිහැඬියාව බිඳ හෙළීමට තිබූ එකම සාධකය විය. මේ ඝන අන්ධකාරයේ ගංතෙර තිබූ බෝට්ටුව පෙනුණේ එය තිබූ තැනට යන්නට පාර දත් අයකුට පමණි. ඔහු එයට සමීපව එහි තිබූ යමක් ඉවුරට ගෙනාවේය. ඉවුර මත්තෙහි තවත් එකෙකු සිටියේය. ඔවුන් දෙදෙනා එකතුව පාර්සලය දිග හැරියේය. ජෙලික් නයිට් කූරු කිහිපයක් ද සහිතව ඔවුහු කිසියම් ඉලක්කයක් කරා ගමන් කරන්නට විය.

අඳුරට ඇස් දහසක් යැයි කියමනක් තිබේ. මේ මොහොතේ එය සනාථ වූයේය. ඝණ අන්ධකාරයේ මේ සිදුවන ක්‍රියාවලිය තවෙකෙකුගේ ඇස ගැටිණි. ඔහු ඒ අඳුරෙහිම බයිසිකලයට නැඟිණි. ඔහුගේ ගමන නතර වූයේ තවත් මඳ දුරක වූ ගෙයක් අසලය. එහෙත් පැමිණි වේගයෙන් ගෙට රිංගන්නට ඔහුට බාධාවක් විය. ඒ එකෙකු ඔහු නතර කළ හෙයිනි.

‘මම රන්ජට පණිවිඩයක් කියන්න ආවේ’

එයට පිළිතුරක් ලැබුණේ නැත. තවත් කල් යන්නට ඉඩ හැරීම මහත් විනශයකට ඉඩ හැරීමක් බව ආගන්තුකයාට වැටහිණි. එහෙයින් ඔහු ගෙතුල සිටි කෙනාට පමණක් ඇසෙන සේ හඬ නැඟීය.

‘රන්ජා . . . රන්ජා . . .’

නම ඇසුණු සැනෙන් ඔහු අවදි විය. හේ කඩවසම්ය. උත්තුංග දේහධාරීය. හැම විටම විමසිල්ලෙන් සිටීම ඔහුගේ සිරිත විය.

‘අරුන් පැක්ටරිය පුපුරවන්න බෝම්බ අටවනවා. ඉක්මනට වරෙන්’

ඊට පෙර ගංතෙර සිට ක්‍රියාත්මක වූවෝ ඒ වන විටත් සිය ඉලක්කයට ආසන්නව සිටියහ. දැවැන්ත කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලට රහසින් ඇතුළු වූ ඔවුහු සිය කටයුත්ත නිමා කරන්නට පෙර රන්ජා පැමිණියේය. ඔවුහු රන්ජා දුටුවේ අවසානයෙහිය.

‘උඹ මේ වැඩේට පැටලෙන්න එපා’

අඳුරෙහි සිටි තැනැත්තා පැවසූයේ අනතුරු ඇඟවීමක් ලෙසය.

‘මේ රන්ජත් දෙපාරක් කියන්නේ නැහැ. ඔය වැඩේ නතර කරපං’

එහෙත් එය නතර කිරීම රන්ජාට පහසු කටයුත්තක් නොවීය. ඔවුන්ගේ කෝපයට සාධාරණ හේතුවක් තිබිණි. එහෙත් රන්ජාගේ හයිය ඉදිරියේ පසුබසින්නට ඔවුන්ට සිදු විය.

‘මේ පැක්ටරියේ ජරා වතුර නවත්වන්න වෙන කිසිම විදියක් තිබුනේ නැහැ. ඒ නිසයි අපි පැක්ටරිය පුපුරවන්න තීරණය කෙරුවේ’

ඔහු මේ පිරිස අතර සිටි අහිංසක පෙනුම ඇති කෙනෙකුට අත දිගු කළේය.

‘මෙයාගේ නංගි ඇළෙන් නාලා අත පය පණ නැතුව ගියා. දැන් ඒ කෙල්ලට යන එන මං නෑ. ඒකනේ උඹලට තියෙන කේන්තිය’

මේ වන විට කලබලය ඇසී ගමම එතනට රැස්ව අවසන්ය.

‘මේගොල්ල කරන්න ගිය වැඩේ හරියට හරි’

මිනිසුන්ගේ මුණු මුණු අතරෙන් එක් හඬක් නැඟිණි. එය ගැහැනු හඬකි.

‘අපේ ගමටම තිබෙන්නේ මේ ඇළ විතරය. ෆැක්ටරියෙන් එවන විෂ මිශ්‍ර වතුර හින්ද ඒකත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ලොකු තැන්වලට කොච්චර පෙත්සම් ගැහුවත් වැඩක් වුණේ නැහැ. අඩුම ගණනේ ඒවාට උත්තරයක්වත් ලැබුණද?’

ඇයට ඒ කතාව නිම කරන්නට ලැබුණේ නැත.

‘උඹ කියන්නේ සම්පූර්ණ ඇත්ත කෙල්ලේ’

ග්‍රාම සේවක මහත්තයා කීවේය. තරුණියගේ මුහුණේ සිනහවක් නැඟිණි. සියල්ල මැද තමාගේ මතය අනුමත වීම ගැන ඇයට ආඩම්බරයක් ඇති වී තිබිණි. ඒත් රන්ජා ඒ ජයෙන් උදම් අනන්නට ඇයට වැඩි වේලාවක් ඉඩ නොදුන්නේය.

‘විහඟි’

ඔහු ඇයට කතා කළාය. ඇයගේ නම විහඟිය. ඇය හැඩකාරය. දුටුමතින් ඈ කෙරෙහි ආලවන්ත සිතක් ඇති කර ගන්නට කෙනෙකුට ඇති වුවහොත් එය පුදුමයක් නොවේ.

‘මම හිතාගෙන හිටියේ ඔයා හොඳ උගත් කෙල්ලෙක් කියලා. බලාගෙන යනකොට මුන්ට තරම්වත් මොළේ නැහැනේ. බැරි වෙලාවත් පැක්ටරිය පුපුරලා ගියා නම් පොලිසිය මුළු ගමම අල්ලගෙන යයි. ඒ විතරක්ද? මේකේ තියෙන කෙමිකල්වල විසට කිලෝ මීටර් පහළොවකට එහා තියෙන ගමත් විනාශ වේවි’

මිනිසුන් අතරෙන් ආයෙත් මුණුු මුණු හඬක් නැඟිණි. ග්‍රාම නිලධාරි තැන පෙරමුණ ගත්තේය.

‘රන්ජා කියන්නේ ඇත්ත’ ඔහු පැවසුවේය.

‘අපි කියන්නේ ඇත්ත කියලා කිය කිය ඉන්නේ නැතිව මේක විසඳගන්න මොකක් හරි හොඳ අදහසක් ඇතිනේ’

ඔහු යෝජනා කළේය.

‘අපේ ඡන්දෙන් පත් වෙච්ච මන්ත්‍රී අද ඇමැති කෙනෙක්. අපේ ප්‍රශ්න විසඳන්නට කියලනේ එයා ඡන්දෙ ගත්තේ. ඉතිං අපි ඇමැති හම්බ වෙලා මේ ප්‍රශ්නෙ කියමු’

රන්ජාගේ අදහසට සියල්ලෝම එකඟතාවය පළ කළහ. ග්‍රාම නිලධාරි තැන විශ්‍රාම යන්නට ඔන්න මෙන්නය. ලොකු තැන් සමඟ හැප්පෙන්නට ගොස් අමාරුවේ වැටෙන්නට ඔහුට උවමනාවයක් නැත. ‘මේ කටයුත්ත රන්ජම බාර ගන්න ඕනෑ’

ඔහුම යෝජනා කළේය. මෙතුවක් නිර්භීතව ඉදිරිපත් වූ රන්ජා හිස කැසුවේය.

‘අපෝ මට යන්න බැහැ මට ගොඩක් වැඩ තියෙනවා’

ඔහු මඟ අරින්නට තැත් කළේය. එහෙත් පහසුවෙන් ඇඟ බේරා ගන්නට ඉඩ දෙන්නට සෙස්සන් කැමැති වූයේ නැත.

‘අපෝ මෙයාට තියෙන වැඩ. හරියට බස් එකක බෝඩ් එකක්වත් කියව ගන්න පුළුවන්ද? මෙයා කොළඹ ගිහින් මොනවා කරන්නද?’

විහඟි කෑගෑවේ සෙස්සන් ඉදිරියේමය.

‘උඹ කාටද ඕවා කියන්නේ. ඌ හොඳ පිරිමියෙක්. ධෛර්යවන්ත කොල්ලා’

ග්‍රාම නිලධාරි තැන කඩා පැන්නේය. විහඟිගේ ස්වරයේ ගැබ්ව තිබුණේ ඔලොක්කුවකි.

‘උඹට හොඳට පුළුවන්නේ කොළඹ ගිහිල්ලා මේ වැඩේ කරගෙන එන්න’

ග්‍රාම නිලධාරි තැන ඊළඟට මේ කටයුත්ත විහඟිගේ ඇඟේ ගැසුවේය. ඇයට වඩා ඉස්සර වූයේ අත්තම්මාය.

‘මගේ මිනිබිරි එක්ක මමත් යනවා කොළඹ. ඇමැති හම්බ වෙලා මේ වැඩේ කොහොම හරි කරගෙන එනවා’

‘ආච්චි මේ චාන්ස් එක අරගෙන කොළඹ රවුම් ගහන්නද හදන්නේ’

විහඟි කෑ ගැසුවාය.

තවදුරටත් වැඩේ කල් අරින්නට ගැමියන් කැමැති වූයේ නැත. මෙතුවක් කල් මුළුල්ලේ කම්හල නිසා ඔවුහු අප්‍රමාණ දුකක් වින්ඳහ. කලකට ඉහත සුන්දර දිය දහරක්ව ගලා ගෙන ගිය ඇළ දොළ ද, පිරිසිදු වතුර දුන් දිය කඩිති ද දැන් ටික කලක සිට ඔවුනට අහිමි වී යයි. කම්හලේ දුම් වටොළු ගෙවල්වලට රිංගා ගන්නේ හුස්ම ගන්නට තබා එකිනෙකාගේ මුහුණ බලන්නටවත් බැරි අන්දමෙනි. ඒ දුම සැර බවින් ඔවුහු අසීරුවට පත්වූහ. ග්‍රාම නිලධාරිගේ මෙහෙයුමෙන් පෙත්සමක් අත්සන් කෙරිණි. මුලින්ම අත්සන් කළේ විහඟිය. මුළු පෙත්සමට අත්සන් කරන්නට පැයක්වත් ගත වූයේ නැත. රන්ජා ද සිටියේ එයට අත්සන් නොකරය.

‘ඔක්කොම අත්සන් කරලා ඉවරයි. ඔහෙත් අත්සන් කරන්න’

විහඟි පැවසුවාය. නොකැමැත්තෙන් මෙන් නුහුරට පෑන අතට ගත් රන්ජා අත්සන් කරන්නට පෙන්නූ තැන මොනවාද කුරුටු ගෑවේය. එහි එක් පැත්තක සිට ඉහළට ඇඳුණු රේඛාවක්ය.

‘මොකද අත්සන ගස් නඟින්නේ’

රන්ජා කොළඹ යන හැටි ලබන සතියේ