වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ජයනාත් නළු පරම්පරාවේ හැරවුම් ලක්ෂයක්

ජයනාත් නළු පරම්පරාවේ හැරවුම් ලක්ෂයක්

රවීන්ද්‍ර රන්දෙණිය

තම සිත් ගත් දේ පවසන පුදුම හතෙන් අද ඔබ හමු වෙන්නේ අපේ සිනමාවේ සුවිශේෂි චරිතයක්. දශක ගණනක් පුරා සිනමාවට ජීවය දෙන ඔහු ජ්‍යෙෂ්ඨ රංගධර රවීන්ද්‍ර රන්දෙණියයි. ඔහු අද පුදුම හතෙන් සිය රංගන දිවිය තුළ වඩාත් සිත් ගත් චරිත හත ගැන කතා කළේ මේ අයුරින්.

රොහාන්

රොහාන්ගේ චරිතය මට ලැබුණේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ දුහුළු මලක් චිත්‍රපටයෙන්. එය මගේ සිනමා ජීවිතයේ මුල් යුගයේ චිත්‍රපට අතර වූ සොඳුරුතම මතකයක්. තාරුණ්‍යයේ ආදරය, දඟකාරකම, කෙළිලොල් බව වැනි මේ හැම දේම රොහාන්ගේ චරිතය තුළ අඩංගු වුණා.

වගකීම් අනවශ්‍ය ලෙසින් දරා නොගෙන ගෙවූ ඒ සැහැල්ලුවෙන් පිරි ජීවිතයට මමත් දැඩි ලෙස ප්‍රිය කළා. ඇත්තටම ඒ යුගය හරිම ආදරණීයයි. වසර හතළිහකට පසුව වුවත් රසික සිත් තුළ ඒ ආදරණීය මතකය රැඳිලා තියෙනවා.

සිනමා ජීවිතය දෙස ආපසු හැරී බැලුවොත් දුහුළු මලක් චිත්‍රපටයේ මතක එක් කරන්නේ සොඳුරු වූ චමත්කාරයක්. නුවරඑළිය වැනි සුන්දර පළාතක එදා කළ රූගත කිරීම් මගේ සිතේ සදා අමරණීය ලෙසින් රැඳී පවතිනවා.

සිරිපාල

සිරිපාල හා රන් මැණිකා චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය මගේ රංගන දිවියේ වෙනස් පැතිකඩක් ලෙස හඳුන්වා දෙන්න ලද අවස්ථාවක් වුණා.

රොහාන් වැනි විනෝදයෙන් සැහැල්ලුවෙන් චරිත නිරූපණය කිරීම වගේම මට සිරිපාලගේ චරිතය හරහා තාරුණ්‍යයේ ජවය, කලකිරිම හා පන්ති වෛරය වැනි දේ මුසු වූ චරිතයක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන අතිශය සතුටට පත් වෙනවා.

සිරිපාල නම් චරිතය ආවේගාත්මකව කටයුතු කරන දරුණු පුද්ගලයෙකු වුණත් දරුවන් වෙනුවෙන් වූ ආදරය පිරි හදවතක් ඇත්තෙක්.

රංගන ශිල්පියෙක් ලෙසින් තම රංගන පරාසය ප්‍රේක්ෂකයන් හට වටහා දෙන්න මුල් වූ චරිතයක් ලෙසත් සිරිපාලගේ චරිතය මා දකිනවා. එය මගේ රංගන දිවිය තුළත් පැහැදිලි වෙනසක් ඇති කළ චරිතයක්.

සේනක

විජය ධර්ම ශ්‍රී මහතාගේ ආරාධනා චිත්‍රපටයත් මගේ සිනමා ජීවිතයේ සුන්දරතම මතකයක්. විජය ධර්ම ශ්‍රී මහත්මයා සුමිත්ත අමරසිංහ නම් වූ අපූරු කැමරා ශිල්පියා සමඟින් කළ අතිශය සුන්දර නිර්මාණයක් ලෙසින් මා ආරාධනා චිත්‍රපටය දකිනවා. ඒ වගේම ආදරයේ චමත්කාරය වගේම එහි වූ සියුම් බව දනවන සුන්දර චිත්‍රපටයක්.

සැබෑ ජීවිතයේ පවා ආදරය දෝරේ ගලා ගිය මගේ ජීවිතයට සේනකගේ චරිතය තවත් සුන්දර මතක එක් කළා. මා බෙහෙවින්ම ප්‍රිය කරන ‘සීත අරණේ’ ගීතය ද ඇතුළත් වන්නේ ආරාධනා චිත්‍රපටයේ.

එයත් ඒ සුන්දරත්වයේ සොඳුරු බව වැඩි කරන ප්‍රධානම හේතුවක් සේනකගේ චරිතය ආදරයේ චමත්කාරය සැමදා දකින චරිතයක් ලෙසින් මගේ මතක අතරේ සුරැකිව තියෙනවා.

ජයනාත්

ලාංකේය සිනමා ඉතිහාසයේ අමානුෂික චරිතයක් ප්‍රධාන චරිතය බවට පත් කළ එකම අවස්ථාව ලෙසින් මා ජයනාත් ගේ චරිතය දකිනවා.

එතරම් දරුණු වූ කෲරත්වයකින් යුත් වූ ජයනාත්ගේ චරිතය වෙනුවෙන් පණ පොවන්න මම වඩාත් කැමැති වුණේ දඩයම නම් වූ මෙම චිත්‍රපටයට දැක් වූ කැමැත්ත නිසයි.

ඒ වගේම අවසානයේදී හෝ අංශු මාත්‍රයකවත් හොඳක් නොදක්වන ජයනාත්ගේ චරිතය සිංහල සිනමාවේ ප්‍රධාන නළු පරම්පරාවේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූ චරිතයක් ලෙසත් හඳුන්වන්න

පුළුවන්. එවැනි චරිතයක් මගේ රංගන ජීවිතයේත් සුවිශේෂ කඩඉමක්. ප්‍රේක්ෂකයා රංගන ශිල්පියාගේ රංගනය ද ප්‍රතිරූපය ද සළකා බලන චරිතයක් ලෙසින් මේ චරිතය අත්හදා බලන්න මට උවමනා වුණා. එදා ඒ චරිතය ප්‍රේක්ෂකයා පිළිනොගත්තා නම් වසර ගණනක් පුරා මම රංගන ශිල්පියෙක් ලෙසින් මේ ගමන නොඑන්න තිබුණා.

මහේෂ්

දඩයමේ ජයනාත් ඉන්දුට මල් මිටක් චිත්‍රපටයේදී හිතා ගන්නට බැරි තරම් වෙනස් වූ චරිතයක් බවට පත් වෙනවා. එහිදිී මම වඩාත්ම ප්‍රිය කළේ එහි වූ සැහැල්ලු බවටයි. එහි මහේෂ්ගේ චරිතය කතාව පුරාවට ජීවය රඳවාගෙන සිටින චරිතයක්. ඔහු ආදරය නිසා වද වේදනා විඳින හැබෑම ආදරවන්තයෙක්.

ඒ වගේම මමත් දුක විරහව විඳින්න කැමැති පුද්ගලයෙක්. මේ චිත‍්‍රපටය පුරාවටම මම එය රස වින්දා. ඇත්තටම ඒ චිත්‍රපටය සුන්දරම හීනයක් වගේ. ඉන්දුට මල් මිටක් රූගත කළ පරිසරයත් ඒ වගේමයි. අතිශය සුන්දර තැන් රාශියක් මෙම සොඳුරු නිර්මාණයට පසුබිම් වුණා.

රතු මහත්තයා

විශේෂ වූ වේශ නිරූපණයක් ආධාර කර නොගෙන ප්‍රකෘති ලෙසින් සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් මා ලැබූයේ සෙයිලම චිත්‍රපටයේදීයි.

එහිදී සාමාන්‍ය පරිදි සිටින මම දකින්නේ මා නොව ලොරි රියදුරෙකු වූ රතු මහත්තයායි. එහිදී මා ලද අභියෝගය වුණේ මා තුළින් රතු මහත්තයා ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුත් බැරෑරුම් නොවූ එන ආකාරයට ජීවිතයට මුහුණ දෙන පුද්ගලයෙක්.

ඒ වගේම පුදුමාකාර ශක්තියක් හිතේ තියෙන මිනිසෙක්. බොහෝ වෙලාවට යුක්තිය වෙනුවෙන්ම පෙනී සිටින ඔහු තුළ ප්‍රේමය නැතුවාම නොවේ. මෙවැනි වූ චරිතයක් නිරූපණයට ලැබිම ගැනත් හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේමයි විචාරක සම්මාන පවා හිමිකර දෙමින් මගේ රංගන දිවියේ සුවිශේෂ වූ රතු මහත්තයා නම් වූ චරිතයත් මට අමරණීය මතක සටහනක්.

සම්පත්

සිරිමැදුර චිත්‍රපටයේ සම්පත්ගේ චරිතයත් මගේ රංගන ජිවිතයේ මුහුණ දුන් වෙනස් ආකරයේ චරිතයක්.

එහිදී ඔහුට ක්‍රීඩාශීලි විනෝදයෙන් ජීවිතය ගත කරන කඩවසම් තරුණයෙකු ලෙසින් පෙනී සිට කතා කිරීමට පවා අපහසු වූ ආබාධිතයෙකු ලෙසින් රූප රාමුවට පැමිණීමටයි සිදු වෙන්නේ. එහිදී කටහඬ හා අංග චලන පවා නොමැතිව ඉදිරිපත් කරන්නට වූ රංගනය අභියෝගාත්මක එකක්.

ඒ වගේමයි මහා චරිතයක් ලෙස ගොඩ නංවා ආබාධිතයෙකු ලෙසින් පැමිණීමත් අතර වූ රංග පරාසය ඉතා විශාලයි. කටහඬ හා අංග චලනය මෙන්ම ප්‍රධාන භාව ප්‍රකාශනයන් නොමැතිව ඒ පරාසය නිරූපණයයි එහිදී වැදගත් වුණේ. ඒ නිසා සිරි මැදුරේ සම්පත් ලෙසින් කළ රංගනයත් සම්මානනීය වෙමින් මගේ රංගන දිවියේ සුවිශේෂ වුණා.