වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝක සිනමා උත්සව සිතියමට ලංකාවත්

ලෝක සිනමා උත්සව සිතියමට ලංකාවත්

කොළඹ ජාත්‍යන්තර උළෙල සැප්තැම්බරයේ

ගෝලීය සිනමා සිතියම මත ශ්‍රී ලාංකීය සිනමාව ස්ථානගත කරමින් මෙරට පැවැත්වෙන ප්‍රථම අන්තර් ජාතික සිනමා උළෙල කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල නමින් සැප්තැම්බර් 02 සිට 07 වැනිදා දක්වා කොළඹ සිනමා ශාලා හතරකදී පැවැත්වෙන බව සරසවිය සාඩම්බරයෙන් මෙරට ප්‍රේක්ෂකයන්ට දන්වා සිටියි. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් සංවිධානය කරනු ලබන මෙම සිනමා උළෙල මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට මෙතෙක් නොවූවිරූ අත්දැකීමක් වනු ඇත. ජාත්‍යන්තර සම්මාන උළෙලක් පිළිබඳ අවශ්‍යතාව සරසවිය මඟින් කිහිපවරක්ම පෙන්වා දෙනු ලැබිණ. මෙම සිනමා උළෙල කොළඹ රීගල්, අල්ට්‍රා, එම්පයර් සහ තරංගනී යන සිනමා ශාලා හතරේ සහ කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදී පැවැත් වෙයි.

සිනමා උළෙල ඔකිනාවා අන්තර් ජාතික සිනමා උළෙල හා සම්බන්ධව පැවැත්වෙන බැව් එම උළෙළ පිළිබඳව පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිදරව් විය. සිනමා උළෙල ලෝක සිනමාව, ආසියානු සිනමාව, ඔකිනාවා සිනමාව හා ශ්‍රී ලාංකික සිනමාවේ නව ප්‍රවණතාවත් යන ප්‍රධාන අංග අතරින් සමන්විත වෙයි. චිත්‍රපට වැවමුළු, සම්මන්ත්‍රණ, වට මේස සාකච්ඡා ආදියෙන් ද උළෙල ක්‍රියාකාරි වෙයි.

උළෙලේ අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ සිනමාකරු අශෝක හඳගම කටයුතු කරයි. උළෙලේ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.