සුබ උපන් දිනයක්

සුබ උපන් දිනයක්
ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්්ටතම රංගධරයන් අතර මේ වන විටත් වැඩිම කාලයක් රංගනය තම
ජීවන වෘත්තිය කර ගත් තැනැත්තා කවරකුදැයි ඇසූ කළ එයට පිළිතුරු දෙන්නට මට දෙවරක්
සිතන්නට උවමනා නැත. ඔහු ටෝනි රණසිංහය. ටෝනි රණසිංහයන් අද සිය ජීවන ගමන් මඟෙහි
හැත්තෑ හත් වැනි ජන්ම දිනය සමරන්නේය. මේ මහා නළුවානන්ට මගේ ගෞරවය මෙන්ම හිතවත්කම ද
වැඩිය. එබැවින් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මෙන්ම මා ද ඔහුව අමතන්නේ ‘ටෝනි අයියා’
යනුවෙනි. අභාවප්‍රාප්ත සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ටෝනි අයියා අමතන ලද්දේ යන්ග්
මිස්ටර් රණසිංහ (තරුණ රණසිංහ මහත්තයා) යනුවෙනි. ඒ කීම සැබෑවක් වනුයේ හැත්තෑ හත්
හැවිරිදි වියේ සිටිය ද ටෝනි අයියා තරුණයකු සේ හැඟෙන බැවිනි. වෙනදා මෙන් වැඩිය
නිවෙසෙන් බැහැර නොගිය ද ටෝනි අයියා තවමත් නිර්මාණකරණයෙහි යෙදෙයි.
දැනුම උදෙසා පොත
පත පරිශීලනයෙහි යෙදෙයි. ඉතිං ටෝනි අයියා තරුණයෙක් යැයි පවසන අර්ථයෙහි මුසාවක් නැත.
මෙරට මුල් දශකයේ බිහි වූ නළු නිළියන් අතර රංගනය පිළිබඳ වඩාත් ප්‍රශස්ත කියැවීමක් කළ
නළුවන් අතර ටෝනි අයියා අග්‍රේෂ්වරයෙකි. ඔහු කැමරාවට මුලින්ම මුහුණ දෙනුයේ 1958
වසෙර්ය. එකල ඔහු දහ නව හැවිරිදි වියෙහි පසු වූ ගැටවරයෙක් වූයේය. අවුරුදු තිහකට එහා
ටෝනි අයියාගේ චිත්‍රපට දකින අපට ඔහු කෙතරම් කඩවසම් තරුණයෙකුව සිටියේදැයි අදහා
ගන්නටත් බැරි තරම්ය. සැබවින්ම 60 – 70 දශකයේ ඔහුගේ චිත්‍රපට දකින අපට සමකාලින
හින්දි නළුවන් පරදන කඩවසම් රූපයක් ඔහුට තිබුණ වග ඇස් පනාපිට ඔප්පු වෙයි. එපමණකුදු
නොව එවකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ ධුරය දැරූ බී. ජී. කරන්ජියා මහත්මිය ‘සරසවිය’
සම්මාන උළෙලකට පැමිණි විට මේ බව සනාථ කරමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය.
රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා උපත ලද්දේ 1937 ජූලි 31 වැනිදාවකය.
වත්තල ශාන්ත ආනා සහ මෝදර ඩිලාසාල් යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබන ඔහු මුල් යුගයේ
ඇන්තනී සිල්වා නමින් ද හැඳින් වූ වග වාර්තා වෙයි. ඇන්ටනී යන නාමය ආදරයට කෙටි වනුයේ
‘ටෝනි’ යනුවෙනි. ඔහු සිනමාවට එක් වෙනුයේ එකී කෙටි නම ඉදිරියට අරගෙනය. ඒ අවධියේ
හොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම, කඩවසම් සිනමා තරුව ටෝනි කර්ට්ස් වීම එයට බලපෑවාදැයි මා
දන්නේ නැත. එහෙත් නොදන්නා අතීතයේ සිට දන්නා කියන අද දක්වා ඔහු ටෝනි රණසිංහ වූයේය.
විදේශීය සිනමාවේ පුරෝගාමී සිනමාකරුවෙක් වූ සිරිසේන විමලවීරයන් අතින් සිදුවු බරපතළ
වැරැද්දක් ලෙස සැලකෙන්නේ ඔහු හමුවන්නට ගිය ගැටවරයන් තිදෙනෙක් වන ගාමිණී ෆොන්සේකා,
ජෝ අබේවික්‍රම, එච්. ආර්. ජෝතිපාල යන පසු කලෙක සිනමාවේ දැවැන්ත පුරුෂයන්ගේ කුසලතා
හඳුනා ගන්නට ඔහු අපොහොසත් වීමය. එහෙත් ටෝනි රණසිංහයන් දුටු මතින් හඳුනා ගන්නට
විමලවීරයන්ට හැකි විය.
එබැවින් ‘පුංචි අම්මා’ සහ ‘රොඩී කෙල්ල’ යන ඔහුගේ චිත්‍රපට
දෙකෙහිම ප්‍රධාන චරිත සඳහා තෝරාගෙන තිබුණේ ටෝනි රණසිංහවය. ‘රොඩී කෙල්ල’ ට තෝරා ගත්
මේරි ඉවෝන් පෙරේරා නම් සුරූපිනියට සන්ධ්‍යා කුමාරි යන නමක් ද විමලවීරයන් ලබා දී
තිබිණි. කාගෙත් වාසනාවට මේ චිත්‍රපට දෙකම අතරමඟ නතර විණ. මා වාසනාවකට යැයි කියන්නේ
‘රොඩී කෙල්ල’ තිර පිටපත කියවා ඇති බැවිනි. එය ඒ තරම්ම කබල් කතාවකි. එය නිර්මාණය
වූවා නම් විමලවීරයන් ඉතිහාසයේ අත්පත් කරගත් ගෞරවය මෙන්ම ටෝනි සහ සන්ධ්‍යාගේ අනාගතය
ද අහිමි වන්නට ඉඩ තිබිණි. එබැවින් ටෝනි රණසිංහයන් රංගනයට පිවිසෙනු අප දකින්නේ
වේදිකාව හරහාය.
ඒ සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍යයෙනි. ටෝනි රණසිංහ පිටුපස
සිටියේ අපේ මාධ්‍ය ලෝකයේ නිර්මාණශීලී දැවැන්තයකු වන රැලෙක්ස් රණසිංහය. රැලෙක්ස්
අයියා ටෝනි අයියාගේ ද අයියාය. ‘බෝඩිංකාරයෝ’ මෙරට වේදිකාවේ මහ පෙරළියක් කළ ‘අපේ
කට්ටියේ’ නාට්‍යයක් විය. සිනමාවේ පුරෝගාමී විමලවීරට වඩා වේදිකාවේ කැරැළිකාරයෙක් වූ
සුගතපාල ද සිල්වා යටතේ වේදිකාවට පිවිසීම ටෝනි අයියාට වාසනාව ගෙනාවේය. ‘රන්තෝඩු’,
‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’ වේදිකා ගත වූයේ ටෝනි රණසිංහ නම් කඩවසම් තරුණයාගේ
රංගනය සහිතවයි. එබැවින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළියේ’ බලදාස ලෙස
තේරා ගැනුණේ ඔහුය. විමලවීරයන් අතින් ගිලිහුණු ගාමිණී, ජෝ, ජෝති ආචාර්ය ලෙස්ටර් අත
ගොඩ නැඟුණා සේම ආචාර්ය ලෙස්ටර්ගේ විශිෂ්ටම චිත්‍රපටයන්ගෙන් එකක් වන ‘දෙලොවක් අතර’
චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන නිශ්ශංකගේ චරිතයට පණ පෙව්වේ ටෝනි රණසිංහය.
ගම්පෙරළියේ සුළු චරිතයක් මැවූ තරුණයාට එතරම් ගැඹුරු චරිතයක් භාරදීම ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස්ගේ තෝරා ගැනීමේ ඉව පිළිබඳ ඉඟියක් අපට ලබා දෙයි.
එතැන් පටන් ටෝනි මෙරට සිනමාවේ
විශිෂ්ටම නළුවෙක් ලෙස ස්ථාපිත වූයේය. නිශ්ශංකගේ චරිතය සිංහල සිනමාවේ බිහි වූ
විශිෂ්ටම චරිත දහයෙන් එකක් ලෙස සලකන්නට මම කිසි විටෙකත් මැළි නෙවෙමි. සමකාලීන බොහෝ
නළුවන්ට වඩා කඩවසම් ටෝනි මෙරට ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට සඳහා ද දායක වූයේය.
‘ප්‍රවේසම් වන්න’, ‘මනමාලයෝ’, ‘ශීලා’, ‘සුභානි’, ‘සකුන්තලා’ ඒ සඳහා කදිම උදාහරණය.
එහෙත් ටෝනි රණසිංහ මහා රංගධරයා ‘පවුරු වළලු’, ‘අහසින් පොළවට , ‘බැද්දේගම’, ‘යහළු
යෙහෙළි’, ‘ගඟ අද්දර’, ‘රෑ මනමාලි’, ‘සිසිල ගිනි ගනී’ ඇතුළු චිත්‍රපට රාශියක් හරහා
බෙහෙවින් ඉහළින් ඔසවා තැබුවේය. ඔහු කිසි කලෙක මෙරට ජනප්‍රියම නළුවා වූයේ නැත. ඔහුට
ලැබුණ බොහෝ චිත්‍රපට භාර ගත් වග ඔහුගේ රංගන ඉතිහාසය බලද්දී පෙනෙන්නට තිබෙන කරුණකි.
එහෙත් ඒ හැම චිත්‍රපටයකම සිය චරිතය කෙරෙහි උපරිම සාධාරණත්වය ඉටු කළ වග ඉඳුරා පිළිගත
යුතුය. එබැවින් කවර තරමේ චිත්‍රපටයක වුව ද ටෝනි රණසිංහ සිය මුද්‍රාව තබා ගත්තේය.
චරිතයට සාධාරණය ඉෂ්ට කළේය. ඔහුගේ චරිත නිරූපණයෙහි තිබෙන විශිෂ්ට ලක්ෂණය එයයි.
සිනමාව, වේදිකාව පමණක් නොව ටෙලිවිෂනය ද ඔහුගේ රංගනයෙන් ඔපවත් වූයේය. ඒ හැරෙන්නට ඔහු
විශිෂ්ට පරිවර්තකයෙක් මෙන්ම දක්ෂ තිර නාටක රචකයෙක් ද වන්නේය. ‘කොටි වලිගය’,
‘අවරගිර’, ‘පවුරු වළලු’, ‘තරණය’, ‘දුවට මවක මිස’ වැනි තිර නාටක රචනා වුයේ ද ටෝනි
රණසිංහයන් අතෙනි. මහා කවි විලියම්
ශේක්ෂ්පියර්ගේ නාට්‍ය පිළිබඳ ටෝනි අයියාගේ දැනුම ඉතා පුළුල් එකකි. ගැටවර සමයේ
මිතුරු සමාජවල ගෙවුණු ඇතැම් කාල පිළිබඳ ටෝනි අයියා විස්සෝප වනු මම අසා ඇත්තමි. එයට
හේතුව නම් එකී කාලවල ඔහුට කියවන්නට ද, ලියන්නට ද තිබුණු පොත පත ඉමහත් යැයි ඔහු
විශ්වාස කරන බැවිනි.
මේ මහා නළුවාණන් කැමරාවක් ඉදිරියේ මෙහෙයවීමට අවස්ථාවක් මට ලැබුණේය. ඒ මා නිර්මාණය
කරන ලද ‘සූර්ය විංශති’ නම් ටෙලි චිත්‍රපටයේදීය. එහි ඔහු ප්‍රධාන චරිතය රඟපෑවේ තිර
නාටකය කියවා බලා දිගු සාකච්ඡාවකින් අනතුරුවය. රූපගත කරන්නට මත්තෙන් ඔහු මා කැටුව
ගියේ කොටහේනේ ශාන්ත අන්තෝනි මැදුර වෙතය. මා බෞද්ධයෙක් වුව ද මගේ මුල්ම නිර්මාණය
සඳහා තමා අදහන ආගම අනුව ආශිර්වාදයක් ලබා දෙන්නට ඔහුට අවශ්‍යව තිබිණි. මේ මහා
අත්දැකීම් සපිරි නළුවා සමඟ ප්‍රායෝගිකව කටයුතු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳ මට
අත්දැකීමක් නොවීය. එහෙත් ඔහු කෙතරම් නිහතමානී මිනිසකු දැයි මට වැටහුණේ මුල් රූපගත
කිරීම් කළ දවසේ අවසානයේය. එහි එන එක් දෙබසක් සුළු වෙනස්කමක් කිරීමට ඔහුට අවශ්‍ය
විය. දර්ශනයට පූර්ව සූදානම්ව සිටි ඔහු මගේ කනට කොඳුරා පවසා සිටියේ මේ පුංචි වෙනස්
කිරීමට අවසර දෙන ලෙසය. එය ඉතා සාධාරණ ඉල්ලීමකි. එයට මා ඉඩ දුන්නේ මේ මහා නළුවාණන්ගේ
නිරහංකාරකම පිළිබඳ ජීවිතයට ආදර්ශයක් එක් කර ගනිමිනි. එතැන් පටන් ටෝනි අයියාව සමීපව
ඇසුරු කරන්නට මට ඉඩ ලැබිණි.
මෙයට වසර කිහිපයකට පෙර රේණුකා බාලසූරියගේ ප්‍රධානත්වයෙන් මා ද එක් වී ටෝනි අයියාට
උපහාර උළෙලක් සංවිධානය කළේය. එය කදිම උත්සවයක් විය. පසුගිය කාලයේ ටෝනි අයියා ඇතැම්
දුර බැහැරක යන විට තනියට මා ද කැටුව යන්නට පුරුදුව සිටියේය. අපේ සිනමාවේ හා
වේදිකාවේ බොහෝ දැනුම් සම්භාරයක් ටෝනි අයියා වෙතින් උකහා ගන්නට මට එවර වරම් ලැබිණි.
ඔහු සමීපව ඇසුරු කිරීම පහසු කටයුත්තක් ද නොවේ. එය හරියට රිවෙස්ටන් සුළං කපොල්ලෙන්
ඉටි පන්දමක් දල්වාගෙන යනවා වැනිය. එයට හේතුව ටොීනි අයියා අතිශය සංවේදී හදවතක් ඇති
මිනිසෙක් වීමය. මේ අතිශය සංවේදී ටෝනි අයියාට චිරාත් කාලයක් සිය නිර්මාණ කර්තව්‍යයේ
යෙදීමෙන් අප අතර වැජඹෙන්නට ලැබේවායි මම සරසවිය හා මෙරට රසිකයන් හා එක්ව ප්‍රාර්ථනා
කරමි.
|