වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පරිප්පු විතරක් නම් හොඳටම ඇති

පරිප්පු විතරක් නම් හොඳටම ඇති

සංජය කිව්වාලු

සමාධි අලුත් ජීවිතය ගැන කියන කතාව

‘මලී‘ ටෙලිනාට්‍යයෙන් මුළු ලංකාවේ ටෙලි නාට්‍ය නරඹන්නන්ගේ හදවතෙහි සමාධි අරුණචායාගේ නම ලියැවී ඇත්තේ ඒ සොඳුරු නාමයෙන්. ඈ පසුගිය දිනෙක විවාහ දිවියට පත්වුණේ තමන්ගේ ජනප්‍රියත්වය පිළිබඳවත් හිතන්නේ නැතිවමයි. සරසවියෙන් අපි ඇගේත් සංජය මොරගොල්ලගෙත් සොඳුරු නිවහන සොයාගෙන නෑගම් ගියා. ඒ තවමත් ගම්බඳ අසිරිය ගිලිහී නොගිය ගලගෙදර ප්‍රදේශය සිතේ ගිමන් නිවන්න අපූරු තැන. මට එහෙම සිතුණා.

“ඇයි මේ තරම් ඈතකට ආවේ“

නිතරම සිනහවකින් එළිය වුණු සමාධිගේ උවන බලාගෙනම මා විමසුවා.

“ඇත්තටම අපට උවමනා වුණේ කලබලාකාරී පරිසරයෙන් මිදිලා ටිකක් ඈතට වෙලා නිවිසැනැසිල්ලේ ඉන්නයි. ඒ අදහස මටත් වඩා තිබුණේ සංජයගේ හිතේ. ඒ නිසා සංජය මෙතැන අපේ කැදෑල්ල ගොඩනැගුවා. කලබලකාරී කොළඹ නගරයෙන් ඈත් වෙලා අපි සතුටෙන් සැනසිල්ලෙන් තමයි ජීවිතය ගත කරන්නේ කොළඹට ගොඩක් දුරක් නැති ළඟත් නැති ගලගෙදරට අප බොහොම කැමැතියි.”

සංජයගේ දෑතේ එල්ලීගෙනම ඈ පිළිතුරු බැන්ඳා. ජනප්‍රියත්වයට පත්වන නවක නිළියක් ඉක්මනට විවාහයක් පිළිබඳ නොසිතන තරම්. ඒත් සමාධි එතැනින් වෙනස් වුණු තරුණියක්.

“ඉක්මනින් විවාහවීම ගැන දුකක් දැන්නේ නැද්ද?“

“මම හිතන්නේ අපි විවාහ වුණේ විවාහ විය යුතු නිසි වයසේදී. ඒක තීරණය කළේ අපි දෙන්නත් සමඟම කතාබහ කරලා. සාමධිගේ ජනප්‍රියත්වයට ඒක බලපෑමක් වුණා කියලා මම නම් හිතන්නේ නෑ. ඒක හොඳටම තේරෙන්නේ අපි දෙන්නාගේ විවාහයෙන් පස්සේ. මම හිතන්නේ වෙනදාටත් වඩා පේ‍්‍රක්ෂකයන් අතර සමාධි ජනපි‍්‍රයයි. අපි දෙන්නා බොහොම සතුටෙන් කාලය ගත කරනවා.“

සංජය ඒ කිව්වේ තමන්ගේ ජීවිතය සොඳුරු කළ රුවැත්තිය ගැනයි.

‘මලී‘ට පස්සේ සමාධිගේ් ‘රුව‘ වැඩිපුර පුංචි තිරයෙන් අප දුටුවේ නැහැ. මොකද ගෙදරට වෙලා සමාධි කරන්නේ.

“ටෙලි නිර්මාණ කිහිපයක් රඟපෑමට මට ආරාධනා ලැබුණත් ඒ සෑම දෙයක්ම මා ප්‍රතික්ෂේප කළේ එක වගේ. නිර්මාණ නිසයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්න මා දෙවරක් සිතන්නේ නැහැ. ඒ කාලයේ මම බොහොම විවේකයෙන් කාලය ගත කරනවා. මේ ජීවිතය මට තවමත් අලුත්. බිරියක් විදියට වගකීම් රැසක් මගේ උරමත පැටවිලා. ඒත් ඒ පැටවුණු වගකීම්වල බර දැනෙන්න මට සංජයගේ අම්මා ඉඩ තියලා නැහැ. අනික් කාරණය තමන් විවාහ වුණාට පස්සේ බිරියක් විදිහට මා හිතන්නේ මුල්තැන දිය යුත්තේ තමන්ගේ පවුලටයි බවයි. දෙවැනි තැන හිමිවිය යුත්තේ නිර්මාණවලටයි. ඒ කාරණාව මා දැඩි ලෙස අවධානයට ගන්නවා.“

මේ තරම් තමන්ගේ වගකීම් ගැනත්, පවුල ගැනත් හිතන සමාධිගේ දවස ගත වෙන්නේ කොහොමද?

“උදේට නැඟිටින්නම් ටිකක් පරක්කු වෙනවා. නැඟිට්ට ගමන් අපි දෙන්නම බොන්නේ පළතුරු බීම වීදුරුවක්. උදේට තේ බොන්න අපි දෙන්නම කැමැති නැහැ. එතැනින් ඇරැඹෙන දවසේ මම මුලින්ම කරන්නේ බුදුන්ට මල් පූජා කරලා පහන තියන එකයි. ඊට පස්සේ උයන පිහන වැඩ. ඊටත් පස්සේ ගෙදර අස්පස් කරන වැඩ. දවල් උයන්නේ අම්මයි මමයි. ඉඳලා හිටලා අපි වෙනසකටත් එකක් එළියට යන වෙලාවලුත් තියෙනවා. ඒ අතර සංජයගේ සුදු අක්කත් එක්ක අලුත් කෑමක් හදන්නත් කාලය වෙන් වෙනවා. දවස අවසාන වෙන්නේ බුදුන්ට මල් තියලා වැදීමෙන්.“

වගකීම් රැසක් ඇගේ සුරතෙන් ඉටු වෙන්නේ ඒ ආකාරයෙන්. ඒ වගකීම් අතරට සංජයට රස බලන්න අලුත් කෑමක් හදන්නත් සමාධි අමතක කරන්නේ නැහැ.

“ මම සංජයත් එකක් යාළුවෙලා ඉන්න කාලේ ඔහු මුලින්ම ඇහුවේ මොනවද ඔයාට උයන්න පුළුවන් කියලා. එතකොට මම කිව්වේ පරිප්පු කියලා. එහෙනම් හොඳටෝම ඇති කියලා ඔහු කිව්වා. මොකද සංජය කන්න කැමැතිම පරිප්පු කියලා මම දන්නේ පස්සේ. ඒ කොහොම වුණත් සංජයට කන්න අලුත් අලුත් කෑම හදන එක මගේ පුරුද්දක් වෙලා. ඒකටම ඔබින පොතක් මා ළඟ තියෙනවා. ඒ පොතේ නම ‘පතිකුළයට යන යුවතියට ආහාර වට්ටෝරු‘ ඒකෙන් හදන කෑම බොහොම රසයි.“

“සමාධි කියන්නේ ඇත්තද“ අපි එහෙම ඇහුවේ සංජයගෙන්. ඒ ප්‍රශ්නයට නම් සංජයටත් හිනා.

‘පොතෙන් බලලා හැදුවද කියලා හිතාගන්නවත් බැරිතරම් රසයි.“

සිනහවේවී කිව්ව සංජය, සමාධිගේ කෑම ගැන වර්ණාවක් කළා. සමාධිට ආදරේට සංජය කතා කරන්නේ මැණිකේ කියලා.

“සංජයට සමාධි මැණිකක් ද?“

“ඇත්තටම ඔව්. ඈ මට මැණිකක්. මට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලබාදෙන මගේ රුචි අරුචිකම් හොඳට හඳුනාගෙන සිටින කෙනෙක්. අම්මත් එක්ක වගේම මගේ සහෝදරියන් එක්කත් සහයෝගයෙන් ඉන්න ඇයට පුළුවන්. ඔවුනුත් ඇයට බොහොම ආදරෙයි. ඈව අගයන අපූරු ගතිගුණය විදියට මා දකින්නේ අවිහිංසක බවයි. එදා ඉඳලාම මම ඇයට ආදරය කරන්නට පෙලඹුණේ ඒ අහිංසක බවටයි. නිතරම මා ඇයව හඳුන්වන්නේ නිළියක් නොවන නිළියක් කියලා. ඈ ඒ තරමටම තමන් පිළිබඳවත්, මාවත්, මගේ පවුලේ අයවත් හොඳට හඳුනාගෙන සිටින කෙනෙක්. අනික් එක ඈට රඟපෑමට පෙරේතකමක් නැහැ. එයයි මගේ ඈ අගය කරන අනෙක් කාරණය වන්නේ.“

සංජය - සමාධිගේ ආදර කතාවේ අතර මැදියෙක් සිටියා. සංජය නිතරම අවවාද ගත්තේ ඔහුගෙන්. ඔහු පිළිබඳත් සංජය සිහිපත් කළේ බොහොම ගෞරවයෙන්.

“සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා තමයි අපගේ ආදර කතාවට අතරමැදියා වුණේ. එතුමාගෙන් ලැබුණු උපදෙස් අපේ ආදරයට අපූරුවට බලපෑවා. ආදරය විවාහයක් දක්වා දුර දිග යන්නත් ඒ උපදෙස් හේතුවුණා කිව්වොත් නිවැරැදියි. එතුමා කිව්වා වගේම මගේ තේරීම නිවැරැදි වුණා. ඈ මගේ ජීවිතයට ශක්තියක්. ආලෝකයක්. සමහර අවස්ථාවලදී මට අමතක දේ මතක් කරලා දෙන, ඉදිරි ජීවිතය දිරිමත් කරන සොඳුරු බිරියක් ලෙසයි සමාධිව මා දකින්නේ.“

සංජය - සමාධි ගැන එහෙම කියන කොට සමාධි සංජය ගැන කිවිවේ මෙහෙම කතාවක්.

“මම පුංචි කාලයේ ඉඳලා හැඳුණේ වැඩුණේ අම්මලා තාත්තාලා කියන විදියටයි. ඔවුන් ගන්න තීරණයක් තමයි මගේත් තීරණය වුණේ. විවාහ වුණා කියලා ඒක වෙනසක් කරන්න මම කැමැති වුණේ නැහැ. තීරණ ගැනීමේ අයිතිය මම දීලා තිබෙන්නේ සංජ ටයි. ඔහු නිවැරැදි තීරණ ගන්නා බව මා දන්නවා. මේ අතර මගේ අම්මාවත් තාත්තාවත් ඇතුළු පවුලේ හැමෝම මතක් කරන්න ඕනෑ. ඉඩ ලැබැණු විටෙක ඔවුන් බලන්න යන්නත් මා අමතක කරන්නේ නෑ. නිතරම වගේ මම අම්මාට කතා කරනවා.“

මේ තරමට අවබෝධයෙන්, ආදරයෙන් ඉන්න අලුත් ජෝඩුවගේ කැදෑල්ලට තුන්වැන්නෙක් ගැන හිතන්නේ කවදද?

“ඇත්තටම ඊළඟ අපේ බලාපොරොත්තුව ඒක තමයි. මොරගොල්ල පරම්පාරව අරගෙන යන්න පුළුවන් කෙනෙක් අපේ කැදෑල්ලට එකතු කර ගැනීමයි.“

සමාධිගේත් සංජයගෙත් සිත්වල අලුත් බලාපොරොත්තුවක් ඉපදිලා. සමාධි - සංජයගේ නැවුම් පැතුම නුදුරු අනාගතයේදී ඉටු වෙන්න කියලා මේ සොඳුරු ජෝඩුවට පැතුම් එකතු කරමින්ම අපි ඔවුන්ගෙන් සමුගත්තා.