වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




භාව තීර්ථ පැය එක හමාරක භාවනාවක්

භාව තීර්ථ පැය එක හමාරක භාවනාවක්

සන්තුස ලියනගේ

සන්තුස ලියනගේ අපේ රූපවාහිනියේ වෙනස්ම රූප මැවීමට සමත් වූ නිර්මාණකරුවෙකි. නවමු තාලයේ රූප භාවිත කරමින් ඔහු තිරය මත ඇඳි සිතුවම් බොහෝය. නොබියව තම නිර්මාණ පරිශීලනය කිරීමට ජනතාව පොලඹවන සන්තුස බුද්ධි වර්ධනය පිණිස නිර්මාණ කරන්නන්ගේ ලැයිස්තුවට ඇතුළත්ය.

කලකට පසු සන්තුස අප හමුවට පැමිණෙන්නේ ‘භාව තීර්ථ’ රැගෙනය. ඒකාංගික නාට්‍ය කලාවේ ප්‍රතිභා සම්පන්න චරිතයක් වන සන්තුස මෙවර අපට රැගෙන එන්නේ නව අත්දැකීමකි. මේ සන්තුසගේ නව නිර්මාණය පිළිබඳ කළ පිළිසඳරකි.

සන්තුස අපි අලුත් නිර්මාණය ගැන මුලින්ම කතා කරමු.

මේක ජාතික රූපවාහිනියේ අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වුණාට ලෝකයට මේ අත්දැකීම සුලභයි. භාව තීර්ථ හරහා මම අපේ රසිකයන්ට උසස් රස වින්දනයක් ලබා දෙන්නට වෙහෙසුණා. මෙහි විශේෂත්ව කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මෙම නිර්මාණය ටෙලි නාට්‍යයට වගේම සිනමාවටත් නෑකම් කීමයි. ටෙලි සිනමා කෘතියක් තමයි මම මෙවර නිර්මාණය කළේ.

මේ නිර්මාණය පැය එක හමාරක් පුරාවට විකාශය වෙනවා. එක කතාවක් එක දිනයකින් නිමා වීම තමයි විශේෂත්වය. මා හිතනවා අද සමාජයට මෙම ක්‍රමය ඉතාමත් කදිමට ගැළපේවි කියලා. මේ කරුණු කාරණා සියල්ල තේරුම් ගනිමින් නව නිර්මාණයත් ලෙසට තමයි භාව තීර්ථ බිහි වුණේ.

 

මෙම නව කටයුත්තේ රූපමය භාවිතය පිළිබඳ ඔබ කොහොමද සැලකිලිමත් වුණේ?

මේ වන විට ‘භාව තිර්ථ’ කතාංග දොළහක් රූගත කොට අවසානයි. ජාතික රූපවාහිනිය සතු නවීනතම අංග තමයි මේ රූගත කිරිම්වලට පරිශීලනය කළේ. ඒ නිසාම තාක්ෂණය අතිනුත් මෙම නිර්මාණය ඉතාමත් පොහොසත්. කතාවෙන් කතාවට අනුකූලව වෙනම, ඉතාමත් නිර්මාණශීලී රූප රාමු භාවිත කරන්නට අපි මෙහිදී වග බලා ගත්තා. මෙවැනි නිර්මාණ වටා රොක්වන බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව තමයි අපේ මූලික අභිප්‍රාය. ජාතික රූවාහිනියේ ශිල්පීන් මේ වෙනුවෙන් බොහෝ මහන්සි වුණා.

මා විශ්වාස කරනවා රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රබලම තැන දිනා ගන්නේ රූපය. අප උපකරණ හරහා අඳින රූපය තමයි ප්‍රේක්ෂකයා රස විඳින්නේ. හැමදාම වගේම ‘භාව තීර්ථ’යේදීත් මා රූප ගැන ඉතා සැලකිලිමත් වුණා.

ඔබ රූප පිළිබඳ ඔයතරම් වගකීමකින් කතා කරනවා. නමුත් අද අපට හමු වන්නේ රූපවාහිනිය ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසක් මිසක් ප්‍රේක්ෂකයන් නෙවෙයි?

ඔව්. ඔබේ කියමන සමඟ මා එකඟයි. නමුත් මේ ප්‍රශ්නය ඇතුළේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. කවුරුන්ද ප්‍රේක්ෂකයා ශ්‍රාවකයකු බවට පත් කළේ. ඇතැම් අධ්‍යක්ෂවරුන්ම තමයි. මේ කාරණාවට ප්‍රේක්ෂකයාට බැන වැදී පලක් නැහැ. චෝදනාව එල්ල කළ යුත්තේ ඔවුන්ව එතැනට ඇද දැමූ පිරිසටයි.

නමුත් රූපවාහිනිය ඉදිරියේ සංයමයෙන් ඉඳගෙන හොඳ නිර්මාණයක රස විඳින්නට අපේ රටේ ජනතාව තවමත් කැමැතියි. ඒ වෙනුවෙන් නිර්මාණකරුවන් මීට වඩා දායකත්වයක් ලබා දීම ඉතා වැදගත්. මේ පැය එකහමාරක භාවනාවක්. ඒ නිසා මිනිස්සු භාව තීර්ථ පිළිගනීවි. භාව තීර්ථ හරහා සියයට එක් අයකු නැවත රූපවාහිනිය ඉදිරියේ හිඳ ගැනීමට සැලසුවහොත් ඒක මගේ විජයග්‍රහණයක්.

ඔබේ ඔය භාවනාවට දැන්වීම්කරුවන් අකුල් හෙළයි නේද?

කිසිම ආයතනනයකට මූල්‍යමය ශක්තියක් නොමැතිව ගමනක් යන්න බැහැ. ඕනෑම රූපවාහිනි නාළිකාවක් යැපෙන්නේ වෙළෙඳ දැන්වීම් හරහා. මේ විකාශ කාලයත් කෙසේ හෝ මුදල් බවට පත් කළ යුතුයි. නොඑසේ නම් ආයතනවලට පැවැත්මක් නැහැ. මෙම නාට්‍ය තුළත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙනවා. ඒක නියතයි. නමුත් අනෙක් නාට්‍ය මෙන් පැය භාගයට තුන් හතර වතාවක් මේ නාට්‍යයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙන්නේ නැහැ.

මොන වගේ තේමාවන්ද මේ නාට්‍ය තුළ අන්තර්ගත වෙන්නේ?

ආදරය, කරුණාව, ත්‍රාසය වගේ මාතෘකා ඇතුළේ මනුස්සත්වය තමයි මේ කතා මාලාවට පදනම් වෙන්නේ. කාලීන මාතෘකා සහ වර්තමාන ජන සමාජය ගැනත් මේ හරහා විවරණය කරන්න මං උත්සාහ දරනවා.

ඔබ විවිධ කුලකවල පිටපත් රචකයන් මේ සඳහා යොදා ගන්නවා?

ඔව්. මට අවශ්‍ය වුණේ එකිනෙකට වෙනස් නාට්‍ය දොළහක් නිර්මාණය කරන්න. මා හිතනවා ඒක සාර්ථකයි කියලා. මා ඒ සඳහා වෙනස්ම පිටපත් රචකයන් යොදා ගත්තා. ඔවුන් එකිනෙකාගේ රූප රචනා මෙන්ම අදහස්, දෙබස් වෙනස්. මා හිතනවා ඒ හරහා ඒකකාරී ප්‍රේක්ෂක රස වින්දනය විවිධ තැන්වලට ගෙන යාවි කියලා. ඒ ඒ පිටපත් රචකයන්ගේ විෂම සමාජ අත්දැකීම් මේ කතා මාලාව අලංකාර කළා.

දැනට පවතින බොහෝ නාට්‍ය මෙන්ම මෙම නාට්‍ය මාලාවත් රූගත වුණේ කොළඹ අවටද?

නැහැ. කතා තේමාවේ අවශ්‍යතාවය මත මම විවිධ දර්ශන තල මේ සඳහා යොදා ගත්තා. ගලහ, රත්නපුර, රුවන්වැල්ල වැනි පළාත්වලත් භාව තීර්ථ රූගත කෙරුණා. මා හිතන්නේ පිටපත ඉල්ලා සිටින දර්ශන තලය තුළ රූගත කිරීම නිර්මාණයට විශාල ගැම්මක් ලබා දෙනවා.

ඔබ සිතනවාද කාර්යබහුල ප්‍රේක්ෂකයා මේ පැය එකහමාර පිළිගනියි කියලා?

මෙම නාට්‍ය ක්‍රමවේදය ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. නමුත් ලංකාව තුළ මේ වගේ නිර්මාණ බිහි වෙන්නේ ඉතා අඩුවෙන්. මෙවැනි කටයුත්තක් ජාතික රූපවාහිනියෙන් සිදු වෙන්නේ පළමු වතාවට. බලන්න දේවල් නැති වෙලාවට කුමන හෝ චිත්‍රපටයක් බලන ප්‍රේක්ෂකයෝ අපට ඉන්නවා. ඒ වගේම නිර්මාණ හිඟතාවය මත රූපවාහිනිය හැර ගිය අය ඉන්නවා. මේ හැමෝම ගුණවත් හරවත් මෙන්ම රසවත් නිර්මාණ පිපාසයකින් පෙළෙනවා.

මගේ නිර්මාණය ඔවුන්ට සුළු හෝ අස්වැසිල්ලක් වේවි. මා හිතනවා මේ පැය 1 1/2 ලංකාවේ ප්‍රේ්ක්ෂකයා ආදරයෙන් පිළිගනීවි.

එදා ඔබ ටෙලි නාට්‍යකරුවෙක්. දැන් ඔබ ටෙලි සිනමා කරුවෙක්. මේ ප්‍රයත්නය සිනමාවට පා තැබීමට නේද?

රූප මාධ්‍යයේ නිර්මාණකරුවකුගේ හීනය තමයි සිනමාව. මටත් ඒ හීනය නෑ කියලා කියන්නේ මොකටද? මගේ මාලා නාට්‍යවලට වඩා මගේ ඒකාංග නාට්‍ය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒකට හේතුව මා සිනමාව සමඟ තදින්ම බද්ධ වීම. සිනමාවට එකතු වෙන්න ඇත්තෙන්ම අදහසක් තියෙනවා. ඒ වෙනුවෙන් යම් සැලසුමක් මා සකස් කොට තිබෙනවා.

ඔබේ ඊළඟ ටෙලි නාට්‍ය මොන වගේ වෙයිද?

ඒකට නිශ්චිත පිළිතුරක් දෙන්නට බැහැ. මා නිර්මාණ කරන්නේ ජාතික රූපවාහිනියෙන් ලැබෙන අවස්ථාවට. මේ අවස්ථාව මට නැවත ලැබෙන්නේ වසර දෙකකින්. ඒ වන විට ටෙලි නාට්‍ය කලාවට මොනව වෙලා තියෙයි ද කියලා කියන්න බැහැ. ඒ කාලයට ඔබින නිර්මාණයක් කරන්න තමයි හිතේ තියෙන්නේ.

මේ අවසානය . . . ඔබට යමක් කියන්න . . .

ඇත්තටම මේ නිර්මාණය වෙනුවෙන් බොහෝ පිරිස වෙහෙසුනා. ඒ පිරිස නම් වශයෙන් කියන්න අපහසුයි. හැමෝටම ස්තුතියි කියලා තමයි අවසන් කරන්නට වෙන්නේ.