වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මේක උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්

මේක උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්

ඇයි මං එයාගෙන් සමාව ඉල්ලන්නේ...?

දමිතා අබේරත්න ගෙන් - සේමිණි ට පිළිතුරක්...

දමිතා අබේරත්නට එරෙහිව සේමිණී ඉද්දමල්ගොඩ විසින් නඩුවක් ගොනුකළා. මේ නඩුහබය ගැන දැන් මුලු රටම දන්නවා. මෙහි එක් පාර්ශ්වයක් වූ සේමිණී ඉද්මල්ගොඩ සමඟින් අප සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනක පැවැත්වූවා.

“ඇය මගේ ළඟට ඇවිත් ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් මේ නඩුව ඉල්ලා අස්කර ගන්නවා.”

එහිදී සේමිණි එසේ පවසා සිටියා ඔබට මතක ඇති. දමිතා එයට මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? ඔබට මෙන්ම අපට එය මහත් වූ ගැටලුවක් වුණා. අපි කෙළින්ම දමිතාගෙන් ඇහැව්වා මෙන්න මෙහෙම.

* දමිතා සේමිණිගේ මේ ප්‍රකාශයට ඔබේ පිළිතුර මොකක්ද?

සමාව ගන්න එන්න කියපු එකටද....?

ඔව්.

ඇයි මං එයාගෙන් සමාව ඉල්ලන්න, මොකක්ද මං කළ වරද? කිසිසේත්ම දුර දිග යා යුතු ප්‍රශ්නයක් නොවෙයි මේක.

* ඔබ වරදක් කරලා නැත්නම් ඇය නඩුවක් ගොනු කරන්නේ නැහැනේ?

මං කළේ යම් කිසි කෙනෙකු මට කළ අසාධාරණයක් වෙනුවෙන් පිළිතුරු දීමක්.

* ඔබ කියපු කතාව තවදුරටත් පැහැදිලි කළොත්?

එක්තරා වෙබ් සයිට් එකක අසත්‍ය පුවත් වගයක් පළවුණා. ඒ පුවත් දුන්නෙ මං කියලා රාවයක් ගියා. මං ඒ වෙබ් පිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තා. මගෙන් ඒ ගැන එක්තරා නාළිකාවක් ඇසුවා. මං පිළිතුර දුන්නා.

* ඔබට ඇගේ නම පාවිච්චි නොකොට එම ප්‍රකාශය කරන්න තිබුණනෙ?

මං එහෙම කළා නම් අනිත් සෑම නිළියකටම ඒ ප්‍රකාශය වැදෙනවා.

* ඇය නීතිමය ක්‍රියා මාර්ගයකට යන්න කලින් ඔබ කතා කළේ නැද්ද?

කතා කළා.... කතා කළා. කී සැරයක් නම් මං මූණට මූණ හමුවෙමු කිවුවා. කෝ... එක පාරක්වත් ඇය ආවෙ නැහැනෙ. මං ආසයි මරාගෙන හරි එකට හමුවෙලා මේ ප්‍රශ්නය විසඳගන්න.

* ඔබ තවමත් ඇයට ආරාධනා කරනවද?

ඔව්. මං මේ දැනුත් කියන්නෙ ඒකමයි. එන්න... අපි කතාබහ කරලා මේවා බේරුමක් කරගනිමු.

* නඩුවක් ගොනුකරලා ඇය ඔබෙන් වන්දියක් බලාපොරොත්තු වන්නෙ නැහැ කියලා අපිත් එක් කිවුවා.....?

මේ නඩුව හරහා මට පාඩමක් උගන්වන්න ඕනෑලු. මට මොකටද පාඩම් උගන්වන්නෙ. මං මේ

ක්ෂේත්‍රයට එන්නෙ අවුරුදු හයේදී. ජීවිතයේ හොඳම කාලෙදි මං

ක්ෂේත්‍රය තුළ ඉගෙනගන්න ඕන සියලු දේ මං දැනගෙන ඉවරයි. මං හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්.

* ඇය කියනවා ඔබයි ඇයයි අතර හිතවත්කමක් තිබුණෙ නැහැලු?

මොන බොරුද? ගෙදර ගිහිල්ලා තේ බීලා ඕපදූප කතාකර කර ඉන්න හිතවත්කම් ක්ෂේත්‍රයේ කාත් එක්කවත් මට නැහැ. නමුත් ඇය සහ මගෙ අතර තිබුණු හිතවත්කම තියෙන්නෙ හිතේ.

* ඇය ඔබත් එක්ක කිසියම් වෛරයකින්ද ඉන්නේ...

මම ඒක දන්නෙ නැහැ.

* ඔබේ නීතිමය කටයුතු ගැන අවධානයෙන්ද ඉන්නේ?

මගෙ ලෝයර්ස්ලා ඒවා ගැන බලා ගන්නවා.

* ඒ කියන්නෙ ඔබ උසාවියටවත් යන්නෙ නැහැ. මේ පිළිබඳ හොයලා බලන්න?

අවශ්‍ය වුණොත් යනවා. දැනට ලෝයර්ස්ලා නීතිමය කටයුතු කරගෙන යනවා. එයාලා කියන විදිහටයි මං වැඩ කරන්නෙ.

* මේ වනවිට මේ නඩුහබවලට කොච්චර මුදලක් වියදම් වෙලා තියෙනවද?

සෑහෙන්න ගාණක් වියදම් වුණා.

* ඔබ ඇය ගැන වෛරයකින්ද ඉන්නේ.

කොහෙත්ම නැහැ.

* එහෙනම්...?

මම මේ වෙන දේවල් ගැන කලකිරීමකින් ඉන්නෙ.

* ක්ෂේත්‍රය ගැන මිනිස්සු වැරදියට හිතන එක හින්දද?

ඔව්. මේක හරියට උඩබලාගෙන කෙලගහ ගන්නවා වගේ වැඩක්. මෙච්චර කල් එකට ක්ෂේත්‍රයේ ගනුදෙනු කරපු ඇයට බැරිවුණා කතා බහ කරලා මේක විසඳගන්න.

* ඔබ් මේ වන විට විවාහ වන්නට සූදානමින් පසුවෙන්නෙ. ඔබේ ආදරවන්තයා මේ වෙන දේවල් ගැන මොනවද කියන්නෙ?

එයාට මේව එච්චර ගාණක් නැහැ. මං ඔහුට සෑමදෙයක් ගැනම නිරවුල්ව කියනවා. ඔහුට මාව හොඳට විශ්වාසයි. අපි දෙන්නගෙ ආදරය ඇතැම් අයට දරා ගන්නත් බැහැ.

මං සේමිණිගෙනුත් මේ ප්‍රශ්න දෙක ඇහැව්වා. මං ඔබෙනුත් ඒවම අහලා මේ කතාව නිමා කරනවා.

අහන්න.

* එක. ඇයත් එක්ක ඔබට එක නිර්මාණයක රඟපාන්න ඇරැයුම් ලැබුණොත් බාර ගන්නවාද?

අපොයි ඔව්. මං හොඳට ඇගේ මූණ බලාගෙනම රඟපානවා.

* දෙක. ඇය සහ ඔබ හමුවන අවස්ථාවලදී මොකද කරන්නෙ?

විශේෂ මුකුත් නැහැ. මං පාඩුවෙ ඉන්නවා. මට මේ කතාව අවසන් කරන්න කලින් යමක් කියන්න ඕනෑ?

* කියන්න?

අපි මේ ජීවත්වෙන්න බුදුන් වැඩිය බුදුන් ධර්මය දේශනා කළ භූමියක. මෙහි දෙවිදත්ලත් හිටියා. ජේසුස් වහන්සේටත් එරෙහිවුණ අය අනන්තවත් උන්නනෙ. ඒ උතුම් පුද්ගලයින් එක්ක බලනකොට මං පුංචිම පුංචි කෙනෙක්. ඒක හින්දා මේ වෙන දේවල් මම පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් ගණන් ගන්නේ නැහැ.