|
|
භාචි ගේ Music වීඩියෝව හදන්න යුක්රේනයෙන් ඇවිත්භාචි සුසාන් අපේ ගී ලොව තවත් එක් ගායන ශිල්පියකු ලෙස පමණක් හඳුන්වා දීම ඔහුට කරනා මදි පුංචි කමකි. අසාධාරණයකි. ඒ නව පරපුරේ බොහෝ ගායකයන්ට නොමැති පැහැදිලි අනන්‍යතාවක් ඔහු සතු නිසාවෙනි. ඔහු ගී ගයන්නේ බොහෝ ඉහළ ස්වර පරාසයකය. ඊටම උචිත ආංගික අභිනයන් භාචිගේ ගැයුමට එක්කරන්නේ අපූර්ව හැඩයකි. මෑතකදී රසිකයන් අතර ඉතාමත් ජනපි‍්‍රයත්වයට පත් වූ “පෝරකය දෑස මානේ”, හා “බඹර නාදේ” වැනි ගීත ඊට කදිම නිදසුන්ය. ඒ ඔස්සේ ඔහු අපේ ප්‍රාසාංගික ගීත කලාවට නැවුම් අත්දැකීමක් මෙන්ම විචිත්‍රත්වයක් ද එක්කළ බව නොරහසකි. සිය මියුරු ගී නදින්, තාරුණ්‍යයේ සොඳුරු රිද්මය ස්පර්ශ කළ භාචි ඔබ සැම වෙනුවෙන් අප හා කතාබහට එක්වූයේ මෙලෙසිනි.
හොඳයි හොඳයි වරදක් නෑ, සතුටින් ඉන්නවා.
මුලින්ම අපි කතා කරමු ඔබේ අලුත් නිර්මාණ කටයුතු ගැන? ලෝකයේ සංගීතය අද දවසෙන් දවස, මොහොතින්, මොහොත වෙනස් වෙනවා. ලෝක සංගීතය එක්ක බලද්දි අපි ඉන්නෙ වෙන තැනක. මේ වෙනකොට ලෝකයේ ගොඩක් ජනපි‍්‍රය වී තිබෙන්නේ ඔය ට්‍රාන්ස්, ඩබ්ස්ටෙප්ස් වගේ සංගීත ශෛලීන්. ඒ කියන්නේ රොක් මියුසික්වලට පස්සේ ඊටත් වඩා පවර්ෆුල් මියුසික් එකක් තමයි ඩබ්ස්ටෙප් කියන්නේ. ඒක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික් මියුසික්. මගේ අලුත් ගීතය නිර්මාණය වෙන්නෙත් මේ ඩබ්ස්ටෙප් රිදම් එකට.
අපේ රටට ඔය සංගීත ශෛලිය ආගන්තුකයි නේද? ඇත්තටම ඔව්, මේ ඩබ්ස්ටෙප් සංගීත ශෛලියට අනුව සෙමෙන්, සෙමෙන් අපේ සමහරු යම්, යම් ගීත නිර්මාණ කරගෙන යනවා. මම මේ බීට් එක ගීතයට එක්කළේ පසන් එක්ක. පසන් නිතරම අලුත් සංගීතය එක්ක ගැටෙන කෙනෙක්. ඉතිං මම එයාට බීට් එක හදන්න දුන්නා. එතකොට ක්ලැසිකල් මියුසික් සහ ඩබ්ස්ටෙප් රිදම් එක මික්ස් කරලා තියෙන්නේ මේ ගීතයට. ඉන්දියන් මියුසීෂියන් කෙනෙක් මීට අවුරුදු දහයකට විතර කලින් තමයි මේ ගීතයේ මෙලඩි එක දැම්මේ. අපි ඒකට අද ලෝකයේ ජනපි‍්‍රය සංගීත අංගයන් එකතු කළා. ඒක වෙනස්ම නිර්මාණයක් වුණා.
ඔබේ අලුත් නිර්මාණය ජාත්‍යන්තර අවධානයට පවා ලක් වුණ බව දැන ගන්න ලැබුණා? මගේ මිත්‍රයෙක් මේ ගීතය අහලා ඔහුගේ හිතවතකුගේ මාර්ගයෙන් එය B. B. C. ගුවන් විදුලියට බාර දී තිබුණා. මම දන්නෙත් නැහැ. කොහොම හරි B. B. C. Radio එකේ TOP chart එකකින් මේ ගීතයට දෙවැනි ස්ථානය හිමි වුණා. ලෝකයේ විවිධ සංගීත ශිල්පීන් ගේ නිර්මාණ අතරෙනුයි මගේ ගීතයට ඒ ජයග්‍රහණය ලැබුණේ. පසන් මට ඒ ගැන කිව්වාම ඇත්තටම මට විශ්වාස කරන්නත් බැරි වුණා.
අපේ රේඩියෝ චැනල්ස්වල මේ ගීතය ප්‍රචාරය වෙන්නේ නැතිද? නැහැ. මේ රිදම් එක අපට තවම හුරු නැති නිසා ගීතය එතරම් අවධානයට යොමු වුණේ නැහැ. ඔය අතරේ මම කල්පනා කළා මේකට මියුසික් වීඩියෝ එකක් කරන්න. ගීතය වගේම විෂුවල් එකත් අලුත්, වෙනස් එකක් වෙන්න ඕනෑ නිසා හරි කෙනෙක් හම්බවෙන කල් මම බලාගෙන හිටියා. මගෙ ගමේ මගේ සහෝදරයෙක්, වෙලාවකට තාත්තා කෙනෙක් වගේ ඉන්න දයාල් අයියා මාර්ගයෙන් ඒකටත් දැන් පොටක් පෑදිලා.
එතකොට අලුත්ම වැඩකටයි සූදානම...? ඇත්තටම අලුත් වැඩක්. දයාල් අයියාගේ යාළුවෝ පිරිසක් ඉන්නවා යුක්රේනයේ රූපවාහිනී ආයතනයක සේවය කරන. ඒ ගොල්ලො තකහනියෙම ලංකාවට ආවා එයාලගේ ආම්පන්න අරගෙන මේ ගීතය රූගත කරන්න. මම ඔවුන්ට කිව්වා ඔච්චර වියදම් කරන්න මගෙ ළඟ මුදල් නැහැ කියලා. මොකද ලංකාවේ ඔය වගේ වැඩකට ලොකු මුදලක් වැය කළාට අපට ප්‍රතිලාභයක් නෑ. පසුව එයාලා මට කිව්වා. “අපට මුදල් එපා භාචි, අපි මේක කරන්නෙ ඔයා වෙනුවෙන්” කියලා. ඒක මට ලොකු ධෛර්යයක් වුණා. ඒ වැඩ කටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නේ.
ලංකාවේ රසික ප්‍රජාව ඔබේ ගායන විලාශය, සංගීත ශෛලිය හා ඔබේ හඬ පෞරුෂය වෙනම තැනක තියලයි කතා කරන්නේ. මම හිතන්නේ සංගීතය කියන්නේ ඔබ ආයාසයෙන් ගොඩනගා ගත් විෂයයක් නොවේ? මගේ අම්මාගේ පරම්පරාවේ හුඟ දෙනෙක් සංගීතයට සම්බන්ධ අය. මගේ සීයා සංගීත ගුරුවරයෙක්. ඒ කාලේ ඔහු ටීටර්, නූර්තිවලට සංගීතය සපයපු කෙනෙක්. ජෝන් මාස්ටර් කියලා. හැම සංගීත භාණ්ඩයක්ම ශාස්ත්‍රානුකූලව වාදනය කරන්න බැරි වුණත් ඔහු මොන සංගීත භාණ්ඩයක් අතට ගත්තත් ඒකෙන් අමුතු ශබ්දයක් මවනවා, කියලා මට අම්මා කියලා තියෙනවා. සමහර විට හිස් ටින් එකකින් වුණත්.
ඒ හැකියාව තමයි ඔබේ උරුමය වෙන්න ඇත්තෙත්...? ඔව්, හැබැයි එහෙම කියලා කවදාවත් මම නිකං හිටියේ නෑ. ගීත ගායනා කරන්න පුළුවන් කියලා දැන ගත්ත කාලේ ඉඳලා, මට මොනවද කරන්න පුළුවන් කියලා මම හොයලා බැලුවා. මේ ලෝකයේ මොහොමඩ් රාෆි කියලා කෙනෙක් බිහි වුණා නම්, අමරදේව කියලා කෙනෙක් බිහි වුණා නම් එතකොට භාචි කියන්නේ කවුද කියලා හොයන එක තමයි මගේ රිසර්ච් එක වුණේ දන්න කාලේ ඉඳන්. සමහරු කිව්වා මම ගීත ගායනා කරනකොට ඔච්චරට කෑගහන්න ඕනෑ නෑ කියලත්.
බොහෝ විට ඔබ ගී ගයන්නේ උච්ච ස්වරයෙන්. මන්ද්‍ර සප්තකයේ ගීත ගායනා කරන්න ඔබට නොහැකිද? නැතිනම් මොකක්ද ඔබේ ඒ සුවිශේෂ ගායනා ශෛලිය? ගීත පුහුණුවීම්වලදී මම එය කරන්නේ ඉතා පහළ ස්වරවලින්. මම දන්නවා ලංකාවේ ගොඩක් ගායකයන්ට වඩා පහළ ස්වර ගායනා කරන්න පුළුවන් මට. හැබැයි මම අර රිසර්ච් එක කළා ඉහළ ස්වරවලට යන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ රිසර්ච් එක ඇතුලේ මම ම හොයා ගත්තු ටෙක්නික්ස් ටිකක් තිබ්බා මගෙ උගුරට.
ඔබට ගුරුවරයෙක් හෝ මාර්ගෝපදේශකයෙක් හිටියේ නැහැ? ලංකාවේ අපට එහෙම ඉගෙන ගන්න තැනක් නැහැ. මම වැරදියට ගායනා කරලා සැත්කම් පවා කරන්න වුණා උගුරේ. ඊට පස්සෙත් මගේ කටහඬ වෙනස් වුණා. එහෙම වුණත් මම අතෑරියේ නෑ. සාමාන්‍යයෙන් කතා කරද්දී මගේ බර කටහඬක් තියෙන්නෙ. ඒත් ගායනයේදී ඒක වෙනස් වෙනවා. තවමත් ඒ කියන්නේ අදටත් මට අනිවාර්යයෙන්ම දවසකට පැය හතරක්වත් ඒ පුහුණුවීම් කරන්න ඕනෑ. නැතිනම් මට හරි අමාරුයි. උප්පත්තියෙන් හෝ වෙනයම් දෙයක් නිසා හෝ අපට හැකියාවන් එනවා තමයි. ඒත් පැත්තකට වෙලා නිකං ඉන්නෙ නැතුව අපට කරන්න පුළුවන් මොකක්ද කියලා හොයලා බලන්නම ඕනෑ. නැත්නම් “මම” කියන කෙනෙක් බිහි වෙන්නෙ නැහැ.
දැන් “මම” කියා කෙනෙක් බිහිවෙලා කියලා ඔබ හිතනවද? මම හිතනවා, මම විශ්වාස කරනවා, මට යම්කිසි වෙනසක් මේක ඇතුලේ මගේ දැනුමේ හැටියට කරන්න පුළුවන් වුණා කියලා. ප්‍රසංග වේදිකාවට ගියාම හා වෙනත් තැන්වලට ගියාම මිනිස්සු දක්වන ප්‍රතිචාරවලින් මට ඒ බව වැටහෙනවා. මගෙ උත්සාහය සාර්ථකයි කියලා ඇත්තටම සතුටෙන් ඉන්නේ මේ කාලේ. මම තව තවත් හොඳ ගීත නිර්මාණය කරන්න තමයි කැප වෙන්නේ.
භාචි අද ලංකාවේ ජනපි‍්‍රය ගායකයෙක් වුණාට මෙතැනට ආවේ සෑහෙන කට්ටක් කලා? ඒක ඉතින් මම දකින්නේ සාමාන්‍ය දෙයක් විදියට. මොකද දුක්, කම්කටුලු, බාධක නැත්නම් ජීවිතයක කිසි රහක් නෑ. ඒ නිසා මම අතීතය සිහිපත් කරන්නේ ආදරයෙන්. මම ඉපදුනේ නාත්තන්ඩිය, කොස්ඉන්න කියන ගමේ. වෙල් එළියේ ඇවිදලා, ඇලේ දොලේ පීනලා, බඩවැටිවල කරක් ගහලා තමයි මගේ ළමා කාලය ගත වුණේ. ගෙදර තිබුණ සංගීතකාමී පරිසරය නිසා පුංචි කාලෙම ඊට ඇලුම් කළා. මට අක්කලාම හතර දෙනයි. ලොකු අක්කා අද නුවර ප්‍රදේශයේ සංගීත උපදේශකවරියක් විදිහට කටයුතු කරනවා. එදා අක්කා රාග තාල වයනකොට මමත් ඊට එකතු වෙනවා. නමුත් මට ඕනෑ වුණේ වෙන පැත්තකට යන්න. ඒ කියන්නේ සංගීතයේම වෙනත් ඉසව්වක් සොයා යන්න.
ප්‍රසංග වේදිකාවට තමයි මම හිතන්නේ එදාත් ඔබ වඩා ඇලුම් කළේ? ඒ කාලේ මම ගමේ තිබුණු හැම සංගීත ප්‍රසංගයකටම වගේ ගියා. ප්‍රදේශයේ ජනතාව අතර මාව ප්‍රසිද්ධ වෙලා හිටියා ගායකයෙක් විදියට. ඒ කාලේ සිංහල ගීත වගේම හින්දි ගීතත් මම ගායනා කළා. විශාරද අමරදේවයන් ගේ ගීත තමයි වැඩිපුරම ගායනා කළේ. ඇත්තටම එතුමා අපේ සංගීත ලොවේ දෙවි කෙනෙකු හැටියටයි මම දකින්නේ. එක්තරා ගීත ප්‍රසංගයක දී එතුමා සමඟ එකම වේදිකාවේ ගී ගයන්න මට අවස්ථාව උදාවුණා. එදා මගේ ගායනය අහලා එතුමා මාව සිප වැලඳගෙන මට සුබ පැතුවා. එදා එතුමා මට දුන්න ඒ තෑග්ග ජීවිත කාලයටම මට ඇති.
භාචි සුසාන් ගැන කතා කරද්දි “සීදූව සකුරා” සංගීත කණ්ඩායම ගැන කතා නොකර බෑ. ඔබ එහි නිෂ්පාදනයක් කියා මා කිව්වොත්? විවිධ සංගීත කණ්ඩායම් එක්ක මම ගීත ගායනා කළානේ. ඊට පස්සේ මම ටිකක් නතර වෙලා හිටියා මේක තව දුරටත් හදාරන්න ඕනෑයි කියන තැන ඉඳලා. ඔය අතරේ තමයි සීදුව සකුරා කණ්ඩායමේ නියමු අජිත් විතානගේ මට ඒ සංගීත කණ්ඩායටම බැඳෙන්න කතා කළේ. ඒ වෙනකොට අපේ ගම් ප්‍රදේශයේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායම් කිහිපයකුත් මට කතා කරළා තිබ්බා. මම අජිත් අයියා එක්ක ගොඩක් කතා කළා. ඔහු කාගෙවත් හිත රිද්දන්නෙ නැති, බොහොම සංයමයකින් කතා කරන කෙනෙක්. මට ඔහුව මාර විදිහට හිතට ඇල්ලුවා. ඒ නිසා මම අජිත් අයියගේ ආරාධනය පිළිඅරගෙන ‘සීදූව සකුරා’ සංගීත කණ්ඩායමේ ගායකයෙක් විදියට කටයුතු කළා.
ඇයි එතකොට ඔබ එයින් ඉවත් වෙන්නෙ? අවුරුදු හතක් මම ඔවුන් එක්ක වැඩ කළා. ඒ අතරේ චිත්‍රපටවල ගී ගයන්න මට ආරාධනා ලැබුණා. ඉන්දියාවේ යන්න මට සිද්ධ වුණා යම් අවස්ථාවක රෙකෝඩින්ස්වලට. ඉතින් ඒ වගේ මට පොඩ්ඩක් වැඩ වැඩි වෙන්න ගත්තා. හැබැයි හැම වැඩකටම මම අජිත් අයියාගෙන් අහලා ගියේ. ඔහු මට අවසරය දුන්නා. ඒත් වැඩ කිහිපයකට මට යන්න බැරි වුණා. ඒ මගේ කාර්යබහුලත්වය නිසා. කොහොම හරි ඔවුන්ට කෙනෙක් අවශ්‍ය වුණා. මම ඔවුන්ගේ වැරැද්දක් දකින්නෙ නෑ. ඔවුනුත් කරන්නේ වෘත්තියක්නේ. හැබැයි මම ඔය අනෙක් අය වගේ නොකියා හිමින් මාරු වුණේ නැහැ. කරදරයක් වුණෙත් නෑ. ජූඩ් මල්ලි සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා එදා මම ගයපු ගීත වේදිකාවේ ගායනා කරනවා පල්ලෙහාට වෙලා බලාගෙන ඉඳලා ඒ ස්ථාවරය හැදුණට පස්සෙ තමයි මම කණ්ඩායමෙන් ඉවත් වුණේ.
සමහරු හිතන්නේ ඔබ ආඩම්බරයි කියලා? ඔව්, සමහරු එහෙම හිතනවාත් ඇති. මොකද ගීත ගායනා කරන්න යනකොට ඒ මූඩ් එකේ තමයි මම ඉන්නේ. ඒත් අපේ සමහර රසිකයෝ, සංවිධායකයෝ මේ ගැන තේරුම් අරගෙන නෑ. අපි ගයන ගීතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න නම් අපි ඒ ගීතය ඇතුලේ ජීවත් වෙන්න ඕනෑ. ඒ සඳහා මනස සංසුන් කරගැනීම ඉතාම වැදගත්. ප්‍රසංග වේදිකාව අබියස මම නිහඬ වෙලා ඉන්නේ ඒ නිසයි. කා එක්ක හරි කතා කර කර ඉඳලා වේදිකාවට ගිහින් එක පාරටම ගීතයට මූඩි වෙන්න අමාරුයි. අපි හිතමු ‘පෝරකය’ ගීතය මම ගයන්නෙ කියලා. මම පෝරකයට යන්න ඕනෑ. පෝරකයට ගිහින් ඒ මතකය තමයි මම ගායනා කරන්න ඕනෑ. එතකොට ඒ ෆීලින් එක දෙන්න මම වේදිකාවේ පල්ලෙහා ඉඳලාම සූදානම් වෙන්න ඕනෑ. අනෙක් රටවල ගායකයා හෝ ගායිකාව නෙවෙයි ඒ දේවල් කරන්නෙ මැනේජ්මන්ට් එක තමයි මෙහෙම, මෙහෙම අරන් එන්නෙ ඒ ශිල්පියාව වේදිකාවට. ඒ ඇවිත් වේදිකාවට ශිල්පියාව අතාරින්නේ විශ්මයක් විදිහට. |



හායි... භාචි කොහොමද?