වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ළමයින්ට වඩාත් සුදුසු චිත්‍රපටයක්

ළමයින්ට වඩාත් සුදුසු චිත්‍රපටයක්

අද අපේ කතා නායකයා ඩස්ටි තම සිහිනය සැබෑ කර ගැනීමේ අදිටනින් කැප වූ පුංචි ගුවන් යානයක්.

ගොවිපලක බීජ ඉසිනා මේ පුංචි ගුවන් යානයේ එකම බලාපොරොත්තුව වූයේ අහස්යානා තරගයකින් ජයග්‍රහණය ලබා ගැනීමයි.

ඩස්ටි තම් සිහිනය සැබෑ කර ගත්තේ 2013 වසරේදීය.

විවිධ බාධක අවදානම් මධ්‍යයේ පැමිණි ඒ ගමනේදී ඩස්ටිහට බොහෝ මිතුරන් ඇති වූවා සේම සතුරන්ද ඇති විය.

තරග රාශියක ජයග්‍රහි ප්‍රීතිය අවසානයේ ඩස්ටි දැන් සිටින්නේ තරමක අවදානමකිනි.

ඒ තම ගියර් පද්ධතියේ ඇති වී තිබෙන දෝශයක් හේතුවෙනි. අවාසනාවකට මෙන් එම වර්ගයේ ගියර් පද්ධති දැන් නිෂ්පාදනය කෙරෙන්නේද නැත. ඒ නිසාම ඩස්ටි දැන් සිටින්නේ දරාගත නොහැකි වූ දුකකිනි.

ඩස්ටිගේ කාර්මික සහයකයා ඩොටීය.

ඩස්ටි තුළ ඇති වූ මෙම දෝශයට පිළියම් ලෙස ඩොටී අනතුරු හැඟවීමේ සංඥා සහ විදුලි බුබුළු පද්ධතියක් සකස්කර දුන්නේ වේගය පාලනය කිරීම සඳහාය.

ඩස්ටි දැන් සූදානම් වෙන්නේ තම වේගය මැන බැලීමටයි. ඒ වෙනුවෙන් නිදහසේ අහස පුරා සැරිසැරීමට ඩස්ටි සූදානම්. ඩොටීගේ වෑයම සාර්ථක වේවි ද ? ඩස්ටිගේ බලාපොරොත්තු ඉෂ්ට වේවි ද ?

මේ ගැන කතා කෙරෙන්නේ Planes: Fire and Rescue චිත්‍රපටය යි.

පසුගිය ජුලි 18 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ පරිගණක සජීවකරණ පවුලේ චිත්‍රපටයක් වන Planes: Fire and Rescue  පළමු සති අන්තයේදී ලද ආදායම ඩොලර් 17,509,407කි. ඩොලර් මිලියන 50ක පිරිවැයක් මේ සඳහා විය වී ඇත.

රොබට්ස් ගැනවේ අධ්‍යක්ෂණය කළ Planes: Fire and Rescue  වෝල්ට් ඩිස්නි ඉදිරිපත් කිරීමකි. ඩේන් කුක්, සැචී කේච්, බ්රැයඩ් ග්රේට්, ඩැනී මාන්, ටෙරී හැචර්, ජූලි බොවන් ඇතුණ පිරිසක් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති.

ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වූ  Cars පාදක කරගත් මෙය2013 වසරේ තිරගත වූ  Planes චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණ කර තිබේ.

Planes: Fire and Rescue  චිත්‍රපටය ලද ප්‍රතිචාරයන්ගෙන් කියවෙන්නේ එය ළමුන් සඳහාම උචිත වූ චිත්‍රපටයක් බවයි.

වයස අවුරුදු දහයට වඩා අඩු ළමුන්ට එය වඩාත් සුදුසු බව විචාරක මතය යි.

එමෙන්ම 2013 වසරේ තිරගත වූ පළමු චිත්‍රපටයට වඩා සාර්ථක විචිත්‍රවත් නිර්මාණයක් බවත් ඔවුන්ගේ අදහසයි.

කෙසේ නමුත් Planes: Fire and Rescue  අමෙරිකානු ප්‍රදර්ශනයේ දැන් ගත කරන්නේ දෙවැනි සතිය යි. මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ පස් වැනි ස්ථානය හිමි කර ගැනීමට Planes: Fire and Rescue  සමත් වී ඇත.