වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




“පුංචි කාලෙ එයාට බත් කවනකොට මම බලන් ඉන්නවලු”

“පුංචි කාලෙ එයාට බත් කවනකොට මම බලන් ඉන්නවලු”

රොෂාන් රණවන ප්‍රථම වරට ආදර කතාව හෙළි කරයි

රොෂාන් – කුෂ්ලානි සුබ මංගලම්

ඔහු යෞවනයේ සිහින කුමරාය. තව පැය කිහිපයකින් ඒ සිහින කුමරා තම ජීවිතයේ ප්‍රේම කුමරිය සමඟ එක්වන්නේ ලෝ පුරා විසිරුණු රොෂාන්ගේ හිතැත්තන්ගේ උණුසුම් සුබ පැතුමන් සමඟිනි. වසර එකොළහක් ඉපැරැණි ඒ සුන්දර පෙම් පුවත ජය ගනිමින් රොෂාන් අත ගන්නා වාසනාවන්තිය කුෂ්ලානි ප්‍රනාන්දුය.

මේ සරසවිය ඒ පෙම් පුවත සොයා ගිය ප්‍රේම චාරිකාවක සටහනකි. රොෂාන් - කුෂ්ලානි පෙම් පුවත නිල වශයෙන් පුවත්පතක පළ වන්නේ ප්‍රථම වතාවටය.

රොෂාන් හිත තිගැස්මෙන් වගේ...

නෑ... හැබැයි එහෙම නැතුවමත් නෙවෙයි.

විවාහ මංගලෝත්සවයට තව පැය කිහිපයයි.

ඔව්... අපි දෙන්නම ඉන්නෙ ඉතාමත් සන්තෝෂයෙන්.

ඔබේ අත ගන්නා වාසනාවන්තිය කුෂ්ලානි.

හරි... කුෂ්ලානි ප්‍රනාන්දු.

දැනට පදිංචිය

වත්තල

කුෂ්ලානිව දන්නෙ කොයි කාලෙ ඉඳලද?

එයා ඉපදුණු දවසෙ ඉඳලම මං කුෂ්ලානිව දන්නවා. ඒත් ඒ බව දැනගත්තෙ කලක් ගත වුණාට පස්සෙ.

ඒ කිව්වේ?

කුෂ්ලානිගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර තමයි අපේ ආච්චිලගෙ ගෙදර. මං පුංචි කාලෙ ඉඳලම වැඩිපුර කාලයක් ගත කළේ ආච්චිලගෙ ගෙදර. කුෂ්ලානි පුංචිම කාලෙ බත් කවන්න පාර වටේම අරන් යනවලු. කුරුල්ලො, මල්, ගස් පෙන්න පෙන්නා කුෂ්ලානිට කෑම කවනවා මං බලන් ඉන්නවලු. මං අපේ ගේට්ටු කණුවට නැගලා “බබෝ බයියං කන්න බබෝ” කියලා ඒ කාලෙ කුෂ්ලානිට ආදරයෙන් කතා කරනවාලු. ඒත් දැනුම් තේරුම් ඇති කාලෙදිවත් අපි අතරේ මිත්‍රත්වයක් තිබුණේ නැහැ.

කොහොමද ඉතිං මේ සම්බන්ධෙ ඇති වුණේ?

ඒක හරිම අපූරු මිහිරි රසවත් හරවත් කතාවක්. ඉස්සෙල්ලා මං කිව්වා වගේ මං නිතරම හැදුනේ වැඩුණෙ අපේ ආච්චි අම්මලගෙ දිහා. හැම වෙලාවෙම ආච්චි අම්මලගෙ ගෙදර ගිහිං නිදහසේ ඉන්න මං කැමතියි. ඒ ගෙදර තට්ටු දෙකයි. උඩ තට්ටුවෙ හිටියෙ අපේ මාමලා. මාමගෙ දුවගෙ යාළුවෙක් තමයි කුෂ්ලානි. අපේ මල්ලිත් කුෂ්ලානි එක්ක හිතවත්. ඒත් මං ඒ කල්ලියත් එක්ක සෙල්ලම් කරන්න යන්නෙම නෑ. වයස අවුරුදු පහේදි හයේදි විතර මල්ලියි නංගියි එක්ක කුෂ්ලානි සෙල්ලම් කරන හැටි මට යාන්තමට මතකයි.

2001 වසරෙදි තමයි මං කුෂ්ලානිත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තෙ. ආච්චිලගෙ ගෙදර ළඟ බැඩ්මින්ටන් ගහන්න මල්ලිලා යනවා. නංගිත් එතන සෙල්ලම් කරනවා. කාලෙකට පස්සෙ මමත් ඒ අය එක්ක සෙල්ලම් කරන්නට එකතු වුණා. අපි හැමදාම බැඩ්මින්ටන් ගැහුවා. ඒ අතරතුරේ කුෂ්ලානි මමත් එක්ක හිතවත් වුණා. ඒ හිතවත්කම දැඩි මිත්‍රත්වයක් බවට පත් වුණා.

මිත්‍රත්වය කොහොමද ප්‍රේමයක් බවට පෙරළුණේ?

මේ කාලෙ වෙනකොට මම මොඩ්ලින් කරන්න පටන් අරන්. ඒ වැඩවලට යනවා බොහොම කාර්යබහුල කාලයක් තමයි ගත වුණේ. මට නංගිලා නැති නිසා මං කුෂ්ලානිට සහෝදරියක් විදියට ඇයට ආදරය කළා. කාලෙකට පස්සෙ මම මිස්ටර් ශ්‍රී ලංකා වුණා. ඒ 2002 දී. ඒ තරගයේ ජයග්‍රහණයත් සමඟ මට බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න යන්න බැරි වුණා. හැබැයි බැඩ්මින්ටන් ගහන වෙලාව ළං වෙද්දි මගේ හිත තිබුණේ එතන. කාලයක්ම බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න යන්න බැරි වුණාම කුෂ්ලානිගෙයි මගෙයි තිබුණු ඇසුරත් අඩුවුණා.

මේ වෙලාවෙදි තමයි මට දැනෙන්න පටන් ගත්තෙ මට තනියක්, පාළුවක් දැනෙනවා කියලා. ඒ තනිකම පාළුව ගෙනාවේ කුෂ්ලානි නැතිකම කියලා දැනෙන්නටත් තවත් කාලයක් ගත වුණා. මෙහෙම දින සති මාස ගෙවිලා යද්දි කුෂ්ලානි මගේ ජීවිතයට අතිශය සමීපයි කියලා දැනුණා. ඒ දැනීම තමයි දෙන්නගෙම හිත් එකතුවෙලා ආදරයක් බවට පෙරළුණේ. 2003 වසරේදී තමයි අපි පේ‍්‍රම සම්බන්ධතාවය ඇරඹුවේ.

ඇයි රොෂාන් කුෂ්ලානිට කැමැති වුණේ?

පුංචිම කාලෙ ඉඳලා දැකලා. දන්න කාලෙ සෙල්ලම් කරලා කුෂ්ලානිව මට හොඳින්ම දැනිලයි තිබුණේ. ඒක විශාල බැඳීමක්. මං හිතන්නෙ ඇයගෙයි මගෙයි තියෙන්නෙ ලොකු බැඳීමක්.

එයා වෘත්තියෙන් මොනවද කරන්නෙ?

අන්තර්ජාතික සමාගමක වරලත් ගණකාධිවරියක් ලෙස සේවය කරනවා.

ආගම?

කතෝලික

ඔබ දැඩිව බුද්ධාගම අදහන කෙනෙක්. මේක ගැටලුවක් නෙවෙයිද?

කොහොමටත් නැහැ. තමන්ගෙ ආගම හරියට පිළිගන්නා අදහන කෙනා උතුම් මිනිසෙක් කියලයි මං විශ්වාස කරන්නේ. ආගම ප්‍රේමයට, විවාහයට බාධාවක් වෙන්නෙ කොහොමද?

රොෂාන් වෙන ගෑනු ළමයි එක්ක රඟපානවාට කුෂ්ලානි තුළ අකැමැත්තක් නැද්ද?

නැහැ. කවදාවත් එහෙම දෙයක් කියලා නැහැ. මට එහෙම ප්‍රශ්නයක දැනිලත් නැහැ. මං මොන වගේ කෙනෙක් ද කියලා එයා හොඳටම දන්නවා.

රොෂාන් රඟපෑ චරිතවලින් එයා කැමැතිම චරිතය මොකක්ද?

ෆීල් මයි ලව් (ආදරයේ නාමයෙන්) චිත්‍රපටයේ මා නිරූපණය කළ රොෂාන්ගේ චරිතයට එයා හරිම කැමැතියි.

රොෂාන් නිර්මාංශ ආහාර ගන්නා කෙනෙක්. බිරියත් එහෙමද?

මට මතක විදියට අවුරුදු දාහතරෙදි විතර කාලෙදි එයා මස් මාලු භාවිතය අත් හැරියා. ඒකට මගෙන් බලපෑමක් තිබුණේ නැහැ. එයා තනිවම ගත්ත තීරණයක් ඒක. දවසක් එළුවෙක් මරණ දර්ශනයක් දැකලා තමයි එයා මස් මාලු කන එක නවත්තලා තියෙන්නේ.

රොෂාන්ගේ නිර්මාණශීලී ජීවිතයට පෙම්වතිය බාධාවක් වුණේම නැද්ද?

කවදාවත්ම නැහැ. මං වෘත්තීමය නළුවෙක්. ඒ වගේම මම නිර්මාණ තෝරා බේරා ගෙන කරන කෙනෙක්. ඒ නිසා කවදාවත් මට තහංචියක් දාන්න ඇයට උවමනා වුණේ නැහැ. අනෙක රොෂාන් රණවන කියන නළුවාටත් ඇය ආදරෙයි. ඒ නිසා මගේ රංගනයට බාධාවක් නොවෙයි. ඇගෙන් ලොකු දිරියක් ශක්තියක් ලැබෙනවා.

රොෂාන්ට මුලින්ම කුෂ්ලානි දුන්න තෑග්ග මතකද?

අවුරුදු එකොළහක් තිස්සේ තෑගි ගොඩක් දීලා තියෙනවා. ඒත් හැම එකම මං ගාව තියෙනවා. මුලින්ම දුන්නේ මොනවද කියලා හරියටම මතක නෑ, මේ වෙලාවේ.

ඒ කියන්න් හිත කලබලයි?

මට විතරක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට මේ කාලය ලංවෙද්දි හිත කලබල වෙනවනෙ (සිනාසෙයි) වැඩ කටයුතු අධිකයි.

අවුරුදු එකොළහක් තිස්සේ මොකද මේ කතාව හැංගුවේ?

මෙහෙමයි. 2003 දී අපි ප්‍රේම සම්බන්ධතාවය පටන් ගත්තා. ඒත් ඒක කවුරුත් දැනගන්න ඕනෑ නෑ කියන තැන අපි දෙන්නම හිටියා. අපේ ගෙදර වගේම එයාලගේ ගෙදරත් සම්ප්‍රදායානුකූලයි. ඒ හින්දා අපි ගොඩක් කාලයක් මේ සබඳතාව ගෙවල්වලට හැංගුවා. ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ සම්බන්ධතාවය ගෙදරට ආරංචි වුණා. නමුත් ගෙවල්වල වැඩිහිටියනුත් මේ සම්බන්ධතාවය නොදන්නවා වගේ හිටිය කියලා අපට දැන් හිතෙනවා.

ඒ වගේම මං නළුවෙක් වුණාට මං ජනප්‍රිය වුණාට ඇය ජනප්‍රිය කෙනෙක් නොවන නිසා අපි අපේ පාඩුවේ ආදරය කළා. ඒක ඇත්තටම අපිට හොඳ නිදහසක් ද වුණා. මේ සම්බන්ධය මාධ්‍යයට කියනවාට කුෂ්ලානි කැමැත්තක් තිබුණේ නැහැ. මමත් කැමැති වුණේ නැහැ. ඒ වුණාට දැන් නම් අපේ සබඳතාවය රටම දන්නවා.

මේ සම්බන්ධතාවයට ඉරිසියාකාරයෝ හිටියේ නැද්ද?

කේලම් නම් එමටයි. කුෂ්ලානිට මං ගැන එක එක දේවල් කිව්වට එයා මට ඒ හැම දේම කියනවා. මට කිවව්ත් එහෙමමයි. අපි ජෝක්ස්වලට කතා කරන්නේ ඒ ඉරිසියාකාරයන්ගේ කතාන්දර ගැන. ඊට පස්සේ අපි එකතු වෙලා ඒ අයව බයිට් කරනවා. එතකොට ඒ ඉරිසියාකාරයන්ට තේරෙනවා මේ දෙන්නව කොටවන්න බැහැ කියලා.

කේලම් නිසා කවදාවත් ප්‍රශ්න ඇතිවෙලා නැද්ද?

නැහැ. අපි දෙන්නා අපි හඳුනනවා.

හෙට මොන විදියට ද අඳින්නේ?

මං මුල් ඇඳුම. එයා ඔසරිය.

රොෂාන් රණවන කියන්නේ වෙස්ටර්න් කල්චර් එකට සමීප චරිතයක්. මොකද උඩරට අඳින්න හිතුවෙ?

කොහේ හිටියත් මොනව කලත් අපේකම ඉතා වටිනා දෙයක්. ඒ නිසා අපි දෙන්නම තීරණය කළා අපේකම ඉස්මතු වෙන්න අඳින්න පළඳින්න ඕනෑ කියලා.

කුෂ්ලානිට උයන්න පුළුවන්ද?

ඔව්, පුළුවන්.

රොෂාන් කුෂ්ලානිගේ කැමතිම ලක්ෂණය මොකක්ද?

මම ඉතාමත් පිළිවෙළට ඉන්න කැමති කෙනෙක්. මං 200% පිළිවෙළට ඉන්නවා. එයා 400% පිළිවෙළට ඉන්නවා. ඒකට මං හරිම කැමතියි.

බැන්දට පස්සේ රොෂාන්ට තියෙන කාන්තා ආකර්ෂණය අඩු වේවිද?

නළුවෙක් විදියට මං මගේ ගමන ඉදිරියට යනවා. මං දන්නවා මට ආදරේ කරන්නේ බුද්ධිමත් රසික පිරිසක් කියලා. ඒ හැමෝම මට මේ වෙලාවේ ආශිර්වාද කරයි.

හෙට අලුත් ගමනක ඇරැඹුම?

ඔව්. මේ ගමන හරිම අවබෝධයෙන් යා යුතුයි. ගැටලු එන්නට පුළුවන්. ඒත් අපි දෙන්න ශක්තිමත් නම් ඒ ගැටලුවලට බලපෑමක් කරන්න බැරි වේවි කියලා මං හිතනවා. මොකද කුෂ්ලානිට මාව වගේම මට කුෂ්ලානිවත් ඉතාමත් විශ්වාසයි.

අපේ විනෝදාංශය තමයි සුන්දර ස්ථාන නැරඹීම. ඒ සඳහාත් ගොඩක් කාලය වැය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා.

වෙනම ඉන්නවට වඩා එකට ඉන්න ගියහම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් වසර එකොළහක් සමගියෙන් ආදරෙන් හිටිය වගේ අපේ බැඳීම තියේවි.