වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඝෝර විසැති නයි පොළඟුන් වන් මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්

ඝෝර විසැති නයි පොළඟුන් වන් මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්

ජ්‍යෙෂ්ඨ ගීත රචක විමලදාස පෙරේරා

සැදෑසමය ගෙවෙන මොහොතක අප අසල ඉතිරිව තිබෙන්නේ ඒ සොඳුරු අතීතයේ සැමරුමක් මය. නැතිනම් සොඳුරු සිදුවීමක්මය. ඒ සොඳුරු සිදුවීම් මතකයට නඟන ‘මතක ගී පොතට‘ මෙවර එක්වන්නේ ගේයපද රචක විමලදාස පෙරේරාය. ගේයපද රචකයෙක්,රංගන ශිල්පියෙක්, සහය අධක්්‍යෂවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් ආදී විවිධ භූමිකා මගින් ඔබ හමුවට පැමිණි ඔහුව බොහෝදෙනා හඳුනන්නේ ගී පද රචකයෙක් ලෙසය.

‘පුන්සඳ හිනැහෙන්නේ, ‘රස මිහිරි කතා සිඟිති සිනා‘, මා ඉන්නේ අන්ධකාරේ දැන්‘ ‘රන් කඳ මාගේ පුන්සඳ වගේ‘ ‘හොඳයි නරකයි‘ ‘බුදු සාදු දෙසූ‘ ‘ඔබ කැන්ඳා යෑම සඳහා මරුවා එයි සොයා‘ ආදී ගීත ඔහු සුරතෙන් පදබැඳී ගීත වෙයි.

කලක් මම ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළෙමි. එහිදී වැඩසටහන් රාශියක් අසන්නන් ට හඳුන්වා දූන් බව මට මතකය. එසේ මා ඇතුළු පිරිස හඳුන්වා දුන් ප්‍රශ්න විචාරක වැඩසටහන ලොකු, කුඩා බොහෝදෙනා අතර ඉමහත් ජනපි‍්‍රයත්වයක් හිමිකර ගැනිණි. පාසල් පනස්දෙකක සිසු - සිසුවියන්ගෙන් සැදුම්ලත් ඒ වැඩසටහන දිගු කාලයක් ගුවන් විදුලියේ ප්‍රචාරය විය. එසේම අසන්නන්ගේ ප්‍රතිචාර හිමිකර ගත් ‘සතියේ මනාලිය‘ ගුවන් විදුලි වැඩසහනේ නිවේදන කටයුතු කරන ලද්දේ මා මිතුරා කරුණාරත්න අබේසේකරය. නිවේදන කලාවේ සිළුමිණ බඳු වූ කරුණාරත්න අබේසේකර මාගේ මිතුරෙක් බවට පත් වන්නේ ගුවන් විදුලියේ මහගෙදර වූ රේඩියෝ සිලොන් හිදීය.

ඒ මා නිෂ්පාදනය කළ වැඩසටහන් හරහාය.

ඔහු කොපමණ සොඳුරු මිතුදමකින් මා සමඟ වෙලී සිටියේද යත් සෑමවිටම මාගේ සුරතෙන් ගෙතුණු පදවැල් අගය කිරීමට තරම් නිහතමානී සොඳුරු මිනිසෙක් විය. ඔහුගේ නිහතමානී ගුණයත්, අන් කිසිවෙකුටත් වචනයකින් හෝ හිරිහැර නොකිරීමේ ගුණයටත් මම ඔහුට ගෞරව කළෙමි.

ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලකට ඉඩක් නොතිබුණු ඔහුගේ සිත සුවඳ විහිඳු වන සෙව්වන්දි මල්දමක් හා සමාන යැයි පැවසුවොත් එකල සිටි සියල්ලන් මා සමඟ එකඟ වනු නියතය. එවැනි සොඳුරු මිනිසකු සුරතෙන් පද බැඳුණු ගී පද ඒතරමට සොඳුරු වූ බව නොරහසකි. අංගුලිමාල චිත්‍රපටයට ඔහු සුරතෙන් පද බැඳුණු ඒ ගේය පද අතර මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

බුද්ධං සරණං ගච්ඡාමී

ධම්මං සරණං ගච්ඡාමී

සංඝං සරණං ගච්ඡාමී

 

ඔබෙ රාගී මන කැලැඹේදෝ

ක්ලේෂය ඕගය නැහැවේදෝ

ඔබෙ රාගී මන කැලැඹේදෝ

පිවිතුරු හදවත පෑරේදෝ

 

එම විට පවසනු මුවින් ඔබේ

බුද්ධං සරණං ගච්චාමී

ධම්මං සරණං ගච්ඡාමී

සංඝං සරණං ගච්ඡාමී

 

මෛත්‍රී කරුණා දූෂිත වී

ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී

හිංසා පීඩා දේවිදෝ

මිනිසා තිරිසන් වේවිදෝ

 

ඝෝර විසැති නයි පොළඟුන් වන්

මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්

එම විට පවසනු මුවින් ඔබේ

බුද්ධං සරණං ගච්ඡාමී

දුක්බරිනී මිරිකී යාදෝ

 

සත්‍යය ලෝකෙ වැනසීයාදෝ

නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ

පාපෙන් බොරුවෙන් කෙලෙසාදෝ

අගතිය යුක්තී මාරුතයේ

ප්‍රාණේ ඔබේ දෙදරා යාදෝ

එම විට පවසනු මුවින් ඔබේ

 

බුද්ධං සරණං ගච්ඡාමී

කාට කියමි මගේ ශෝක අඳෙීනා - ලෝකේ තනි වුණ

මේ ලොවේ මිනිසා හදේ හී - නිර්දය සන්දා

 

නිර්දයභාවය ලෝ රජ වී

දයා ගුණේ වී අන්තර්දාන්

මෝහෙන් මත්වීලා මිනිසා

ආගම හා ධර්මේ කෙලෙසා

සත්‍ය බලේ බිඳ වලලා දෝ

ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ

 

එම විට පවසනු මුවින් ඔබේ

බුද්ධං සරණං ගච්ඡාමී

 

ප්‍රේමය ලෝකේ යාද නැසී...//

වෛර ගිනී ඇවිලේ ද දැඩී

මාතා ස්නේහේ පා එද්දී

තම පුතු අසිපත පාවිදෝ

ධරණී තල කම්පා වේදෝ

ගඟනෝදර ගුගුරා යාදෝ

 

එම විට පවසනු මුවින් ඔබේ

බුද්ධං සරණං ගච්ඡාමී

 

ලෝක පියා සින්දේ - ලොව ජනගේ ව්‍යාකූල සිත්හී අන්ධකාරේ

විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ ඒකාලෝක විය ලෝකේ

 

අමා ශාන්තියේ සෙවණැල්ලෙන්

ජන මන නැහැ වූ පේ‍්‍රම ජලේ

මර සටනින් අපරාජිත වූ

සුරනර පුද ලැබ පූජිතයේ

ලෝක ශිවංකර මාහිමිගේ

 

ධර්මේ දස දෙස පැතිරේවා

දන හැම තුඩ තුඩ රැව්දේවා

බුද්ධං සරණං ගච්ඡාමී

 

ගේයපද - කරුණාරත්න අබේසේකර

ගායනය - මොහිදින් බෙග්, ලතා ඇතුළු පිරිස

 

 

සිතෙහි අපූරු ශාන්තියක්,පැහැදීමක්,පහන් හැඟුමක් ඇති කරන මේ ගීතය අසන සෑම මොහොතකමත්,ඇසෙන සෑම මොහොතකමත් මට සිහිපත් වන්නේ මා මිතුරාමය. සිත පහන් හැඟුමක් අරක් ගැනීමට තරම් ඒ පද ප්‍රබලය. කෙසේ නමුදු ඒ ගීතය ඔස්සේ ඔහු හා මා අතර වූ මිතුරුදම මෙන්ම එකල සිදුවූ විවිධ සිදුවීම් එකින් එක ගෙනහැර පාන්නට ද මෙවේලෙහි සිත පෙලඹෙයි.

එකල ‘විමලදාස පෙරේරා ඇන්ඩ් කම්පැනි’ නම් වූ මගේ වෙළෙඳ දැන්වීම් ආයතනය තිබුණේ මරදානේ ආනන්ද විද්‍යාලය අසලය. කලාකරුවන් හමුවුණු ස්ථානවලින් එකක් වූ එහි කලක් විජේකුමාරතුංගේ නවතැන්පළ වී තිබුණි. කරුණාරත්න අබේසේකර ද එහි නිතර ආ ගිය සාමාජිකයෙක් විය. පැමිණි සෑම දිනෙකම එහිදි ඔහු අනෙක් අයට වඩා වෙනස් වූ කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළ බව මගේ මතකයේ ලියැවී ඇත. ඒ ඉහළ මාලයෙහි තිබුණු මගේ කාර්යාලයට නොපැමිණෙන ඔහු, ඔහු සිටින පහළ මාලයට මා ගෙන්වා ගැනීමය. එලෙස කිරීමට හේතුවූයේ ඔහු කෙරෙහි වූ එක්තරා පුරුදු කිහිපයක් නිසාය. රිය පැදවීමට පමණක් නොව ඉහළ මාලයකට නැඟීමට ද ඔහු දැක්වුයේ දැඩි බියකි. ඒ නිසාම මා හමුවන්නට පැමිණි සෑම දිනකම ඔහු මගේ කාර්යාලය ඇතුළට නොපැමිණියේය.

මගේ බිරියත්, කරුගේ බිරිය ඉරාණිත් අතර වූයේ අපූරු මිතුදමකි. අප දෙදෙනා මෙන් ඔවුන් දෙදෙනා ඒ මිතුදම වගා දිගා කරගෙන සිටියේ මනා අයුරෙනි. අපේ ලොකු පුතු ඉපදුණු වේලෙහි ඔහුට ‘චමින්ද‘ යන නම තැබුයේ ද ඔහුය. එපමණක් නොව ඔහුට අකුරු කියැවූයේද ඔහුමය.

රුක්මණීදේවි ගයන මේ ගීතය ද මගේ සිතෙහි පහන් සිතුවිලිවලට පිවිසීමේ තෝතැන්කක්ම වෙයි.

නමෝ මරියනි . . . නමෝ මරියනි

නමෝ මරියනි ප්‍රසාද පූර්ණ වන්තිනී

දේව පුත්‍රයා ස්ප්‍රිතු සාන්තු වරමිනා

පිළිසිදේය දෙව් බලෙන් ශ්‍රී ඔබේ කුසේ

 

නමෝ මරියනි

ප්‍රීති පෑ ශ්‍රියා සාමදානයේ පියා

යායේ දිලේ සිරින් ශ්‍රි ඔබේ කුසේ

ගේයපද – කාලියදාස කුරුකුලසූරිය

 

සංගීතය - අර්වින් ෆොන්සේකා

ගායනය – රුක්මණි දේවි

මේ ගීතය පළමුවරට ගැයුවේ රුක්මණී දේවිය. (ඊට පසුව ලතා වල්පොලගේ ස්වරයෙන් ද මේ ගීතය ගයා ඇත.) එහෙත් ‘නමෝ මරියනී‘ ගීතය ගයනු ඇසූ රුක්මණී දේවිගේ ස්වරයට මම ඉතා ආශා කළෙමි. ඒ ගීතය ඈ ගැයූ ස්වරය මා සිත හැඟුම්බර කළේය. බෞද්ධාගමිකයෙක් වුවද ආගම් භේදයකින් තොරව රස විඳීය හැකි මේ ගීතයට රුක්මණී දේවියගේ ස්වරය මනාව ගැළපෙන්නේය. එමෙන්ම ඈ හා බැඳුණු අතීත මතක බොහොමයක් මේ ගීතය අසන විට මට සිහිපත් වෙයි.

කලා ලොවේ බොහෝදෙනා රුක්මණී දේවියට ආමන්ත්‍රණය කළේ ‘ඩේසි අක්කා‘ යන ආදරණීය නාමයෙනි. ඇයත්,මමත් එකල ගුවන් විදුලියෙහි ප්‍රචාරය වූ ‘ගීතාංජලී‘ වැඩසටහන ඔස්සේ මිතුරන් බවට පත්වීමු. ‘ගීතාංජලී‘ වැඩසහනට අසන්නන් ඉදිරිපත් කළ විවිධ ගැටලුවලට ඩේසි අක්කා පිළිතුරු සැපයූවාය. ඒ සඳහා තැපැල්පත් තෝරනු ලැබුවේත්, තෝරාගත් තැපැල්පත්වලට පිළිතුරැ ඈ ලියා ගත්තේත් මගේ ආයතතයේදීය. මේ නිසා අප දෙදෙනාගේ හිතවත්කම වර්ධනය වූයේ අප දෙදෙනාටත් නොදැනීම ය.

‘ගීතාංජලී‘ වැඩසටහන තෝරාගත් නගරවලට රැගෙන යන්නට ද අප අමතක නොකළේය. විචිත වූ අංගවලින් සමන්විත වූ මේ වැඩසටහනට අනිවාර්යයෙන්ම ඩේසි අක්කා ද සහාභාගි වූවාය. දුර පළාත්වල යන අප ඒ සඳහා භාවිත කළේ බස්රථයකි. ඩේසි අක්කා පැමිණීයේ එඩී අයියාත් සමඟ ඔවුන්ගේම මෝටර් රථයේය. එවැනි ගමන්වලදී නිතරම මා යෑමට පුරුදුව සිටියේ බස්රථයේය. ඒ බස්රථය ප්‍රෙඩී සිල්වා වැනි අය සිටීම නිසා එකම රසගුලාවක් බවට පත්වන නිසාය. එසේ වරක් නුවරඑළිය නගරයේ පැවැත් වූ වැඩසටහනකට අපි සහභාගි වීමු. එදින මා ඩේසි අක්කාත්, එඩී අයියාත් සමඟ ඔවුන්ගේ රථයෙහි ගමන් කළේ සුපුරුදු දින චර්යාව කඩ කරමිනි. ඒ ගමනේදී මට අපූරු අවස්ථාවක් උදාවූයේ අහම්බයෙනි. ඒ ඩේසි අක්කාගේ මගේ සිත්ගත් ගීතය අසන්නටය.

“ඩේසි අක්කේ ‘නමෝ මරියනී‘ අහන්න ආසයි“

මා කියූ පරක්කුවෙන් ඇය ගීතය මිහිරි ලෙස ගැයුවාය. අපගේ මිතුදම කෙතරම් දැඩි වී ද ඇයට මා ලියූ ගීතයක් ගයන්නට දොළක් උපන්නේය.

“විමලේ මට ඔයා ලිව්ව ගීතයක් කියන්න ආසායි.“

වරක් නොව කිහිපවරක්ම ඈය මා සමඟ පැවසූවාය. ඇගේ ඉල්ලීම ඉටු කරමින් මා ඇයට ගීතයක් ලියුවේ සතුටු පිරිණු හදවතෙනි. ඒ ඈ හා සී.ටී. ප්‍රනාන්දු ගයන “පුන්සඳ හිනැහෙන්නේ - වනමල පිබිදෙන්නේ“ ගීතයයි.

ඒ ගීතය අසන්නන් අතර ජනප්‍රිය වූයේ මා නොසිතූ විලාසයෙනි. හාන්සි පුටුවෙහි ගිලී සිටින බොහෝ අවස්ථාවල මේ අතීතය සිහිපත් කරමින් හිඳීන මගේ සිතට වරෙක දී දැනෙන ප්‍රීතියත්, තවත් වරෙක දී දැනෙන ශෝකයත් කිව නොහැකි තරමිය.