|
|
ලියුකේමියා රෝගය ගැන දැනගන්න පිළිකා රෝහලටත් ගියා
‘නෙතු පියෙන තුරා’ ටෙලි වෘතාන්තයේ හමුවුණු
සඳරු රදළියගොඩ ඇබැද්දිවලට වඩා තියෙන්නේ මගෙන් වුණු කරදර
ඔබ රංගනයට අත්පොත් තබන්නේ? සුධර්මන් රදලියගොඩ කියන්නේ මගේ තාත්තා. ඔහුයි රංගනය කියන අංශයට මා යොමු කළේ. ඒ ‘පබා’ ටෙලි නාට්‍යය ඔස්සේ. පබා පදිංචියට යන අලුත් නිවස අසල පාරේ සෙල්ලම් කරන ළමයෙක් විදියටයි මා රඟපෑවේ. ඒ රංගනය සඳහා ලැබුණු ප්‍රතිචාර මා දිරිමත් කළා. ඊළඟ නිර්මාණයට මා තෝරා ගන්නේ ඒ රංගනය ඔස්සේ. ඒ කාර්යයට මට සතුටක් දැනෙන්නේ ඊට තෝරා ගන්නේ තාත්තා කියලා නොවන නිසා. නෙතු පියෙනතුරා ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍ය හත අටකම වගේ උප ප්‍රධාන චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා.
‘නෙතු පියෙනතුරා’ ටෙලි නාට්‍යයේ රෝගියාගේ චරිතය ඔබට අභියෝගයක් වුණාද? රංගනයට ආධුනිකයෙක් විදියට ඒ ලියුකේමියා රෝගියාගේ චරිතය රඟපාන්න මට ගොඩක් මහන්සි වෙන්න සිදු වුණා. ඒ ගැන අධ්‍යක්ෂ මිෂෙල් ෆොන්සේකා සෑම දෙයක්ම මට කියලා දුන්නා. සේමිණී නැන්දාත්, මාලිනී වීරමුනි නැන්දාත් රංගනයේදී වෙනස් විය යුතු තැන් පිළිබඳ මට උපදෙස් දුන්නේ බොහොම ආදරයෙන්. ඒ කාරණාවලට අමතරව ලියුකේමියා රෝගියෙකුගේ හැසිරීම හා මනෝභාව ආදී අනෙකුත් සියල්ල අධ්‍යයනය කිරීමට පිළිකා රෝහලේ ටික කාලයක් ගත කළා. ඒක මගේ රංගනයට අපූරු පෙරහුරුවක්. ඉන් පස්සේ ‘සඳා’ ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතයටයි මා පණ පෙව්වේ.
මේ දවස්වල සඳරු මොනවද කරන්නේ? ජනක චමින්ද කියන අධ්‍යක්ෂවරයාගේ ‘නෙතු අද්දර’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. එහි මා රඟපාන්නේ සංගීත කණ්ඩායමක බේස් ගිටාර් ශිල්පියකු ගේ චරිතයයි. ප්‍රධාන චරිතය රඟපාන ධනංජය සිරිවර්ධනගේ හොඳම යහළුවා විදියටයි මා රංගනයෙන් දායක වෙන්නේ.
ගයන්න, වයන්න ඔබ දක්ෂයෙක්ද? සිංදු කියන්න නම් පුළුවන් වග දැනෙනවා. ඒත් අනික් අයට අහන් ඉන්න පුළුවන් ද කියලා දන්නේ නැහැ. වයන්නත් මට පුළුවන්.
ඒ සමහර ටෙලි නාට්‍යවල වගේ බොරුවටද? නැහැ. ඇත්තටම මට බේස් ගිටාර් එක වාදනය කරන්න පුළුවන්. කාලයක් පටන් මා එය පුරුදු පුහුණු වුණු කෙනෙක්.
රඟපෑම පහසුද? සමහරු හිතනවා කැමරාව ඉදිරිපසට ඇවිත් රඟපාන එක ලේසියි කියලා. ඒත් ඒක එහෙම නැහැ. චරිතයේ ජීවත් වෙමින්, අලුත් දේ එකතු කරමින් එහිම අපි ජීවත් විය යුතුයි. මේ සියල්ල සමබර කර ගනිමින් තමයි රංගනයෙහි නිරත විය යුතු වන්නේ.
රඟපෑම හැදෑරිය යුතු දෙයක් ද? මේ නිසාමයි මම අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ වැඩමුළුවට සහභාගි වුණේ. යමක් කරනවා නම් නිවැරැදිව කළ යුතුය කියන මතයෙයි මා සිටින්නේ. මේ නිසා ඒ වැඩමුළුව මඟින් මා බොහෝ දේ ඉගෙන ගත්තා. එහි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වී සිටින නිසා වේදිකා රංගනය පිළිබඳත් අත්දැකීම් රාශියක් ලබා ගන්නට මට හැකි වුුණා. දැන් රංගනය හරියට මගේ වෘත්තිය වී අවසන්.
මීට පෙර ඔබ කවුරු වෙන්නද සිතාගෙන සිටියේ? ඇත්තම කිව්වොත් මුලින්ම මම කැමැති වෙලා හිටියේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් වෙන්නයි. ගෙදරින් වුණත් ඒකට කිසිම අවහිරයක් තිබුණේ නැහැ. ඒත් තාත්තා පෙන්නුව මේ මාර්ගයට මා ඉබේම වගේ යොමු වුණා. ඒත් රංගනයත් සමඟම නීතිඥවරයෙක් වීමටත් මා කැමැතියි. ඒ සඳහා සැප්තැම්බර් මාසය වන විට නීති විද්‍යාලයට ඇතුළත්වීමටයි මා බලාගෙන සිටින්නේ.
නීතිඥවරයෙක් වුණාට පස්සේ රංගනය අමතක කරනවා? රංගනය වගේම නීතිඥ වෘත්තියත් දෙකම කරගෙන යන්න මා උත්සාහ කරනවා. මොකකද නීතිඥ වෘත්තීය තරමටම මා රංගනයටත් ආදරය කරන නිසා.
රංගනය අමතක කරන්න නොහැකි තාත්තා නිසාද? මේ පාරේ යන්න මඟ පෙන්නුවේ තාත්තා. එහෙමයි කියලා මා රංගනයෙහි නිරත වෙන්නේ ඔහු නිසා නොවෙයි. මා කැමැති නිසා. තාත්තා මාර්ගය පෙන්නුවා. ඒ මාර්ගයේ ගිහින් සාර්ථක ඵල නෙළා ගත යුත්තේ මා විසින්.
රටක්ම දන්න තාත්තා නිසාද මේ හැම දෙයක්ම ඔබට ලැබෙන්නේ? තාත්තා නිසා ලැබුණු බොහෝ දේ තිබෙන බව ඇත්තයි. එත් මා මටම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. මේ අවස්ථාවේදී අපේ සීයා කිව්ව කියමනක් මගේ මතකයට නැඟෙනවා. ඔහු තමයි ඒ කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය මහ බැංකු අධිපති. ඔහු තාත්තට කිව්වේ ඔයා නිතරම කටයුතු කරන්න ඕනෑ සිරිවර්ධන රදලියගොඩගේ පුතා සුධර්මන් රදලියගොඩ කියලා අහගන්න නොවෙයි, සුධර්මන් රදලියගොඩ සිරිවර්ධන රදලියගොඩගේ පුතා නේද කියලා අහගන්නයි. තාත්තා ඒක කළා. ඒ උපදේශයම පිළිපදින්න මමත් සූදානම්. ඒ නිසා මමත් කවද හරි උත්සාහ කරන්නේ සඳරු රදලියගොඩ කියන්නේ සුධර්මන් රදලියගොඩගේ පුතා කියලා අහන තැනට කටයුතු කරන්නයි. ඒක මට පැවරුණු අභියෝගයක්.
කොළඹ ආනන්දය කියන්නේ ලංකාවේ කලාවට වගේම අනෙකුත් අංශවලට විශේෂ පුද්ගලයන් බිහි කළ පාසලක්. එහි පසුබිමත් ඔබගේ කලා ගමනට බලපෑම් කළාද? මම වගේම මගේ තාත්තත් ආදි ආනන්දීයෙක්. ඒ වගේම මගේ පාසල් කාලය ඇතුළේ මා වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. එහි කලා අංශයේ සිටිය සාමාජිකයෙක් විදියට බොහොම කැපවීමෙන් වැඩ කටයුතු කළා. ඒ පසුබිමත් යම් තරමකට කලාවෙහි රැඳී සිටින්න උදව් වෙන්න ඇති කියලා හිතෙන්නේ දැන් තමයි. මේ සෑම කටයුත්තකටම වඩා සමාජ සේවයට මා බොහොම මනාපයි. දැනට මා රොටරි ක්ලබ් එකේ ජූනියර් ක්ලබ් එකේ සාමාජිකයෙක්. පාසලේ බොහෝ ළමයින් ඒ ක්ලබ් එකේ සාමාජිකයන්. ඒ ඔස්සේ අපි සියලු දෙනා එකතු වෙලා විවිධ සමාජ සේවා කටයුතු කරනවා. ඒ අතර සෞඛ්‍ය සායන, නිවෙස් නැති අයට නිවෙස් ලබාදීම වගේ වැඩ කටයුතු ප්‍රමුඛයි. එක් වරක් හම්බන්තොට ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශයක දුප්පත් මිනිස්සු පස් දෙනෙකුට ගෙවල් සාදා දුන්නා. ඊළඟ අපේ වෑයම තංගල්ල රෝහලේ පුරප්පාඩුවක්ව තිබෙන ළමා වාට්ටුවක් තැනීමටයි. මේ දවස්වල ඒ කටයුත්ත තිබෙන්නේ තවමත් සාකච්ඡා මට්ටමේ.
රූගත කිරීම්වලදී ඔබට මුහුණපාන්න වුණු ඇබැද්දියක් එහෙම සිහි කළොත්? රූගත කිරීම්වලදී මට වුණු ඇබැද්දිවලට වඩා තිබෙන්නේ ඒ කණ්ඩායමට මම නිසා විඳින්න වුණු කරදරයි. මේ දේ නම් සිද්ධ වුණේ ‘නෙතු පියෙනතුරා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුරයි. එහි සමහරදාට රූගත කිරීම් අවසාන වුණේ රාත්‍රී දොළහ විතර වෙලා. ඊට පසුවදාත් ආයෙත් හතරට විතර අප අවදි විය යුතුයි. ඉස්සෙල්ලාම මේකප් එක දාන්න ගන්නේ මාවයි. ඒ නිසා ඔවුන් මුලින්ම අවදි කරන්නේ මාවයි. එතකොට මම බොහොම වෙලාවට කරන්නේ අවදි වෙන්න තිබෙන කම්මැලිකම නිසා ඇතුළේ ෂවර් එක ඇරලා දාලා ආයෙත් ඇවිත් නිදා ගන්න එකයි. මේ විදියට කීප සැරයක්ම මාව අවදි කළත් සිද්ධ වෙන්නේ ඒ වැඩේමයි. ඒ නිසා මාව අවදි කරන්න අපේ කණ්ඩායමට විඳින්න වුණේ පුදුම කරදරයක්. කොහොම වුණත් මේත් සමඟම තවත් යමක් පැවසිය යුතුයි. මට මේ ක්ෂේත්‍රයට පා තබන්න උදව් කළ මහේෂ් රත්සර මද්දුම ආරච්චිටත්, මා මුලින්ම රඟපෑමට සම්බන්ධ කරගත් ශාන්ත සොයිසා ඇතුළු මාව නිර්මාණවලට සම්බන්ධ කර ගත් සියලු දෙනාටත්, උදව් කළ සියලු දෙනාටත් තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. |



‘නෙතු පියෙන තුරා’ ටෙලි සිත්තමේ ලියුකේමියා රෝගය සමඟ ජීවත් වෙන්න සටන් කරන තරුණයා,
සඳරු රදලියගොඩව බොහෝ ටෙලි නාට්‍ය නරඹන්නන් දන්නේ ඒ විදියට. ඒත් ඒ ටෙලි සිත්තමෙන් මේ
තරුණයා බොහෝ දෙනාගේ සිත ගත්තත් ඔහු රංගනයට පිවිසෙන්නේ බොහෝ කලකට පෙරයි. එතැන් පටන්
ඔහුගේ රංගන ගමනත්, එහි වර්තමානයත්, අනාගත සැලසුම මොන වගේ ද කියලත් සඳරු ‘සරසවිය’ ට
හෙළි කළා.