වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දවස්වල නාට්ටාමි වැඩක්

මේ දවස්වල නාට්ටාමි වැඩක්

සමන් පත්මකුමාර

කලාවට යොමු වුණේ පාසල් වේදිකාවෙන්. මේ ක්ෂේත්‍රයෙන් දුර ගමනක් යන්න හීන මැව්වත්, දුර බැහැර ගමක ඉපදුනු නිසාම එයට බාධාවක් වුණා. මම පළමුව කළේ බස් එකේ කොළඹ එන්න පුරුදු වුණු එකයි.

මේ කතාව පටන්ගන්නේ එතැනින්. කථානායකයා සමන් පත්මකුමාරයි. අංශ තුනක දස්කම් පාන මේ අපූරු තරුණයා Behind The Scene වෙත ඇස ගැටුනේ මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ රංගනයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් දායක වී සිටියදී.

මේ සමන් සහ Behind The Scene හමු වූ මොහොතයි.

ඉතින් සමන් අපි කතාව කියමු?

මම හැදුනෙ වැඩුනෙ කෑගල්ල දිස්ත්‍රික්කයෙ බුලත්කොහුපිටිය, යක්කැල්ල ගමේ. අධ්‍යාපනය ලැබුවේ යක්කැල්ල සීලානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන්. කොළඹ එන්න පුරුදු වී සිටි මම පුවත්පතක පළ වූ දැන්වීමක් අනුව1998 වර්ෂයේදී රත්නා පුෂ්පකුමාරි මහත්මිය සුදර්ශියේ පැවැත්වූ නාට්‍ය හා රංග කලාව කටහඬ වැඩමුළුවට සහභාගි වුණා. ඇය නිර්මාණය කළ ඒකාංගික ටෙලි නාට්‍ය බොහොමයකට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම එඩ්වින් ආරියදාස, සිරිතුංග පෙරේරා වැනි ප්‍රවීණයන්ගේ දැනුම ලබා ගන්නත් අවකාශය ලැබුණා. මේ ක්ෂේත්‍රයට එකපාරට ආව නොවෙයි. අවුරුදු ගානක් තිස්සේ ටිකෙන් ටික දැනුම ලබාගෙන තමයි දැන් ඉන්න තත්ත්වයට ආවේ.

රංගන ශිල්පියෙක් වෙන්නයි මට ඕන වුණේ. වේදිකාව, ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයේ යෙදෙන අතර තමා කලා අධ්‍යක්ෂණය කියන කටයුත්ත කරන්නේ. ලෝක ජල දිනය වෙනුවෙන් පැවැත්වූ 2001 නාට්‍ය තරගයේදී අලුත් දවසක් වේදිකා නාට්‍යයයේ රංගනය සඳහා කුසලතා සම්මානයත්, පසුතල නිර්මාණය සඳහා විශිෂ්ට කුසලතා සම්මානයත් ලැබුණා. 2002 වර්ෂයේ කරීටා ශ්‍රී ලංකා සෙඩෙක් එක්ව පැවැත්වූ නාට්‍ය උළෙලේදී උඩුයටිකුරු වේදිකා නාට්‍යයේ පසුතල නිර්මාණය සඳහාත් 2011 කෙටි නාට්‍ය උළෙලේදී තොන්ඩුවක් සහ මිනිසෙක් නට්‍යයේ රංගනය සඳහා රංගන කුසලතා සම්මානයත් ලැබුණා.

මේ දිනවල මොකද කරන්නේ?

මේ දවස්වල නම් නාට්ටාමි වැඩේ කරන්නේ.

ඒ මොකද ?

මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ නාට්ටාමි කෙනෙකුගෙ චරිතයක් කරන්නේ. ඒකයි මම එහෙම කිව්වේ.

රංගන ශිල්පිකු ලෙස මුදලක් ලැබුණු දවස මතකද?

රත්නා පුෂ්පකුමාරි මහත්මිය නිෂ්පාදනය කළ අලි බබාලාගේ මොන්ටිසෝරිය නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් තමයි මට පළමුව මුදලක් ලැබෙන්නේ. එතුමිය මට ලියුම් කවරයක දමා රුපියල් 300ක් දුන්නා. මේ ලියුම් කවරයෙ සටහනක් තියෙනවා මෙන්න මේ විදිහේ. මේ මුදල දෙන්නේ ඔබගේ හැකියාව මුදලින් මනින්නට නොවෙයි. හැකියාව අගේ කිරීමක් විදිහටයි. ඒ ලියුම් කවරේ තාමත් මගේ ළඟ තියෙනවා.

චිත්‍රපට සඳහා දායක වෙන්න අවස්ථාව උදාවුණේ කොහොමද?

යමලොව වේදිකා නාට්‍යය හරහා 2002 දී සුරංග අල්විස් මහතාව මුණගැහෙනවා . එතුමාගෙ පළමු ච්ඍච් චිත්‍රපටයවන පිස්සු නැත්නම් ෂෝක් බුවා චිත්‍රපටයට රංගනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් සහභාගි වුණා . ඊට පසු එතුමා කළ සෑම චිත්‍රපටයකටම දායක වුණා .එතුමා තමයි රංගනයට අමතරව කලා අධ්‍යක්ෂණය පැත්තට මාව යොමු කළේ.

සමන්ගේ අනාගත බලාපොරොත්තුව?

හොඳ රංඟන ශිල්පියෙක් වෙන්න.

පවුලෙ විස්තර කිව්වොත්?

මම තාම අවිවාහකයි. ඒනිසා මමයි, අම්මයි, තාත්තයි විතරයි.

අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් ඔබට මේ ගමන එන්නට සහාය වූවෝ මතක්කරමු?

රංගනයේ අයනු ආයනු කියාදුන් මගේ ගුරුතුමිය රත්නා පුෂ්පකුමාරි මහත්මියට, නිශාන්ත වීරසිංහ, සුරංග අල්විස්, මොහාන් ආරිය රත්න, සමන්ත මායාදුන්න මහත්වරුන්ට හා මගේ මවු පියන්ට ස්තූති කරන්නට මෙය අවස්ථාව කරගන්නවා.