වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමාවේ මුල්වරට සොහොයුරන් දෙදෙනකුගේ චිත්‍රපටයක් ප්‍රේමය නම්

අපේ සිනමාවේ මුල්වරට සොහොයුරන් දෙදෙනකුගේ චිත්‍රපටයක් ප්‍රේමය නම්

චිත්‍රපට සම අධ්‍යක්ෂණයෙ යෙදෙන එතල් කොහෙන් - ජොඑල් කොහෙන්, ලැරී හා ඇන්ඩෲ වච්වොස්කි, අබ්බාස් - මස්තාන් වැනි සොහොයුරු සිනමාකරුවන් ලොව පුරා කොතැනක සිටිය ද හැට හය වසරක අපේ සිනමාවේ මුල්වරට එබඳු නිර්මාණයක යෙදෙන සොහොයුරන් දෙපොළගේ මුල්ම චිත්‍රපටයේ වැඩ නිම වි තිරගතවීමට සූදානම් වෙයි. ‘ප්‍රේමය නම්’ ලෙස නම තබා ඇති එය කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයකි. මේ දෙපොළ සම්මානනීය ගී පද රචකයකු වන කුලරත්න ආරියවංශයන්ගේ පුත්‍රයන් වේ. වින්දන කලක් සරසවිය පුවත්පතට ලේඛකයකු ලෙස දායක විය. සත්‍ය සිදුවීමක් පදනම් කර ගනිමින් මේ දෙසොහොයුරන්ම තිර කතාව සකස් කළ මෙහි ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, සතිස් විජේමාන්න ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.

මහාචාර්ය සුනිල් ආරියරත්න ගේය පද රචනයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, දුමාල් වර්ණකුලසූරිය ගීත ගායනයෙන් ද දායක වූ ‘ප්‍රේමය නම්’ හි කැමරා අධ්‍යක්ෂණය ජාන් ෂෙන්බර්ගර්ගෙනි.

ප්‍රසන්න විතානගේ මෙහි විධායක නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කළ අතර මනෝ විද්‍යා උපදේශනය වෛද්‍ය කපිල රණසිංහගෙනි.

ප්‍රේමය නම් කල්පන ආරියවංශ ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ සහ සුජීව විජේසිංහගේ නිෂ්පාදනයකි.