වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුම වාසනාවන්ත කෙල්ලෙක්

පුදුම වාසනාවන්ත කෙල්ලෙක්

රවී එවපු හැම ලිපියකම තිබුණෙ එයා ඉන්නෙ හරිම දුකෙන් පාලුවෙන් කියලා. එහෙම ලියලා එව්වත් රවී ලංකාවට ආවේ එංගලන්තේ මාස හයක් පමණ ගත කරලා.

දැන් තමයි තේරෙන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරණතුංග මේ දෙන්නගේ ලස්සනම මල්බර අවධිය. ජෝ අයියා වැඩිමල් වුණත් මේ සමාගමේම හිටියා. මේ තුන්දෙනාම ලන්ඩන් නුවර ගත කරපු ඒ නිදහස් ජීවිතය මොන තරම් සතුටුදායක කාල සීමාවක් වෙන්න ඇද්ද කියලා. ඒ මාස හය ඇතුළත රවී මට එවපු ලිපිත් මම රවීට යවපු ලිපිත් මං ගාව තාමත් තියෙනවා. මේ ලිපි පෙළ ලියන ගමන් මම ඒවා එකක් දෙකක් කියවලා බැලුවා. මේවා ලියලා තියෙන්නේ අපිම ද කියලා ලැජ්ජා හිතෙනවා. හරිම බොළඳයි. ඒ නිසාම මම තීරණය කළා කවුරුවත් මේවා දකින්න කලින් ළඟදීම ඒවා ගිනි දෙවියන්ට පූජා කරන්න ඕනෑ කියලා.

විජය කුමාරතුංගයි, රවීන්ද්‍ර රන්දණියයි එකම කාමරයක අවුරුද්දෙන් භාගයක් පමණ ලන්ඩන් නුවර ගත කරපු ආදරණීය මතක සටහන්, සුන්දර අත්දැකීම් විශාල ප්‍රමාණයක් එකතු කරපු ඉතාම ලස්සන පින්තූර එකතුවක් මම අල්මාරියේ සුරැකිව තැන්පත් කරලා තිබුණත් විජය කුමාරණතුංගගේ හදිසි වියෝව වගේම ඒ සියලු දේම අනිත්‍යයයි කියලා වටහලා දෙන්න වගේ ඒ ඇල්බමය වේයන් විසින් විනාශ කර තිබීම හරිම කණගාටුවක්. ඒත් රවී ඇඳ උඩ නිදාගෙන ඉන්න කොට විජේ විසින් ගන්නා ලද එකම එක පින්තූරයක් පමණක් තාම ඉතුරු වෙලා තියෙනවා.

විජේයි, රවීයි ලංකාවට එන්න කලින් ජෝ අබේවික්‍රම මහත්තයා ලංකාවට පැමිණියා. රවී ජෝ මහත්තයාගේ අතේ මට තෑගි පාර්සලයක් එවලා තිබුණා. මට විතරක් නෙමෙයි, දිලිනිට දුක හිතෙයි කියලා එයාටත් පොඩි දෙයක් එවන්න අමතක කරලා තිබුණේ නැහැ. ජෝ අයියා පාර්සලේ අරගෙන ආවේ සුමිත්ත අමරසිංහ මහත්තයාගේ ගෙදරට. ජෝ අයියා තෑගි පාර්සලේ මගේ අතට දීලා කිව්වා,

‘උඹ නම් පුදුම වාසනාවන්ත කෙල්ලෙක් බං . . .’ කියලා.

මම ඇහුවා ඇයි කියලා.

‘ඇයි කියන්නේ උඹ බොනියව එහෙම් පිටින්ම වෙනස් කරලා. දැන් ඉන්නේ ඉස්සර හිටිය බොනිය නෙමෙයි’

‘ඇයි ඉස්සර හිටියෙ කොහොමද?’

‘ඉස්සර හිටියේ බොනියනේ. මම දන්නේ ඒකවනේ . . . උඹ දන්නේ රවියවනේ . . . ඒ ඇති . . . මොනවා උනත් උඹ හිතාගනින් උඹ බොහොම පින් කරලා තියෙන වාසනාවන්ත එකියක්’ කියලා.

මට ඒ සිදුවීම හොඳින්ම මතකයි. ඉන් පස්සේ මම රවීට ලියපු ලියුමක ඒ සිදුවීම ගැන කියලා ජෝ අයියා කියපු දේට මට හරිම සන්තෝසයි කියලත් ලියලා ඇරියා. රවීව දකින්නවත් නැතිව ඒ මාස හයක කාලය ගෙවලා දැම්මේ ඉතාම දුකෙන්, කණගාටුවෙන්. සුමිත්‍රා අක්කලාගේ ගෙදරින් අපේ ගෙදරටත්, අපේ ගෙදරින් සුමිත්‍රා අක්කලාගේ ගෙදරටත් වරින් වර මාරු වෙවී කාලය දිය කරලා ඇරියා. ඒ මාස හය ඇතුළත මට චිත්‍රපට කීපයකටම රඟපාන්න ආරාධනා ලැබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කළේ පෙම්වතාගේ වචනයට පිටින් නොයන සුවච කීකරු පෙම්වතියගේ චරිතය සැබෑ ජීවිතයේ රඟ දක්වමින්.

පසුගිය කොටස්

* රවීගෙන් ඇඳුමක් විජයගෙන් අත්සනක්
 

* බොඳ මීදුම් කඳු රැල්ලේ

* පවස නිවන දිය පොදක් නොවී ඔබ

* අත්තිකාරම්වලින් අල්මාරියක්