|
||||||||||||
පුංචි පැලේ ගස වෙලා
කාලයාගේ ඇවෑමෙන් ගසක් බවට පත් වූ පැළය අමතක වී යාම ස්වාභාවිකයි. බොලිවුඩයේ මහා වෘක්ෂ බවට පත් වී තිබෙන්නේ මේ පැළ කියා ඔබට මොහොතකටවත් සිතුණාද? ‘යාදොන් කි භාරත්’ සිනමාපටයේ පුංචි අමීර් ඛාන්, ‘ජෝ ජීතා වෝහි සිකන්දර්’ හි කුඩා ඉම්රාන් ඛාන්, උර්මිලා මතොන්දකාර් දැරියගේ ‘මාසූම්’, ‘ජූනියර්’, කුනාල් කෙමූ සහ අෆ්ටාබ් ශිව්දසනි ළමා නළුවන් ‘හම් හෛ රාහි ප්යාර් කී, මිස්ටර් ඉන්ඩියා’ සිනමාපටවලින් දුටු බව ඔබට සිහිනෙන් වාගේ හෝ මතකද? එපමණක් නොවෙයි බොලිවුඩයේ හපන්කම් පාන තවත් බොහෝ තරු හා තාරකාවන් තිරයට පායා ඇත්තේ බෙහෙවින් ලපටි වයසේදීයි. ශ්‍රී දේවි පළමු ප්‍රධාන චරිතය කමල් හසන් සමඟ මුන්දා මුදිච්චි (1975) හි රඟද්දී දහතුන් හැවිරිදි දැරියකි. එහෙත් ඇය තිරයේ පෑයුවේ සිවු හැවිරිදි දැරියක ලෙස සිටියදීය. දමිළ පමණක් නොව තෙලිඟු සහ මලයාලම් සිනමාපටවල ද ඇය ළමා නිළියක ලෙස හද දිනා ගත්තාය. හොඳම ළමා රංගනයට හිමි සම්මානය, කේරල සම්මාන උළෙලකදී දිනා ගැනීමම ඇය හැදෙන ගහක් බවට ලැබුණු ඉඟියකි. ශ්‍රී දේවි බොලිවුඩයට එක් වූයේ ‘ජූලී’ (1975) සිනමාපටයේ බාල සොයුරියට රැඟීමෙනි. ඒ වන විට ඇය දොළොස් හැවිරිදියි. රේඛා ‘බේබි භානුරේඛා’ ලෙස තිරයට පිවිසුණේ ‘පන්ගුලා රත්නම්’ (1966) නම් තෙලිඟු සිනමාපටයෙනි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු දොළහකි. රේඛා දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩයට පිවිසුණේ ‘සාවන් භාදන්’ සිනමාපටයෙනි. රිෂි කපූර්ගේ බිරිය, රන්බීර් කපූර්ගේ මව, නීතු හැටේ දශකයේ අග භාගයේ ළමා නිළියකි. දෝ කාලියන්, වාරිස්, දස් ලක්, පවිත්‍රා පාපි වැනි සිනමාපටවල රැඟූ දඟකාරිය ‘යාදොන් කි බාරත්’ (1973) සිනමාපටයෙන් හද දිනූ යොවුන් තාරකාවක් වූවාය. රිතික් රෝෂන්ගේ සීයා ජේ. ඕම් ප්‍රකාශ් ඔහුට මුල්ම රංගන වරම ලබා දුන්නේ වයස අවුරුදු හයේදීය. ඉන් පසු ඔහු සිනමාපට ගණනක සුළු සුළු චරිත නිරූපණය කළේය. ඔහුගේ කැපී පෙනෙන රංගනයක් ඇතුළත් වුණේ ‘භගවන් දදා’ (1986) සිනමාපටයේයි. මේ ඔහු පියා රාකේශ් රෝෂන්, රජිනිකාන්ත් සහ ශ්‍රී දේවි සමග රැඟූ අවස්ථාවකි. ඒ වන විට රිතික් දොළොස් හැවිරිදි කොලු ගැටයෙකි. පුංචි රාජ් කපූර්ගේ චරිතය සැම විටම තිරයේ නියෝජනය කළේ ශෂි කපූර්ය. සැබෑවටම ඔහු රාජ්ගේ සොයුරකු වූ නිසා එය අසීරු නොවීය. වයස අවුරුදු දහයේදී ඔහු මුලින්ම රඟපෑවේය. ‘ආග්’ (1948), ‘ආවාරා’ (1951) වැනි සිනමාපටවලත් ‘සන්ගම්’ සහ ‘දානා පානි’ බඳු සිනමාවලත් ඔහු ළමා චරිත රඟපෑවේය. පද්මිණී කොල්හාපූරේ, ‘සත්‍යම් ශිවම් සුන්දර්’ (1978) සිනමාපටයේ සීනත් ආමන්ගේ ළමා විය රඟපාන විට දහතුන් හැවිරිදිය. ඉන් පසු සාජන් බිනා සුහාගන්, ඒක් ඛිලාඩි බාවන් බඳු සිනමාපටවල දක්නට ලැබුණු දැරිය පසුව රාජේශ් ඛන්න වැනි සුපිරි තරු සමඟ රඟන තාරකාවක වූවාය. |
||||||||||||