වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩ්‍රීම් ස්ටාර්ස්ලාගෙන් ජෝති ගැන අහමු

ඩ්‍රීම් ස්ටාර්ස්ලාගෙන් ජෝති ගැන අහමු

සිරස සුපර් ස්ටාර්ස්ලා අවසාන වටයට තරග වදින්නේ ජූලි 4 වැනිදාය. ජූලි 05 වැනිදා දෙරණ ඩ්‍රීම් ස්ටාර්ස් අවසාන වටය 5 වැනිදාය. සිරස සුපිරි තරු වෙතට යෙමු කළ ප්‍රශ්නාවලියම අපි දෙරණ සිහින තරු වෙත ද යොමු කළා.

ඔබ තිදෙනාගේ නම්?

විශ්මිත සචින්තන

ලහිරු ප්‍රභාත්

එම්. ජී. ධනුෂ්ක

එතකොට ගම් පළාත එහෙම?

විශ්මිත – වැල්ලවත්ත

ලහිරු - දෙහිඕවිට

ධනුෂ්ක – ඇඹිලිපිටිය

ඉගෙන ගත්තේ?

විශ්මිත - කොළඹ ඉසිපතන විදුහල

ලහිරු - දෙහිඕවිට ජාතික පාසල

ධනුෂ්ක - මොරකැටිය මහා විද්‍යාලය

ඇයි ඩ්‍රීම්ස්ටාර් සඳහා තරග වදින්න හිතුණේ?

විශ්මිත - මේ මගේ පළමු රියලිටි අත්දැකීම. දෙරණ ගැන විශ්වාසයක් තිබුණ නිසා යොමු කළා.

ලහිරු - මම දෙවතාවක් අයැදුම් කළා. මගේ හැකියාවන් ඉදිරිපත් කරන්න මේ තරගය හොඳයි කියලා හිතුණා.

ධනුෂ්ක – මං හතර වතාවක් ඩ්‍රීම්ස්ටාර් දැම්මා. මේ හරහාමයි මට ඉදිරිය දකින්න හිතුණේ.

මෙතරම් දුර ඒවි කියලා හිතුවාද?

විශ්මිත - කොහෙත්ම නැහැ.

ලහිරු - ඊළඟට වටයට යන්න පමණයි උත්සාහ කළේ.

ධනුෂ්ක – මං හතර වතාවක් ආව නිසා කොහොම හරි මෙවර ඉදිරියට යන්නයි මං තරග වැදුණේ. ඒ බලාපොරොත්තුව ඉටු වුණා.

ඔබේ ගායන ශෛලිය?

විශ්මිත – ශාස්ත්‍රීය ගීත මට හොඳයි.

ලහිරු - සරල ගීත රහ කරලා මට කියන්න පුළුවන්.

ධනුෂ්ක – ඕනෑම ගීයක් මං කියනවා.

වඩාත් කැමැතිම ගීය?

විශ්මිත – අම්බරුවෝ.

ලහිරු - හැම ගීතයකටම ප්‍රියයි.

ධනුෂ්ක – එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීතවලට ආසයි.

වෙනත් රියැලිටි වැඩ සටහනකට අයැදුම් නොකර දෙරණ ඩ්‍රීම්ස්ටාර්ම තෝරා ගත්තේ?

විශ්මිත - මේ තරගයට සහභාගි වූ අය මෙහි හොඳමයි කිව්වේ. ඒ හින්දා ආස හිතුණා.

ලහිරු - මේක ඉතාම සාධාරණ තරගයක්.

ධනුෂ්ක - දෙරණට තියෙන ළෙංගතුකමට මං මෙයට යොමු වුණා.

පැරැණි ගීත රියැලිටි වැඩ සටහන් මඟින් යළි ගැයීම ගැන ඔබේ අදහස?

විශ්මිත – නවකයින් ඉදිරියට එන්න පැරැණි ගීත ගැයුව යුතුයි.

ලහිරු - නව පරපුරේ අය පැරැණි ගීත ගැන දන්නේ නැහැ. ඔවුන් ඒ පිළිබඳ දැනුවත් වෙනවා.

ධනුෂ්ක - මෙවන් තරග නිසයි නැති වෙලා ගිය පැරැණි ගීත යළි උපදින්නේ.

සිංදු කියන්නේ නැතුව මයික් එකක් අරන් බොරුවට කට සෙලවීම හෙවත් මයිම් කිරීම ගැන මොනවද කියන්න තියෙන්නේ?

විශ්මිත - හොඳ නැහැ.

ලහිරු - අන්තිම නරකයි.

ධනුෂ්ක – විශ්මිතගේ සහ ලහිරුගේ පිළිතුරුවලට මා එකඟයි.

එච්. ආර්. ජෝතිපාලයන් ගැන කියන්න පුළුවන්ද?

විශ්මිත – එතෙක් පැවති ගීත සම්ප්‍රදාය වෙනස් කළ අයෙක්.

ලහිරු - හදවතට ගී ගැයූ අසහාය ගායකයෙක්.

ධනුෂ්ක – ගීත මඟින් හදවතට කතා කළ තරුවක්.

ජෝතිගේ කැමැතිම ගීතය?

විශ්මිත - මේ නොනිමෙන දිවි ගමනේ.

ලහිරු - ඔබ හින්දයි මා ගැයුවේ.

ධනුෂ්ක – උපදින්න ආයේ.

ජෝතිගේ ගීත අදටත් ජනප්‍රියයි. ඔබ දකින විදිහට එයට හේතුව මොකක්ද?

විශ්මිත - සෑම තරාතිරමකම අයකුට ඔහු ගීත ගැයුව නිසා.

ලහිරු - කට හඬේ ඇති ප්‍රබලතාවය.

ධනුෂ්ක – මං හිතන්නේ ඔහුගේ ගීත වැඩි ප්‍රමාණයක් හින්දුස්ථානි රාගධාරිවලට අනුව ගැයූ ගීත. ඒ තනු ලස්සනයි.

ජෝති ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ හිටියා නම් ඔබලා ගැන මොනවා කියයිද?

විශ්මිත - හොඳයි කියයි.

ලහිරු - මට ඉදිරියට යන්න සුබ පතයි.

ධනුෂ්ක – එතුමා වගේ කෙනෙක් අපි වගේ පොඩි කෙනෙකුව ඉහළින්ම අගයාවි.

නවක තරු ඇයි තරගයෙනුත් පසු පැරැණි ගීතම ගය ගයා මුදල් හොයන්නේ?

විශ්මිත – පැරැණි ගීතවල ඇති රසය හේතුවෙන් ඉල්ලුම වැඩියි.

ලහිරු - රසිකයින් වැඩි ප්‍රතිශතයක් වසඟ වෙනවා පැරැණි ගීත කිව්වම.

ධනුෂ්ක – තමන්ගේ ජනප්‍රියත්වය රැක ගැනීමට.

මුදල් තිබූ පමණින් ලංකාව ඇතුළේ ගායකයකු වෙන්න පුළුවන්ද?

විශ්මිත – බැහැ.

ලහිරු - අද ලංකාවේ ගායකයෝ තියෙන අය තමයි.

ධනුෂ්ක - සල්ලි තිබුණු පළියට ගායකයකු වුණාට පැවැත්මක් නැහැ.

ගීතයක් ජනප්‍රිය වෙන්න වීඩියෝවක් ඕනෑමද?

විශ්මිත – ඔව්.

ලහිරු - හොඳ ගීතවලට වීඩියෝ ඕනෑ නැහැ.

ධනුෂ්ක – දැන් තියෙන තත්ත්වය අනුව වීඩියෝවක් කරන්නම ඕනෑ.

මේ වන විට විශේෂ කෙනෙකුගේ ආදරයක් ලබමින් ද සිටින්නේ?

විශ්මිත – නැහැ.

ලහිරු - නැහැ.

ධනුෂ්ක – ඔව්.

විශ්මිත, ලහිරු ගැන මොනවද කියන්න තියෙන්නේ?

ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය ගන්න ලහිරු ගොඩක් විලාසිතා කරනවා. ඒත් වැඩක් නැහැ.

ලහිරු, ඔබට ඩ්‍රීම්ස්ටාර් කිරුළ අහිමි වුණොත්?

අයියෝ කමක් නැහැ. ආපු දුර ඇති.

ධනුෂ්ක, ඔබ මෙවර ඩ්‍රීම්ස්ටාර් වුණොත්?

සතුටුයි. තාත්තාගේ බලාපොරොත්තුව ඉටු වුණා කියලා දැනේවි. මොකද තාත්තා තමයි මාව මෙතෙක් දිරිමත් කළේ.

විශ්මිත ඔබ කැමැති කවුරු ඩ්‍රීම් ස්ටාර් වෙනවටද?

එක් කෙනෙක් කියන්න බැහැ. ඒක ජනතාවගේ කැමැත්ත.

විශ්මිතගේ පවුලේ විස්තර?

මල්ලිලා තුන් දෙනයි, අම්මයි, තාත්තයි.

ලහිරුගේ?

අම්මයි තාත්තයි, අක්කයි, අයියයි. තාත්තා ත්‍රීරේද රථ රියදුරෙක්.

එතකොට ධනුෂ්ක?

නංගිලා දෙන්නයි, මමයි, තාත්තයි. තාත්තා කුලී වැඩ කරලයි අපේ පවුල රකින්නේ.

කාටද තුති පුදන්න තියෙන්නේ?

විශ්මිත – පවුලේ අයට, නෑදෑයෝ, ත්‍රිවිධ හමුදාවේ අයට, දෙරණට, පාසලට, ගමේ අයට.

ලහිරු - දෙරණට, පවුලේ අයට සහ දෙහිඕවිට ජනතාවට.

ධනුෂ්ක – පවුලේ අයට, බාප්පට, ඥාතීන්ට ඇඹිලිපිටිය මගේ ගමේ අයට සහ තරාතිරමක් නොබලා උදව් කළ සැමට සහ දෙරණට.