|
||
බැනපු කතාවත් පරිවර්තනය කළා
මම විද්‍යාලංකාර පිරිවෙණෙන් ලැබූ සිංහල අධ්‍යාපනයත් ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ලැබූ ඉංග්‍රීසි අධ්‍යාපනයත් නිසාම නිවේදන ක්ෂෙත්‍රයේ භාෂා පරිවර්තක තනතුරේත් වැඩ කරන්නට පහසුවක් වුණා. ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස මම වැඩ කරන අතරේ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන තනතුරේත් කටයුතු කරන්නත් මට ලැබුණා. ඒ කාලේ කතා පරිවර්තකයෝ පාර්ලිමේන්තුවටම හිටියේ හය දෙනයි. එදා පාර්ලිමේන්තුව තිබුණේ ගොල්ෆේස් එකේ. අද ඒ ගොඩනැගිල්ල තමයි ජනාධිපති ලේකම් කාර්යාලය. ඒ කාලේ පාර්ලිමේන්තුවේ දක්ෂ කථිකයෝ හිටියා. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි වැඩිපුර පාර්ලිමේන්තුවේ කතා පැවැත් වූයේ. ඇන්. ඇම්. පෙරේරා, ජේ. ආර්. ජයවර්ධන, ජී. ජී. පොන්නම්බලම්, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ආදී ප්‍රධාන පෙළේ කථිකයෝ එදා පාර්ලිමේන්තුව කතාවෙන් දෙවනත් කළා. ඔන්න දවසක් මම පාර්ලිමේන්තුවේ කතා පරිවර්තකයන්ගේ වීදුරු කූඩුවේ පරිවර්තන කටයුතුවල නියැලිලා ඉන්නවා. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ වේගවත් කතාවක් කෙරීගෙන යනවා. කතාව පවත්වන්නේ රොබට් ගුණවර්ධන මහත්තයා. කතාවේ වේගය කොච්චරද කියනවා නම් අත පයත් වීසි කරමින් තමයි කතාව. මමත් ඒ කතා පරිවර්තනය කරනවා. ඔන්න එක පාරටම රොබට් ගුණවර්ධනගේ කතාවේ වේගවත්කමට කටේ තිබුණ දත් සැට් එක එළියට විසි වෙලා බිමට වැටුණා. දැන් මොනවා කරන්නද අනිත් මන්ත්‍රීවරු මේකට හිනා වෙනවා. ඒ ගැන තැකීමක් නොකළ රොබට් ගුණවර්ධන මහත්තයා හනික වැටුණ දත් සැට් එක අහුලගෙන ආයෙත් කටේ දාගෙන අර විදියට වේගවත් කතාවක් කරගෙන ගියා. ඒ එක්කම පාර්ලිමේන්තු සභා ගර්භයම සිනා සාගරයක් වුණා. ඔන්න තවත් දවසක් පාර්මේන්තුවේ භාෂා පරිවර්තක කුටියේ මම ඉන්නවා. එවක කැලණියේ මන්ත්‍රී ආර්. එස්. පෙරේරා මහත්තයා වේගවත් කතාවක් කරන්න නැඟී සිටියා. මම තමයි දැන් වීදුරු කුටියේ ඉඳල ඔහුගේ කතාව පරිවර්තනය කරන්නේ. දැන් මන්ත්‍රීතුමා මෙන්න මෙහෙම වේගවත් කතාවක් කළා. ගරු කතානායකතුමනි, අපේ රජයට විරුද්ධව නොයෙක් වැඩ කරන රජයේ සේවකයෝ ඉන්නවා. මේ උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයෙත් ඉන්නවා. ඒ පාර එක පාරට නැඟී හිටියේ එවක හක්මන මන්ත්‍රී රෝයි රාජපක්ෂ මහත්තයා කවුද? කවුද? ඔය ඉන්නව කියන අය කියල ඇහුවා. ඒ පාර ආර්. එස්. පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මම ඉන්න වීදුරු කූඩුවට අත දික් කරලා අන්න අර වීදුරු කූඩුවේ වැඩ කරන ඇල්ෆ්‍රඩ් පෙරේරා කියලා කිව්වා. දැන් මන්ත්‍රීතුමා එහෙම කියන කොට මම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. ඒ පාර රෝයි රාජපක්ෂ මහත්තයා ඇහුවා ඔහු ද මේ රජයට විරුද්ධව වැඩ කරන්නේ කියලා. ඒ පාර ආර්. එස් පෙරේරා මහත්තයා කියනවා මෙයා කොළ පාට කමිසයක් ඇඳගෙන දළුගම පල්ලිය වටේ කම්බි ගැහුවා කියලා. දන් මට විරුද්ධව කියන දේත් මම පරිවර්තනය කරනවා. මේ හැම දෙයක්ම එදා හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වෙලා තියෙනවා. මමත් කැලණියේ පදිංචි කෙනෙක්. ආර්. එස්. පෙරේරාත් කැලණියේ. මගේ පියා සමඟ තිබූ අමනාපයක් මත තමයි ඒ විදියට මට දෝෂාරෝපණය එල්ල කරලා තිබුණේ. පස්සේ දවසක ඒ වෙච්ච වැරැද්දට ඔහු මගෙන් සමාවත් ඉල්ලුවා. ඒ කාලේ ගුණදාස ලියනගේ කළ සඟරාවක මේ සිද්ධිය වාර්තා කරලා තිබුණේ මෙන්න මෙහෙම. තමාට විරුද්ධව පැවැත් වූ කතාවක් තමාම පරිවර්තනය කළ ලෝකයේ ප්‍රථම කතා පරිවර්තක ඇල්ෆ්‍රඩ් පෙරේරා විය හැකියි කියාය. ඔන්න අපේ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයන්ගේ අඩුවක් පුරවන්න තව කීප දෙනෙක් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. ඒ පරීක්ෂණ මණ්ඩලයට සෑම් විජේසිංහ, සී. ඩබ්ිලිව්. පන්නිල යන මහත්වරන් හා මම සහභාගි වී හිටියා. ඒ පරීක්ෂණයට සෝමපාල කියලා කෙනෙක් ඇවිත් හිටියා කතා පරිවර්තක තනතුරට ඉල්ලුම් කරලා. ඒ කාලේ මතයක් තිබුණා සෝමපාල කියන්නේ සාමාන්‍යයෙන් කොණ්ඩෙ බැඳපු අයට කියලා. ඉතිං මම සෑම් මහත්තයටත් පන්නිල මහත්තයටත් හෙමින් කිව්වා සෝමපාලයෙක් ඇවිත් කොණ්ඩයෙක් ද දන්නේ නෑ කියලා. කොහොම හරි මේ කතාව මම කියනවා සෝමපාලට ඇහිලා තියෙනවා. කොහොම හරි ඒ. වී. සෝමපාල එදා ඉන්ටවු එකෙන් සමත් වෙලා අපිත් සමඟ වැඩ කරන්න පාර්ලිමේන්තුවට ආවා. ඒ ඇවිත් ඒ. වී. සෝමපාල මම පාර්ලිමේන්තුවේ වැඩ කරනකම්ම කිව්වේ ඇල්පියෝ එහෙනම් උඹ මට කොණ්ඩය කිව්වා එහෙනම් කියාය.
ඉතිරි කොටස ලබන සතියේ...
|
||