වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නොපළ ලිපියකට මිළක් ගෙවූ කඳපොල කුමාරතුංගයන් ගැන සටහනක්

නොපළ ලිපියකට මිළක් ගෙවූ කඳපොල කුමාරතුංගයන් ගැන සටහනක්

බොහෝ රාජකාරි හා අනෙකුත් වැඩ කටයුතු අතර තම තමන්ගේ පෞද්ගලික යුතුකම් ඉටු නොවීම යන ශෝකජනක හැඟීම ඇති වනුයේ හිතවතුන්ගේ වියෝව සමඟය. සිනමාකරුවකු, ලේඛකයකු, ගීත රචකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු ලෙස කීර්තියට පත්, එමෙන්ම යහපත් මහත්මයකු ද වූ කඳපොල කුමාරතුංගයන්ගේ අභාවය මා තුළ ඇති කළේ එබඳු හැඟීමකි.

මා කඳපොල කුමාරතුංගයන් හඳුනා ගත්තේ ඔහු කම්කරු දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියකුව සිටියදීය. එයට පෙර ඔහු පිළිබඳව දැන සිටියේ දයාබර නිලූ හා වාසිටි කෙල්ල යන චිත්‍රපට නිර්මාණකරුවා හැටියටය. මේ චිත්‍රපට පාසල් යන සමයේ අපගේ නිර්දය විවේචනයට ලක් විය. බදුලු කෝච්චිය, ට්‍රැක්සි ඩ්‍රැයිවර්, සමාවන්න මා රත්තරනේ වැනි චිත්‍රපට රැසක් පසුව ඔහු නිර්මාණය කළේය. ඒ අතරවාරයේම ටෙලි වෘත්තාන්තයට ද පිවිසි කඳපොල කුමාරතුංගයන් හිම රාත්‍රිය, ධවල මන්දිර, සත් රුවන් වරුසා, ගිම්හානයෙන් පසු, උදුම්බරා කුමාරි ඇතුළු ටෙලි වෘතාන්ත රාශියක් ද නිර්මාණය කළේය.

ඔහුගේ බෙහෝ කෘතීන් නවකතා ලෙසින් ද බිහි විණ. කොහොමටත් ඔහු පළමුව ප්‍රසිද්ධ වූයේ නව කතාකරුවකු හැටියටය. මේ බොහෝ නවකතා පිටපත් ඔහුගේ අත්සනින් යුතුව මා වෙතට ද පිරිනැමිණ.

කඳපොල යනු දස අත විසිරුණු ප්‍රතිභාවෙන් පිරුණු මිනිසෙකි. ගායනයෙන් මෙන්ම, චිත්‍ර ශිල්පියේ ද ඔහුට මනා හැකියාවක් විය. එමෙන්ම ඔහු සරසවියේ හොඳ හිතවතෙකු ද විය. රසවතකු ද විය.

එක් වකවානුවක කඳපොල කුමාරතුංගයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිපාල නිලධාරියකුව සිටියේය. මට මතක හැටියට එකල එහි අමාත්‍යධුරය දැරුවේ පෙස්ටස් පෙරේරා මහතාය. ඒ අවදියේ මා සරසවිය පුවත්පතේ ස්ථිර පුවත්පත් කලාවේදියකු නොවිණ. මාසයකට රුපියල් දහසක උපරිමයකට යටත් කොට අපට මුදලක් ලැබුණේ ලියන ලද ලිපි හා පළ කරන ලද ප්‍රවෘත්තිවලටය. එකල පවුල් බරින් තොර මට එය මාසයකට චිත්‍රපට නරඹන්නට ඕනෑවටත් වැඩිය. සෙසු මගේ වියදම් මව්පියෝ විසින් දරනු ලැබිණ. ඒ අවදියේ එවකට සරසවිය කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාගේ උපදෙස් පරදි මට කඳපොල කුමාරතුංගයන් මුණ ගැසුණෙමි. පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙන් ඔහු සංස්කරණය කිරීමට නියමිත අලුත් සඟරාවකට සාකච්ඡා කිහිපයක් කර දෙන ලෙස ඔහු මගෙන් ඉල්ලීමක් කළේය. මම එයට කැමති වීමි. වර්තමානයේ සිළුමිණ සම කර්තෘ මෙන්ම රසඳුන අතිරේකයේ කර්තෘ සුනිල් මිහිඳුකුල ද මම කඳපොල කුමාරතුංගයන් හමුවට ගෙන ගියෙමි. කුමරතුංගයන් අප දෙදෙනාටම එවකට බලසම්පන්න දේශපාලකයන් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා කොට ලියන්නට කීවේය.

මම එබඳු ලිපි හතරක් ලියා බාර දුනිමි. තවත් දින කිහිපයකට පසු කඳපොල කුමරතුංගයන් අප ඇමතුවේය. ජංගම දුරකතන නොමැති එකල අප සොයන්නට ඔහුට දැල් දමන්නට සිදුව තිබිණි. එවකට ඉතා ඉහළින් ලැබුණු අණකින් සඟරාව නවත්වන්න යැයි නියෝගයක් ලැබී තිබිණ. එබැවින් සඟරාව පළ වූයේ නැත. එහෙත් ඔහු අපට හමුවන්නට යැයි පැවසුවේය. නොපළ සඟරාව වෙනුවෙන් ලියන ලද එක් ලිපියක් සඳහා රුපියල් එක් දහස් පන්සියයක් ලෙස රුපියල් හය දහසක් ලැබිණි. රුපියල් දහසකින් දිවි ගෙවූ මට හය දහස වියදම් කරන්නේ කෙලෙසදැයි ප්‍රශ්නයක් විය.

පසු කලෙක මේ කතාන්දරය කඳපොල කුමාරතුංගයන්ට පැවසූ කළ ඔහු එය සිහිපත් කරමින් කිහිප වරක් සිනාසුණේය. පසුගිය වසර කිහිපය ඇතුළත අපි හමු නොවීමු. ඔහු තම විදුහල්පතිනියක වූ භාර්යාවගේ ද, දියණියන් දෙදෙනා හා පුතෙකුගේ ද සෙනෙහසට මැදිව විශ්‍රාම දිවිය ගෙවා දැම්මේය. ඔහු රෝගාතුර වූ වග සැළවිණ. එක් වරක් හෝ පැමිණ යන්නෙමැයි වරක් මම දුරකතනයෙන් පැවසුවෙමි. එහෙත් එය සුළඟේ ගිය පොරොන්දුවක් විය.

ඔහු ඉතුරු කළ මතකය නම් අමතක නොවේ. කඳපොල කුමාරතුංගයන්ට නිවන් සැප ලැබේවා යැයි පතමි.