|
රොඩ්නි කැමති හාස්‍යෝත්පාදක චරිත හතක්
ජෝ මහත්තයා අපේ රංගන ක්ෂේත්‍රයේ පූර්වාදර්ශ චරිතයක් ලෙසයි මා දකින්නේ. ඔහු හාස්‍ය උත්පාදනයට නිසඟ හැකියාවක් තිබූ රංගධරයෙක්. ඇත්තට එතුමා රංගන පාසලක්. ජෝ අබේවික්‍රම නම් වූ මේ මහා රංගධරයා එක තැනකට කොටු වූ රංගන ශිල්පියෙකු නොවෙයි. විවිධාකාර වූ චරිත නිරූපණය කිරීමේ මනා හැකියාවක් ඔහු සතුව තිබුණා. ගැඹුරු චරිතයක් නිරූපණය කළ රංගන ශිල්පියෙක්. හාස්‍ය රංගනයක යෙදෙන ආකාරය වගේම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් ගැඹුරු වූ චරිත නිරූපණයක යෙදෙන ආකාරයත් ඔහු මනාව ගෙනහැර දැක්වූවා.
මනෝ අයියා මගේ රංගන දිවියේ සුවිශේෂ චරිතයක් ලෙසින් මා දකිනවා. අද ඔහු හාස්‍යෝත්පාදක ශිල්පීන් අතරේ මා වඩාත්ම කැමැති හත් දෙනාගේ නම් ලැයිස්තුවට එක් කළත් ජයලත් මනෝරත්න නම් වූ රංගන ශිල්පියා සකල කලා හැකියාවන්ගෙන් යුතු විශිෂ්ට රංගධරයෙක්. වේදිකාවේ, රිදී තිරයේ, පුංචි තිරයේ ඔහුගේ රංගනයෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්නට තියෙනවා. ඇත්තටම ඔහු වැනි වූ රංගධරයෙක් ළඟින් හිටගෙන සිටින්න ලැබීමත් සතුටක්. ගුරු තරුව, සුදු රෙදි හොරු, තාරාවෝ ඉගිලෙති වැනි වූ වේදිකා නාට්‍යවල ඔහු සමඟින් රඟන්නට ලැබීමත් මගේ රංගන දිවියේ වාසනාවක්. රංගනය ගැන හදාරන්න නම් මනෝරත්නයන් වැනි රංගධරයන් හැදෑරීමෙන් රංගන පාසලකට වඩා වැඩි වූ දැනුමක් ලබා ගන්නට පුළුවන් බවයි මගේ විශ්වාසය. මනෝ අයියා බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක්. ඔහු ඇසුරු කිරීම හරියට විශ්වකෝශය ළඟ තියාගෙන කියවනවා වගෙයි. එවැනි වූ නිහතමානි බවෙන් පිරි මනුෂ්‍යයෙක් ඇසුරට ලැබීම වාසනාවක්. ඒ වගේමයි ඔහු අපේ රටේ පිනට පහළ වූ කලාකරුවෙක් ලෙසින් මා දකිනවා.
වරක් අයියා ගැන නම් වරක් දෙවරක් නොවෙයි බොහෝ වාරයක් කියන්න පුළුවන් කලාකරුවෙක්. වේදිකාවේදී මා වඩාත්ම කැමැති ඔහුගේ සහයකයෙක් වෙන්නයි. එහිදී රංගන ක්ෂේත්‍රය තුළ අප සතු සියලුම හැකියාවන් එළියට ගන්න අවස්ථාව උදාවෙන බව මගේ හැඟීමයි. අද මම ඔහු මා වඩත් කැමැති හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් අතරේ නම් කළත් වරක්් අයියාත් විවිධාකාර වූ චරිත රඟ දැක්වීමේ හැකියාව ඇති විශේෂ රංගධරයෙක්. ඒ වගේමයි ඔහුගේ ගායනයත් ඒ අතර විශේෂ ලෙසින් මා සඳහන් කරන්න කැමැතියි. ඔහුගේ හඬ පෞරුෂයෙන් මතු කරන හාස්‍යය මා ආසාවෙන් රසවිඳි දෙයක්. ‘මීපුර වැසියෝ’ වේදිකා නාට්‍යයේ වගේම හාස්‍යෝත්පාදක ඒකාංගික ටෙලි නාට්‍ය රැසක මා ඔහු සමඟින් රංගනයට අවස්ථාව ලැබුවා. ඔහු අනුගමනයෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි බව ඒ තුළින් මම වටහා ගත් දෙයක්. ඒ වගේමයි රංගන ක්ෂේත්‍රයේ ඔහු කවදාවත් වියපත් නොවන චරිතයක් ලෙසින් මා දකිනවා. ඒ ඔහු තුළ වූ නිහතමානිකම වගේම හිත හොඳ මිනිසෙක් වීම නිසයි.
ගැඹුරු චරිතයක් නිරූපණය කරන රංගන ශිල්පියෙකුට හාස්‍ය මුසු චරිතයක් කරන්න නොහැකි බව වගේම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියකුට ගැඹුරු චරිත කළ නොහැකි බවට වූ මතය බොරුවක් ලෙස පෙන්විය හැකි හොඳම උදාහරණය ලෙසින් මා විජය අයියා හඳුන්වන්න කැමැතියි. අපි මුල් කාලයේදී ඔහු දුටුවේ මනමේ කුමරා වැනි වූ චරිතවලින්. ගැඹුරු චරිතයනට පණ පොවා එක් හැරවුම් ලක්ෂ්‍යකදී ඔහු හාස්‍යමය චරිත ඉදිරිපත් කරන්නට අප හමුවට පැමිණෙනවා. මට ඔහුව මුලින්ම හමු වුණේ 1981 වසරේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේදීයි. ඊට පසුව නෝනාවරුනි මහත්වරුනි හාස්‍යමය ටෙලි නාට්‍ය මාලාව සමඟින් අපිට ජනතාව අතරට යන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟින් අපි දෙදෙනා එකම තිරයේ දකින්න ප්‍රේක්ෂකයා තුළ ඇල්මක් ඇති වුණා කිව්වොත් මා නිවැරැදියි. ඒ හරහා එතුමා, මෙතුමා වැනි හාස්‍යමය ටෙලි නාට්‍ය කිහිපයකම අපි එකට රඟපෑවා. සමහර ඒවා තවම විකාශය වෙලාවත් නැහැ. සිකුරු හතේ චිත්‍රපටයේ වගේම ගිරිරාජ්ගේ සුහද කොකා චිත්‍රපටයේත් අපට එක්ව රංගනයේ යෙදීමට අවස්ථාව ලැබුණා. විජය අයියා ගැන විශේෂයෙන් සඳහන් කරනවා නම් ඔහු ඉතාම අවබෝධයෙන් එකිනෙකා සමඟ රංගනයේ යෙදෙන ශිල්පියෙක්. ඒක හරියට වොලිබෝල් ටීම් එකක් වගේ. එක් කෙනෙක් බෝලය ඔසවා දුන්නාම තවත් අයෙක් ඩෑෂ් පහර එල්ල කරනවා. අපි දෙන්නත් ඒ වගේ සහයෝගයෙන් අවබෝධයෙන් රංගනයේ යෙදෙනවා.
ප්‍රියන්තයි මමයි හරියට ලණුවයි කණුවයි වගේ. එහෙමත් නැත්නම් ට්‍රැක්ටරයයි ට්‍රේලරයයි වගේ. සමහරු නම් ඉඳිකටුවයි නූලයි වගේ කියලත් කියනවා. ප්‍රියන්තයි මමයි අතරේ තියෙන්නේ පුදුමාකාර ද්වන්ධ සන්ධානයක්. අපි මුලින්ම හමු වෙන්නේ 1987 ලින්ටන් සේමගේ ගේ ‘පංචායුධ’නාට්‍යයේදී. ඒ කාලයේදී ළමා වැඩසටහන්වලට අපි දෙන්නා නැතුවම බැරි දෙන්නෙත් වෙලා තිබුණේ. කාලය පුරාවට අපි දෙන්නා අතර තියෙන්නේ පුදුමාකාර මිත්‍රකමක්. ඔහුත් මමත් අතර තියෙන්නේ පුදුමාකාර අවබෝධයක්. අපි දෙන්නා එකිනෙකාගේ නාට්‍යවලට දායකත්වය ලබා දෙන්නේ පුදුමාකාර සහයෝගයකින්. ඒ වගේම අපේ රටේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් අතරේ මා ප්‍රියන්තව සුවිශේෂ අයුරින් දකිනවා. ඒ වෙනුවෙන් ඔහු සතු වූ නිසඟ හැකියාව මා විශේෂ ලෙසින් අගය කරනවා. එවැනි වූ රංගන ශිල්පියෙක් මගේ මිතුරෙකු ලෙසින් ද මා අසලම සිටීම මට විශාල ශක්තියක්.
ගිරා අපේ පවුලේ හිතවතෙක්. ඔහුගේත් මගේත් මිත්‍රත්වය ඇති වුණේ මීපුර වැසියෝ වේදිකා නාට්‍යයෙන්. රංගන ශිල්පියෙක් ලෙසින් මා ඔහු දුටුවත් අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ පිටපත් රචකයෙක් ලෙසත් මා ඔහු හඳුනා ගත්තා. මෙරට කලා ක්ෂේත්‍රයේ මෑත කාලයේ බිහි වූ අති දක්ෂ හාස්‍යෝත්පාදක පිටපත් රචකයෙක් ලෙස මා ගිරිරාජ් හඳුන්වන්න කැමැතියි. සිකුරු හතේ චිත්‍රපටය, එතුමා, නාන කාමරය වගේ ටෙලි නාට්‍ය මාලා දෙස බලන විට එය මනාව පැහැදිලි වෙනවා. ඒ වගේමයි හාස්‍ය ජනනයේදී ඔහු ලබාදෙන උපදෙස් මා අගය කර සිටිනවා. එහි වූ රිද්මය අන් අයට මනාව වටහා දෙන්න ගිරාට තියෙන හැකියාව විශිෂ්ටයි.
චාලි චැප්ලින් නම් ලෝක ප්‍රසිද්ධ කලාකරුවා හමු වන්න මට අවස්ථාව ලැබුණා. ඒ 2001 වසරේදී. ලන්ඩනයේ ඉටි කෞතුකාගාරයේදීයි. ඔහුගේ ඉටි පිළිරුව ඉදිරියට ගිය විට එහි සිටින්නේ ජීවමාන චැප්ලින් බව මට සිතුණා. එහිදී මම ඒ අසල සිට ඡායාරූප ගත්තා වගේම ඔහු වගේ ඇවිදලත් බැලුවා. එවිට ඒ අසල සිටි සියල්ලන්ම මා දෙස බලමින් ඡායාරූපයට නඟනවා දැක්කා. ඒ සිදුවීම මට ලොකු සතුටක් වුණා. ලෝකයේ මෙතෙක් පහළ වූ සුපිරි හාස්‍යමය රංගන ශිල්පියා ලෙසයි මා චාලි චැප්ලින් දකින්නේ. රංගනය පමණක් නොව සංගීත නිර්මාණය, අධ්‍යක්ෂණය වැනි වූ ක්ෂේත්‍ර තුළ ඔහු දැක් වූ හැකියාව සුවිශේෂයි. චාලි චැප්ලින් කියන්නේ හාස්‍යයේ ගැඹුර මනා ලෙස ලොවට ඉදිරිපත් කළ අපූරුතම කලාකරුවෙක්. ඒ වගේම හාස්‍යෝත්පාදන රංගනයේ පියා ලෙසින් මා දකින්නේ ද ඔහුයි. චාලි චැප්ලින්ගේ රංගනය අප සැමට සැමදා ආදර්ශයක්. |