වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අපි උගන්වලා අපිම ගුටි කනවා

අපි උගන්වලා අපිම ගුටි කනවා

මේ ක්ෂේත්‍රයේ හිත හොඳ මිනිහා කවුද කියලා ඇහැව්වොත්. නොබියව කියන්න පුළුවන් ඒ වෙන කවුරුත් නොව සටන් ශිල්පියා කියා.

කොහොමද එහෙම කියන්නේ?

මගේ ක්ෂේත්‍රය සටන් ශිල්පය. කරාතේ කළුපටි පැලඳී මම කලා ක්ෂේත්‍රයේදී සටන් අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරමින් රංගනයෙත් නියැළී සිටිනවා . මෙහිදී ප්‍රධාන නළුවාට සටන් පිළිබඳ පුහුණුවක් ලබා දෙනවා . චිත්‍රපටයේ වීරයෙක් වෙන ඔහු ගෙන් අපි ගුටිකනවා. අපිම උගන්වලා අපිම ගුටිකාලා ඒක බලන දවසට අපි ගිහිල්ලා ඔහුගේ වීරකම් නරඹලා අත්පුඩි ගහලා එළියට ඇවිත් වැඩේ ලස්සනට කළා කියලා ඔහුට සුබ පතනවා. කිසිම ඇගයීමකට ලක් නොවන පිරිසක් හැටියටයි සටන්කරුවා හැඳීන්විය හැක්කේ. ඉතින් මට කියන්න බැරිද චිත්‍රපට ක්ෂේත්‍රයේ හිත හොඳ මිනිහා තමයි සටන්කරුවා කියලා.

Behind The Scene  තුළින් මෙවර එක්වන්නේ අත්දැකීමෙන් පරිපූර්ණ සටන් අධ්‍යක්ෂවරයෙක් වන සමන්ත රංග මායාදුන්නයි.

මොකද්ද මේ ඇගයීමකටවත් ලක් නොවෙන කතාව?

මොන සම්මාන උළෙලකදිද සටන් කරුවා ඇගයීමකට ලක් වුණේ. මේ මෑතකදී නාළිකාවකින් පැවැත්වූ සම්මාන උළෙලකදී පමණයි සටන්කරුවා ඇගයීමකට ලක්කර තිබුණේ.

අපේ කතාබහ වෙනතකට යොමු කරමු.

ඉගෙනගත් පාසල?

නාවලපිටිය අනුරුද්ධ මහා විද්‍යාලය.

ගම?

නාකලගමුව

පවුලෙ විස්තර?

මම විවාහකයි. බිරිඳ නිලන්ති, පුතා සංජු ධනන්ජය, දුව විෂ්මි නවෝද්‍යා මායාදුන්න. පුතා අලව්ව විද්‍යාලයෙ අධ්‍යාපනය හදාරනව. කරාතේ හදාරන පුතා වසර දෙකක් සමස්ත ලංකා හොඳම සටන්කරුවා වුණා.

ඔබ සටන් හැදෑරුවෙ?

පාසලේදි පාලිත ගලප්පත්ති මාස්ටර්ගෙන්.

කලාවට යොමු වෙන්න හිතුනේ?

ගලප්පත්ති මාස්ටර් චිත්‍රපට සඳහාත් සහභාගි වෙනවා. අපිටත් අවස්ථාවක් ලැබුණා අග්නිදාහය චිත්‍රපටයේ සටන් මෙහෙයවනවා බලන්න. ඒ ඇති වු ආසාවත් එක්ක තමයි කලාවට යොමු වෙන්න ඕනේ කියලා හිතුනේ.

රැකියාව?

සටන් පුහුණු පංති කරන අතරේ, රැකියාවක් සඳහා මම කොළඹ ආව. ඒ 2003දී. සටන් පංති කරගෙන යන්න අපහසු නිසා 2006දී ආයතනයෙන් අයින්වෙලා ගමේ ගියා. මේ වෙනකොට වැඩ කරන්නේ තිලක් ද සිල්වා මාස්ටර් සමඟයි. මම කළුපටි 3වන ශේණියේ, විනිසුරුවකු ලෙසත් කටයුතු කරනවා. ව්‍යාපාරවලත් යෙදෙමින් කොළඹ, කුරුණෑගල සටන් පංති පවත්වනවා. ඊට අමතරව යුද හමුදාවට, ප්‍රභූ ආරක්ෂක අංශවලට කරාතේ පුහුණු කරනවා.

රංඟන කටයුතුවලට මග පෑදුනේ කොහොමඳ?

කපිල ගුණතිලක කියන මගේ යාළුවා චක්‍රායුධය ටෙලියෙ රඟපාන්න අවස්ථාවක් ලබා දුන්නා. සටන් අධ්‍යක්ෂ ලෙස හිටියෙ සුමිත් මුදන්නායක මහත්තයා. රඟපාන අතරෙ කට්ටියට සටන් පුහුණු කරන්නත් අවස්ථාව ලැබුණා. ටෙලිය විකාශය වෙන කොට මාව පේන්නවත් නැහැ. ඒ කලකිරීම උඩ ටික කාලයක් නිහඬව ඉන්නකොට මංජුල මොරගහ මහත්තයා කතා කරලා කිව්වා ටෙලි (හෝම් මූවිස්) චිත්‍රපටයක් කරනවා ඒකේ සටන් පැත්ත කරලා දෙන්න කියලා. මේ චිත්‍රපටය තමයි පිස්සු නැත්නම් ෂෝක් බුවා. අධ්‍යක්ෂණය කළේ සුරංග අල්විස් මහත්තයා. මේ චිත්‍රපටය තමයි මාව සටන් අධ්‍යක්ෂවරයෙක් කළේ. අර්ජුන කමලනාත්ගේ ලවාරිස් සුවාරිස් චිත්‍රපට ඇතුළුව ටෙලි චිත්‍රපට 20 ක වැඩ කළා. සිහින සිතුවම්, වසූදා, ගෞතමී, දෙකොන ගිනි, ටෙලි සඳහා සටන් අධ්‍යක්ෂණය කළා. මේ අවස්ථාව මට ලබා දෙන්නේ අර්ජුන කමලනාත් අයියා. ආරියදාස පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ සුබා චිත්‍රපටයෙන් තමයි සිනමාවට යොමු වෙන්නේ. පරපුර, රජ හොරු, එතුමයි මෙතුමයි, සීතා මන්ආවා, මහින්දාගමනය චිත්‍රපට සඳහා දායක වී තිබෙනවා. සුරංග අල්විස් මහතා මේ දිනවල රූ ගන්වන මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයෙත් වැඩ. මෙන්න මෙහෙම තමයි මම කලාවට යොමු වී අද සිනමාව දක්වා ඇවිත් තිබෙන්නේ.

මතකයෙන් නොමැකෙන සිදුවීම් බොහෝ ඇති?

ගමට වෙලා හිටපු මාව නොසිතූ වෙලාවක කොළඹට ගෙනත් සටන් අධ්‍යක්ෂවරයෙක් කරන්නේ සුරංග මහතා, පරපුර චිත්‍රපටයෙ සටන් නිර්මාණය කළේ මගේ කණ්ඩායම. එහෙත් සටන් අධ්‍යක්ෂ ලෙස නම පළ වුණේ වෙන කෙනෙක්ගේ. මගේ නම පළ වුණේ සටන් ශිල්පියෙක් ලෙස, මහින්දාගමනය චිත්‍රපටයෙත් මට මෙහෙම වුණා. අවසානයෙදි අපිට ලැබුණේ ස්තූතිය විතරයි.මේ චිත්‍රපටය සඳහා අංගම් පොර ශිල්පීන් පවා මම පුහුණු කරනවා. අධ්‍යක්ෂක කරන්නේ අපේ ටීම් එක දෙකඩ කරලා මට මුදල් නොගෙවා ඔහුගෙ දළදාගමනයට මම පුහුණු කරපු පිරිස යොදා ගන්නවා. මේව කවදාවත් අමතක කරන්න බැහැ.

ඉදිරි සැලසුම්?

ඉදිරියටත් නවක ශිල්පීන් හදනවා. චිතුපට කිහිපයක වැඩ බාරගෙන තිබෙනවා. බාර ගත් චිත්‍රපට කිහිපයක වැඩ කරමින්, සටන් පංති පවත්වනවා.

මේ සා දුර එන්නට අතදුන් අය සිහිකරමු?

මවුපියන්, මගේ බිරිඳ, සුරංග අල්විස්, පාලිත ගලප්පත්ති, තිලක් ද සිල්වා, මංජුල මොරගහ, අර්ජුන කමලනාත්, කපිල ගුණතිලක, සුරේෂ් ගමගේ, සුරේෂ් කුමාරසිංහ, ආරියදාස පීරිස්, මාත් සමඟ වැඩ කරන සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

ඔබට මොනවද තව කියන්න තියෙන්නේ?

ඇත්තටම සටන්කරුවා කියන්නේ තනිවූ කෙනෙක් ලෙසයි මෙතෙක් හැඟුනේ. නමුත් ඒ සිතුවිල්ල අද පහව ගියා. මෙරට එකම සිනමා පුවත්පත වන සරසවිය පත්‍රය අපිට ඉඩක් ලබාදීම නිසා.

තිස්ස ධම්මික