වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නෙතු ඇඳි රුව ඔබය සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ

නෙතු ඇඳි රුව ඔබය සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ

ධම්මික බණ්ඩාර
ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

ජීවිතය හා බැඳි බොහෝ සිදුවීම් සිදුවන්නේ අප නොසිතූ නොපතන සිදුවීම් දාමයකින් දැයි සිතෙන වාර අනන්තය. ඒ තරමටම අහඹු සිදුවීම්වලින් අපගේ ජීවිතය ගහනය. කාලයකදී ජීවිතය දෙස ආපසු හැරී බැලුවහොත් ඔබට එවැනි සිදුවීම් රාශියක් සොයාගත හැකි බව සත්‍යයකි. මෙවර ඒ අතීතය සොයා යමින් ‘මතක ගී පොත’ ට සහභාගි වන්නේ ගේය පද රචක ධම්මික බණ්ඩාරයි.

මා කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් බවට පත්වන්නේ ශිෂ්‍යත්වයට පින්සිදු වන්නටය. එපමණක් නොව නිර්මාණශීලී මිනිසුන් බිහි කිරීමේ මූලික අඩිතාලම දමන්නටද සැදී පැහැදී සිටි ආනන්දය අප වැන්නන්ට අපූරු තෝතැන්නක් විය. කුරුණෑගල සිට කොළොම්පුරයේ ගෙන්දගම් පොළොවට පා තැබූ මම පාසලට ඇතුළත් වූ පසුව නේවාසිකාගාර ශිෂ්‍යයකු ලෙස එහි ලැගුම් ගතිමි. සතියේ පාසල් යන දිනවල එහි සිරවී සිටි අප සති අන්තය එනතුරු ඇඟිලි ගණින්නේ එකිනෙකාට හොරෙනි. ඒ සෙනසුරාදා හෝ ඉරිදා යන දිනවලින් කුමන දවසක හෝ බයිස්කෝප් එකක් නරඹන්නට ලැබෙන අවස්ථාව උදා වනතුරුය.

එකල සිනමා ශාලාවල තිරගත වෙමින් පැවැතියේ ‘සිකුරු ලියා’ චිත්‍රපටයයි. ‘සිකුරු ලියා’ නැරැඹීමේ නොතිත් ආශාවෙන් පසු වූ මා ඇතුළු මගේ සහෝදර සිසුන්ගේ අදහස සඵල කරමින් අපට එක්තරා ඉරිදා දිනෙක 2. 30 දර්ශනය නැරැඹීමේ වරම් ලැබුණි. එකා පසුපස එකා සැදී ගිය ඒ ගමන මට අද මෙන් මතකය. ‘සිකුරු ලියා’ තිරගත වූ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ඇත්තේ ආනන්දයේ සිට වැඩිදුරකින් නොවේ.

අරුමයක් නොවූ එල්ෆින්ස්ටන් සිනමා ශාලාවට පා ගමනෙන් ඇවිද ගිය අප එදින අසුන් ගත්තේ බැල්කනියේය. සාමාන්‍යයෙන් වෙනදා අප අසුන් ගන්නේ ඕ. ඩී. සී. යේ වුවද අපට එසේ අසුන්ගන්නට සිදුවූයේ මුළු සිනමා ශාලාවම නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු බැවිනි. ගැලරිය බොහෝ විට පිරී ඉතිරී ගියේ කරේ ලේන්සුවක් දමා, ඉනේ ගප්පි බැඳි, ගංජා සුරුට්ටුවක් උරන අයියලා ගෙනි. චිත්‍රපටය ආරම්භ කරන්නට මත්තෙන් ශාලාවෙහි තිබුණු කලබලකාරී පරිසරය වඩාත් උත්සන්න වූයේ ‘සිකුරු ලියා’ ආරම්භ කිරීමත් සමඟිනි. ඒත් සමඟ ඇසුණු විසිල් හඬවල්වලින් මුළු ශාලාවම පිරී ගියේය.

චිත්‍රපටයේ කතානායකයා වූ ධනවත් කුරුමිටි තරුණයා සිතෙන් හොර රහසේ තරුණියකට පෙම් බැන්දේය. එහෙත් ඒ රහස පිළිබඳ දැන සිටි ඔහුගේ මව පුතුගේ අදහස ඉටුකර දුන්නේ ඔහු සිත්බැඳි යුවතිය සිය බිරිය කරදීමෙනි. කුරුඳුවත්තේ සුවිසල් නිවෙසක හිමිකරු ලෙසත්, සුන්දර බිරියකගේ සැමියා වූත් මේ තරැණයා ගමන් බිමන් ගියේ බෙන්ස් වර්ගයේ රියකිනි. චිත්‍රපටය තිරගත වන මේ අවස්ථාවලදී වරින්වර ඇසෙන සිනා හඬත්, කෝලහාලයක් බඳු කෑ ගැසීමත්, විසිල් හඬත් අතරෙන් එක්වරම මුළු චිත්‍රපටශාලාව නිශ්ශබ්ද වූයේ මීයට බිම්බාක් මෙනි. ඒ ඇති වූ නිශ්ශබ්දතාවයෙන් පුදුමයට පත් වූ මම නැවතත් තිරය මතට බැලුම් හෙළීමි. තිරයෙහි දිස් වූයේ රියැදුරු සමඟ පැන ගිය තම බිරිය නොමැති ශෝකයෙන් වැලපෙන අඟුටුමිටි තරුණයාය. සිය පෙම්වතිය සමඟ ගෙවූ අතීත සිදුවීම් සිහිපත් කරමින් තැවෙන, ශෝකවන ඔහු අපූරු ගීතයක් ගයමින් සිටියේය.

කොමළ ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා

සියුමැලියා......සිකුරු ලියා //

ගත සීතල පහස ලබා

ළැම රන්වන් සුවඳ සොබා

මුව මිහිරොන් ලැබුව මෙමා

සිකුරු ලියා

මාව දමා යන්න ගියා

සිකුරු ලියා.....

නෙතු ඇඳි රුව ඔබය සුදූ

අද ඒ නෙත කඳුළු බිඳූ

ආදරයෙන් මාව හැදූ

සිකුරු ලියා

මාව දමා යන්න ගියා

සිකුරු ලියා

ආදරයෙන් ඔබ හින්දා

මා මනසින් දුක් වින්ඳා

මාව දමා යන්න ගියා

සිකුරු ලියා

මාව දමා යන්න ගියා

සිකුරු ලියා

 

ගේයපද – ධර්මසිරි ගමගේ

සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන

ගායනය - මිල්ටන් පෙරේරා

 

අඟුටු මිටි තරුණයාගේ සංවේදී සිතට දැනුණු සිතුවිලි මොහොතකට නරඹන්නන්ගේ සිතුවිලි බවට පරිවර්තනය වී තිබුණේය. මුඩුක්කුවක ජීවත් වන්නන්ගේ සිතුවිලිවලට කතා කිරීමට සමත් වී තිබුණේය. ඔවුන් කොතරම් ඉන් විස්සෝපයට පත් වී සිටියේද යන්න පිළිබඳ මතකය සිතුවමක් මෙන් මා හදවත තැන්පත් වී තිබුණු අයුරු මා අත් විඳින්නේ මේ ගීතය නැවත අසන මොහොතකදීය. සරල තේමාවක් රැගත් මේ ගීතය ඔවුන්ගේ හදවතට දනවන්නට තරම් ගීතයේ පදත්, සංගීතයත්, ගායනයත්, ගීතය යෙදූ ඊටම උචිත අවස්ථාවත් මනා අයුරෙන් ගැළපීම සිදුවූයේ අපූරු විලාශයෙනි. මේ ගීතය මා හද බැඳුණු ගීත ගොන්නට එකතු වන්නේ ඒ නිසාය. නිරන්තරයෙන් ගීතය අසන සෑම මොහොතකම ඒ සිදුවීමත්, චිත්‍රපටයේ රූපරාමුත් මා මනසෙහි නින්නාද වෙයි. එවිට මනුෂ්‍ය හැඟීම් වෙනස් කළ හැකි අරුමය යන හැඟීම මා සිතට පිවිසෙයි.

ආචාර්ය අජන්තා රණසිංහ පද ගෙතූ මේ ගීතය ද හදවත බැඳුණු ගීත අතර මුල්තැනෙහි ලා සැලකීමට මම කැමැත්තෙමි.

විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පති කුලයට අද මට පිටු පා යන

මගේ සොඳුරු ළඳුනේ....//

 

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහා ගිනි නොගෙනේවා

 

තනිකම රජයන පාළු විමානේ

ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ

මැණික් පහන් වැට දැල්වේවා

 

ගේය පද – ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ගායනය – පණ්ඩිත් අමරදේව

 

 

උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් තෝරා ගැනීමට මට සිදුවිය. පළමු වර මෙන්ම දෙවැනි වරද මම ඉන් අසමත් වීමි. විභාගයට මාස හයක් හෝ හතක් තිබිය දී කලා විෂයයන් හැදෑරීමට තනි තීරණයක් ගත් මා කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනට පිවිසියේ ඒ සඳහාය. එහි යුවතියන් අතර සිටි එකියක මගේ සිත බැඳ ගත්තාය. සිතෙහි ඇති වූ ප්‍රේමණීය බව රහසේ සඟවා ගත නොහැකි වූ බැවින් මම ඇයට ඒ පිළිබඳ කියන්නට මැළි නොවීමි. එහෙත් ඊට ඇගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. ඒ ප්‍රතිචාරය මැද ගෙවුණු කාලය ගෙවා දමමින් සමුගන්නට කාලය ළඟා වූයේ ඉක්මනිනි. ඇය මට ඇගේ සමරු පොත පෑවාය. මා එහි සටහන් කරනු ලැබුවේ මේ ගීතයේ අවසාන අන්තරාවෙහි සඳහන් පද සතරයි. ඒ සමුගැනීමෙන් පසු මම නැවතත් ඇයට ලියන්නට පටන් ගතිමි. ඊට ඇය එවූ පිළිතුරු ලිපියෙහි යම් ධනාත්මක බවක් රැඳී ඇතැයි මට නිකමට මෙන් සිතිණි. ඒ ලිපි පෙළ අවසානයෙහි අපි පෙම්වතුන් බවට පත් වූයෙමු. මා විසූ පොන්නිලව සිට ඈ විසූ ගිරිඋල්ල කුඩගම්මන ගම්මානයට සැතපුම් තිහ හතළිහක දුරක් වූයෙන් අප හමුවූයේ ඉඳහිටය. ඒ ආ විටෙක පුත්තලම් පාරේ සාරගම වැව දක්වා අත්වැල් බැඳ ඇවිද යන අප දෙදෙනා ඈ රැගෙන ආ බත් මුලද කා අවට සිරියෙන් මත්වී ආගිය තොරතුරු කතාබහ කළෙමු. පෙම්බස් මිමිනුවෙමු. යළිත් සාරගම වැවේ සිට කුරුණෑගල නගරයට ඇවිද එන අපි ඒ නැවතුමේදී සමු ගනිමු. ඒ වනවිට විශ්වවිද්‍යාලයට පිවිසීමේ වරමට මා හිමිකාරයෙක් වී තිබිණි. එහෙත් ඈ රැකියාවක හිමිකාරියක් වූවාය. දශකයකට පසු අපි විවාහ වීමු.

දයාබර අයෝමා, නුඹ මට පළමුව බහ නොදුන් අයුරු හා ඒ අතීතය පිළිබඳ සිහිපත් කරන මේ ගීතයට මම පි‍්‍රය කරම්. එමෙන්ම මෙහි තව විශේෂත්වයක් ද වෙයි. මේ ගීතය ලියූ ආචාර්ය අජන්තා රණසිංහ ආභාසය ලැබූ ජන කවියක් මට සිහිපත් වෙයි.

ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
සඳට හොරෙන් සඳ මුදුනෙන් සාවො ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
මටත් හොරෙන් කළු එතනා දීග ගියා

සිය සිත් ගත් ආදරණීය යුවතිය අහිමි වූ කල ඔහු හදවත උපන් ඒ හැඟීම පැවසීමට ජනකවියා භාවිත කළ භාෂාව කොපමණ අපූරුද? ඈ කෙරෙහි වෛරයක්, ඊර්ෂ්‍යාවක් සිතෙහි ඉතිරි කර නොගන්නා මේ පෙම්වතා ඇගේ සමුගැනීම සංයමයෙන් ප්‍රකාශ කළ අයුරු කදිමය. එය අප සමාජයට අපූරු පණිවුඩයක් රැගෙන එයි. මේ සොඳුරු හැඟීමෙන් ආභාසය ලැබූ ආචාර්ය අජන්තා රණසිංහගේ දෑතෙන් පද බැඳුණු සම්භාව්‍ය සාහිත්‍යය හා සුසැඳුනු ‘විකසිත පෙම් පොකුරු පියුම් ගීතය පද බඳින්නට පෙර පද බඳින ලද මේ ගීතය ද ‘විකසිත පෙම් පොකුරු’ ගීතයෙහිම නිවුන් සොහොයුරන් වැන්නයි මට සිතෙයි.

බොල් වී අහුරු වෙල් සුළඟේ ගිය සේම

දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

දම්පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ

රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ

 

මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ

බැරිවුණි කියා ගන්නට හිත බැඳි ආලේ

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ

මේ අපි පෙරත් ජාතියේ පැතු ලෙසයි නඟේ

 

පිටගම් ගොහින් මා අමතක වුණත් නඟේ

අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ