වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ජෝතිපාලයන් සිහි කරමු

ජූලි 07 වැනිදාට යෙදෙන එච්. ආර්. ජෝතිපාල අනුස්මරණය කිරීම සඳහායි.

ඔබ නැතුව නිහඬ වුණ
ගීත ළඟ තනි වෙලා
ඒ අතීතය සිහිව
නෙතු කඳුළු වැගිරුණා

උඩු ගුවන් ගැබය තුළ
ඔබෙ මතක ඉහිරිලා
සත්තමයි මතු මතුත්
ඔබ අපට වාසනා
 

චන්ද්‍රිකා බටුවත්ත

රාගම

ගායන දිවියෙ ඉහළම තැන දරාගෙන
ජීවත් වුණා අප හදවත් දිනාගෙන
මැවිලා පෙනෙන විට ඔබේ රුව වරුන
මට හරි දුකයි එයි කඳුළැලි ගලාගෙන

සිත් මල් යාය පුබුදාලන ගී සිංදු
අදටත ඇසෙනවා ඉඳහිට රස කැන්දූ
සිනමා වංශයට ඉමහත් මන බැන්දූ
ගී රජතුමා ඔබයි කවි අම බිංදු
 

ගිල්බට් පෙරේරා

හෝකන්දර

ලොව පවතින ඒ සුන්දර ආදරය
මෙලෙසයි කියා එදා කීවේ ඔබමය
පෙම්වතුනට සරණ වූ ඒ ගී ගායනය
අපේ දිලෙනා තරුව වූයේ ජෝතිමය
 

සෝමා එච්.පතිරණ

කහවත්ත

දුලීකාට සාජන්ට් තනතුරක් දුන්නා නම්

කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ දුලීකා මාරපනට සාජන්ට් තනතුරක චරිතයක් දුන්නා නම් මල් හතයි. මරේ මරු.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගෙඩ මුල්ල

කොටුගොඩ

ජෝති ගැන රසික මතකය

ජෝති තරම් මගේ හදවත නැල වූ පින වූ සැනහූ ගායකයකු තවත් නැත. ජීවිතයේ නෙයෙක් පීඩාකාරී අවස්ථාවන්වලදී ජෝතිගේ ගීයක් ඇසීමෙන් මා ලබන මානසික සතුට සුවය අනන්තය, අප්‍රමාණය.

මුලින්ම මා ඔහුව හඳුනා ගත්තේ වයස අවුරුදු දහයේදී පමණ ඒ ගුවන් විදුලියේ මැදිරියේදීය. එවකට මා ජෝතිගේ මහද නැමති වන බඹරා, ඇස් දෙක වාගෙ හිටිය වැනි ගීත අසා මනමත්ව සිටියෙමි. ජෝතිව මට හමුවද්දී මගේ වයස අවුරුදු 10 කි. එදා පටන් ජෝති මියෙන තෙක් මා ජෝතිගේ මිත්‍රයෙක් විය.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තෙගොඩ

‘ඔබ නැතුව ඔබ එක්ක’ දේශීය සිනමාවේ ජයග්‍රහණයකි

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ඉන්දියාවේ වී. පී. ආර්. චිත්‍රපට බෙදා හැරීමේ සමාගම විසින් තම සිනගමාහල් ජාලයේ ශාලා 17 ක ප්‍රදර්ශනනය කිරීම සඳහා භාර ගැනිම දේශීය සිනමාව ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

ඒ විවිධ රැළිවල පිනුම් ගසමින් මෙගා පිටපත් සමඟ චිත්‍රපට බෙදා හැරීමේ මාෆියාව හා එක් වී සිනමා ශාලා අරක් ගත්තවුන්ගෙන් චිත්‍රපටකරුවන් රැසක්ම පීඩාවට පත්ව සිටින තත්ත්වයක් තුළදීය.

1965 වසරේ පැවති තුන්වැනි ඉන්දියානු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගම්පෙරළිය (1963) චිත්‍රපටයට ‘රණ මයුර’ සම්මානය හිමි වූ දා සිට මේ දක්වා නොයෙක් අවස්ථාවලදී අපේ සම්මානනීය සිනමාකරුවන්ගේ චිත්‍රපට රැසක් ඉන්දියාවේ චිත්‍රපට උළෙලවලදී ජයග්‍රහණ ලබා ඇතත්, එම චිත්‍රපටවල පිටපත් එකක් හෝ වානිජ මට්ටමෙන් තිරගත කිරීමට එරට පෞද්ගලික චිත්‍රපට බෙදා හැරීමේ මාෆියාව විසින් මේ දක්වා ඉඩ ලබා දී නොතිබිණි.

ලංකාවේ නිපද වූ ප්‍රථම චිත්‍රපටය වූ ‘රාජකීය වික්‍රමය’ මෙරට ප්‍රදර්ශනයට වරම් නොලැබුව ද විදේශීයව එය යම් පමණකට හෝ ප්‍රදර්ශනය වීම විශේෂත්වයකි.

එහෙත් එදා සිට අද දවසේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය දක්වාම එකදු දේශීය චිත්‍රපටයකට හෝ වානිජ පදනමෙන් විදේශ රටක ප්‍රදර්ශනය වීමට අවස්ථාවක් ලබා ගත නොහැකි වූයේ ඇයි ද යන්න ආපසු හැරී විමසා බැලිය යුතුය.
 

බෙනිල් ශාන්ත

නුවණැති රූපවාහිනී ප්‍රේක්ෂකයෝ පෙළ ගැසෙත්වා

රූපවාහිනී නරඹන ජනතාව අසාධාරණ ලෙස අසහනයට පත් කරනවා වගේම හෑල්ලුවට පත් කරන තමන්ට ප්‍රමාණවත් තරමට වඩා මුදල් තන්හාවෙන් දැන්වීම් පළ කරමින් වෙළෙඳුන්ට ආවඩන මහජන සේවය තඹයකට මායිම් නොකරන කොපමණ දෝෂාරෝපණය කළත් ගණනකට නොගන්නා දැනට පවත්වාගෙන යන රූපවාහිනී චැනල් වෙනුවට තමනුත් ප්‍රමාණවත් ආදායමක් ලබාගෙන මහජන සේවයක් ලෙසට වින්දනය විනෝදය දැනුම ඉහළින් අගය කරන ජනහිතකාමී ප්‍රශංසනීය වූ හරවත් අලුත්ම රූපවාහිනී චැනල් කිහිපයක අවශ්‍යතාවය ඉතාම තදින් වගේම ඉක්මනින් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබේ. නුවණැති රූපවාහිනී නරඹන්නන් පෙළ ගැසෙත්වා.
 

ශාන්ත ජයකොඩි

කටාන

අත්තම්මා නියමයි

පවුලේ සැමට එකට සිට නැරැඹිය හැකි ටෙලි නාට්‍යයක් ලෙස අත්තම්මා අපි දකිමු.
 

වියාණි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

නිලන්ති වයානි

වෙන්නප්පුව

S.M.S.

කසුන් චාමර සහ නටාෂා පෙරේරාව එක නාට්‍යයක පෙම්වතුන් ලෙස රඟන්නට අවස්ථාවක් දුන්නොත් එය ගොඩක් ජනප්‍රිය නිර්මාණයක් වේවි.
 

ෆාතිමා

වැලිගම

නයනා කුමාරිගේ ගෙදරට පැනපු සොරුන්ව ඉක්මනින් කොටු කර ගැනීට හැකියාව ලැබේවා. අපේ කලා ශිල්පීන්ගේ නිවෙස්වලින් හොරකම් කරනවාට ඔවුන්ට දැඩි දඬුවම් කළ යුතුයි.
 

නිශාන්ත

නුගේගොඩ

මුදල් අය කර ගනිමින් ගීත ප්‍රචාරය කරන ගුවන් විදුලි ආයතන වැඩිකල් පවතින එකක් නැහැ. ඒ අය නිසා දුප්පත් කොල්ලෙකුට ඉදිරියට එන්න අවස්ථාව මඟ හැරෙනවා. සල්ලි තියෙන ගොළුවකුට වුණත් ගායකයෙකු වන්න පුළුවන්.
 

රශ්මික

මීගමුව

ඉස්සර අප ආසාවෙන් නැරැඹූ රන්මුතු දූව, සූර චෞරයා, සොරුන්ගෙත් හොරු, චණ්ඩියා වැනි චිත්‍රපට අද කාලේ නිර්මාණකරුවන්ට පෙන්නුවොත් ඒවා ආදර්ශයට ගෙන බලන්න පුළුවන් චිත්‍රපට හදාවි.
 

සුනිල් ශාන්ත

නාවලපිටිය

මං ගොඩක් ආදරේ කරපු නළුවෙක් තමයි ධනංජය සිරිවර්ධන. ඒත් එයාගේ විවාහයෙන් පසුව ධනංජය ඉන්න නාට්‍ය බලන්න එපා වුණා.
 

පහන්යා

නුවර

ඇනස්ලි ඩයස් අප අතරින් වියෝ වී වසර ගණනාවක් ගත විය. ඔහු වැනි විකට ශිල්පියකු බිහි වන ලකුණක්වත් පෙනෙන්නට නැත. කෙටි කලකට හෝ ඔවුන්ගේ විකට ජවනිකා රස විදින්නට තරම් මා භාග්‍යවන්ත විය. ඒ යුගය සිහි වනවිට සිත වාවනු බැරිය.
 

අතුල රම්‍යසිරි

පානදුර

මාධව විජේසිංහ තමයි නව පරපුරේ සිටින වටිනාම රංගන ශිල්පියා. ඔහුට හාමුදුරු නමකගේ චරිතයක් දුන්නා නම් කදිමට එය ඔහු නිරූපණය කරාවි.
 

ප්‍රසාද්

රත්නපුර

‘නිදුකින් ඉනු මැන’ නම් වූ ගීතයක් මේ දස්වල නිතර ඇහෙනවා. එය ගයන්නේ ඩිමන්ත වෙල්ලාල කියන ගායකයෙක්. ඔහුගේ ඒ ගීතයේ අර්ථය හරිම සංවේදීය. පෙම්වතුන් නිරන්තරයෙන්ම මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්නයක් ගැන ඔහු තම ගීතයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. හොඳ හඬක්, පැහැදිලි අනාගතයකට හිමිකම් කියන ගායකයෙක් විදිහට මා ඩිමන්තව දකිනවා.
 

නිලුකා ප්‍රියදර්ශනී

නාත්තණ්ඩිය

පුංචි වලව්ව ටෙලි නාට්‍යහි අප්පු ලෙස රගන හිරාන් ශාන්ත නම් නව පරපුරේ නළුවා රඟන්නේ කිසිදු නවකත්වයකින් තොරවය.
 

රත්න කහඳව

කැකුලාවල

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ හොඳටම සිංග් කළේ ගයනි කෞශල්‍යා අක්කා. ඇයගේ ගායන හැකියාව මම ඉතාමත් හොඳින් අගය කරනවා.
 

සහේලි ඒකනායක

මාතලේ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ හිටිය කඩුවෙල නවගමුවේ චමිල මධුශාන් එයින් ඉවත් වුණායින් පසුව මට ඩ්‍රීම්ස්ටාර් බලන්නත් එපා වුණා. එයා තමයි එතන හිටපු දක්ෂම ගායකයා. එස්. එම්. එස්. වලින් දක්ෂයො කැපෙනවා. මට දැනෙන විදිහට අනිත් අයට වඩා චමිල අයියා ජනප්‍රිය ගායකයකු වෙනවා කවදා හරි.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

චන්න පෙරේරාවයි රන්ජන් රාමනායකයි එකම චිත්‍රපටයකින් දැක බලා ගන්න ආසයි. දෙන්නා නොඅනුමානව එහි කරට කර රඟපාවි.
 

නිරෝෂ් සම්පත්

සිංහරාජ

ස්වාධීන රූපවාහිනියෙන් අප වෙත ගෙනා ප්‍රමිතියකින් යුතු රියැලිටි වැඩසටහන ‘සුපිරි හපනා’ මඟින් බිහි වූ සුපිරි තරු තුන පසිඳු මතීෂ, විමුක්ති අභිමාන්. සජනි ජයනෙත්ති වත්මන් පරපුරට මහත් වූ ආදර්ශයක්.
 

ලසන්ති

වැලිමඩ

රන්ජා චිත්‍රපටයට වඩා එය නිර්මාණය කිරීමට පාදක වූ එම කතාවම ඇතුළත් ටැමිල් චිත්‍රපටය බලන්න මට ආසයි. අනේ අපේ රටේ තවමත් මෝඩ ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ. ඒ වගේම අනුන්ගේ නිර්මාණ කොපි නොකොට චිත්‍රපට හදන්න බැරි ඩිරෙක්ටර්ලා ගැන දුකයි.
 

හේමන්ත

උඩුනුවර

රහස් පරීක්ෂක කතාවක් එනතුරු අප බලා සිටියෙමු. සූරියභානු අපේ ඒ පවස සංසිඳ වීය. අනුර මාධව ජයසේකර මහත්තයෝ ඔබගේ උත්සාහය ඉතාම ඉහළයි. මම ඊට ප්‍රශංසා කරමි.
 

වරුණ ජයනාත්

අහංගම

ප්‍රතිචාර පිටුව සඳහා අවශ්‍ය වන්නේ ඔබේ වෙනස්ම වූ අදහස්ය. එදිනෙදා දකින අසන කලා නිර්මාණ ගැන ඔබට දැනෙන දේ ක්ෂණිකව 0752805047

අංකයට එවන්න. ප්‍රතිචාර තැපෑලෙන් හෝ සටහන්පත්වලින් එවන්නේ නම්

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවිය හැකිය.