|
දිරිය මිනිසකුගේ උදාන කතාව
ලෝකය අයත් විය යුත්තේ පරදින්නන්ට නොව දිනන්නන්ට බැව් මගේ විශ්වාසයයි. ලෝකය ගොඩ නැඟී ඇත්තේ ද දිනූ මිනිසුන්ගේ උත්සාහයෙනි. ඔවුන් දිනන්නේ බුද්ධියෙනි. පරිකල්පනයෙනි, අප්‍රතිහත ධෛර්යයෙනි. සැබෑ මිනිසකු කවර තරම් පසුබෑමකදී වුව ද උකටලීව නොයයි. ඔහු ජීවිතයට මුහුණ දෙයි. උපන්නොත් මිය යනතුරු ජීවිතයට මුහුණ දිය යුතුය. මොකද්දෝ අහේතුවකට අපේ රටේ මාධ්‍ය මඟින් වැඩිපුර ඔසවා තබනු ලබන්නේ පරාජිත මිනිසුන් ගැනය. වැඩ වර්ජනයකින් දොට්ට දමා රැකියාව අහිමිව ජීවිතයට මුහුණ දී ගත නොහැකිව අකාලයේ දිවි නසා ගන්නා මිනිසුන්ගේ ශෝකාලාප පිළිබඳ පිටු ගණන් ලිපි ලියැවෙයි. ඒ වැඩ වර්ජනයේදීම ඔහු මෙන්ම මහ මඟට වැටුන ද එය ආශිර්වාදයක් කර ගනිමින් උන් තැන මෙන් දහස් ගුණයක් ඉහළින් ජීවත් වන දිරිය මිනිසුන් පිළිබඳ අපේ අවධානය යොමු කරනුයේ ඉතා අඩුවෙනි.
මෙරට කලා ක්ෂේත්‍රයේ කිරුළු පළන් මිනිසුන් අතර හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් මගේ
සම්භාවනාවට පාත්‍ර වන ප්‍රධාන කාරණාව නම් ඔහුගේ ඔහු මෙලොව එළිය දකිනුයේ රිදී හැන්ද කට ගසා ගෙන නොවේ. ජීවිතය දිනා ගැනීම සඳහා අනේක විධ දුක් විඳින්නට ඔහුට ඉරණම සකසා තිබිණි. එහෙත් ජෝතිපාලයන් තුළ එක් අභිලාෂයක් විය. ඒ කවදාක හෝ ගායකයකු වන්නටයි. ් දන්නා තරමින් ඔහු සංගීතය විෂයය කොට හැදෑරුවෙක් නොවීය. අහළ පහළ බජව්වක, නැතිනම් රැකියාව කරන තැනක ගීයක තාල අල්ලන්නට ජෝතිපාල පසුබට නොවූවා විය හැක. ඔහුගේ ජීවන වෘත්තාන්තයේ එක තැනක මහත් වැර වෑයම නිසාම චිත්‍රපටයක ගී ගයන්නට ඔහුට අවස්ථාව ලැබුණ වග සඳහන් වෙයි. ඒ ‘පොඩි පුතා’ චිත්‍රපටයේය. හින්දි බසෙන් තැනුණ ‘සීමා’ චිත්‍රපටයේ එන ගී තනුවක් අනුව යමින් ලියැවුණු ‘මේ ලෝකේ නවාතැන වේ’ ගීතය මුලින් ගායනා කරන ලද්දේ ජෝතිපාලයන්ය. අද මෙන් නොව තාක්ෂණය මහා හරඹයක්ව නොතිබූ එකල එබඳු අවස්ථාවක් ලද ගැටවරයකුගේ සිතෙහි ඇතිවන උන්මාදය විස්තර කළ හැක්කේ එම අත්දැකීමට මුහුණ දුන් අයකුට පමණි. එදවස සාමාන්‍ය මිනිසකුට ඇතුළු විය නොහැකි චිත්‍රාගාර, ශබ්දාගාර සහ දේවත්වයෙන් ඇදහූ මිනිසුන් ඇස් පනාපිට දැකීම එබඳු වකවානුවක සතියක් හෝ මාසයක් පමණක් නොව එයටත් වඩා කාලයක් වර්ණනා කළ හැකි විෂයයක් වන්නේය. කොටින්ම කියනවා නම් බොහෝ වැර වෑයමින් මුදල් උපයා දඹදිව වන්දනාවේ යන ගැමි ගැහැනියකට හෝ සෝමාවතියේ බුදු රැස් විහිදෙනු දකින බැතිමතෙකුට එය ජීවිත කාලය පුරාවට අන් අය හමුවේ මහත් උද්දාමයෙන් සිහිපත් කළ හැක්කක් වෙයි. එදා එච්. ආර්. ජෝතිපාලයන්ට චිත්‍රාගාරයකට ඇතුළත් වන්නට ඉඩ ලැබීම හා එහි වූ දේ එබඳු මහත් අභිමානයෙන් කතා කළ හැකි අවස්ථාවක් විය. එහෙත් චිත්‍රපටයේ අදාළ ගීයේ ඇසෙනුයේ ජෝතිපාලගේ හඬෙන් නොවේ. එබඳු මොහොතක කෙනෙකුට ඇති වන හැඟීම විමසා බැලිය හැක්කේ ද එවන් වූ ඉරණමකට මුහුණදීමෙන් පසුවය. පසු කලෙක ජෝතිපාලයන් කියන පරිදි එදින තමන්ට දිවි නසා ගැනීමට තරම් සිත රිදුන දවසක් විය. ඔහුගේ ගීතය ප්‍රතික්ෂේප වන්නට හේතුව ලෙස දකින්නේ ඒ හඬ ගීත පටිගත කිරීම සඳහා නුසුදුසු බොල් හඬක් ලෙස එහි සිටියවුන් අර්ථ දැක්වීම නිසාය. තවත් දවසක චිත්‍රපටයක පසුබිම් ගී ගයන්නට ඉන්දියාවට යන ගමන රත්මලාන ගුවන් තොටුපලේදී නතර වෙයි. ඒ විදේශ ගතවීමට නම් විදෙස් ගමන් බලපත්‍රයක් තිබිය යුතු යැයි ඒ වන තෙක් ඔහු දැන නොසිටි නිසාවෙනි. වෙන මිනිසකුට නම් මේ අවස්ථා දෙකම තම ඉලක්කය සපුරා නොගෙන උකටලී වන්නට හෝ ජීවිතයෙන් සමු ගන්නට හෝ තරම් ප්‍රමාණවත්ය. එහෙත් සැබෑ වීරයකු කිසි කලෙකත් පසුබාන්නේ නැත. වසන්තා සන්දනායක නම් ඒ යුගයේ අතිශය ජනප්‍රිය ගායිකාව ‘මහවැලි නදියේ’ ගීතය ගයද්දී ජෝතිපාල නම් ගැටවරයාට එක් අවස්ථාවක් ලැබෙයි. ඒ ‘තොටියෝ . . .’ නමින් පදයක් ගැයීමටයි. ඒ හඬ මෙරට අන් සියලු හඬ පරදවා මරණයෙන් මතු ද පවතින්නක් වනු ඇතැයි ඒ යුගයේ කිසිවකු හෝ සිතන්නට නැත. එතැන් පටන් තවත් වසර ගණනාවක් යනතුරුම ජීවත් වූ කාලය මත්තේ ද ජෝතිපාලයන් අත් වින්දේ කීර්තිය පමණක් නොවේ. හැකි හැම විටම ඔහුට අදාල තැන ලබා නොදෙන්නට බොහෝ දෙනා වලි කෑහ. එහෙත් සුභාෂිතයේ පවසන පරිදි සඳුන් ගස කපා දමන්නට දමන්නට සුවඳ හමන්නා වූ උදාහරණය ජෝතිපාලයන් සම්බන්ධයෙන් වඩාත් නිවැරැදි අර්ථ කථනයක් වන්නේය. මෙරට චිත්‍රපට පසුබිම් ගායනය සම්බන්ධයෙන් බොහෝ සිනමා විනිශ්ච මණ්ඩලයන් විසින් දෙනු ලබන අර්ථකතනයන් වැරැදි බව මගේ අත්දැකීමයි. මාද සාමාජිකත්වය හෙබ වූ එක්තරා විනිශ්චය මණ්ඩලයකදී මම එක් මහාචර්යවරයකු සමඟ මේ සම්බන්ධයෙන් දැඩි මතවාදයක පැටලුනෙමි. අවසානයේ ජූරි සභාවේ සෙසු සියලු සාමාජිකයන් මගේ තර්කය පිළිගත්තේය. මහාචාර්යවරයා පමණක් තමාගේ ශාස්ත්‍රීය දැනුමට අපහාස කළේ යැයි මට දරුණු චෝදනාවක් නැඟීය. මගේ තර්කය වූයේ චිත්‍රපට ගීතයක් විනිශ්චයකදී අර්ථ දැක්විය යුත්තේ ගීතය රූප හා බද්ධ වන අයුරින් විනා එය එහි රූප රාමුවෙන් වියුක්ත කොට රස විඳීමෙන් නොවේය යන්නය. ජෝතිපාලයන්ගේ ගීත සිනමාවෙන් බැහැර කොට ද රස විඳින බව සියයට සියයක් ඇත්තය. එහෙත් ඔහු ගැයූ ගීත අතරෙන් බහුතරයක් වඩා අර්ථ ගැන්විය හැක්කේ චිත්‍රපට රූප රාමු හා බද්ධ කිරිමෙනි. ජෝතිපාලයන් ජීවත්ව සිටි සමයේ ඒ ආකාරයෙන් විනිශ්චයට තෝරා ගත්තේ නම් ඔහු ලබන සම්මාන සංඛ්‍යාව වඩාත් ඉහළ යනු සත්තය. කෙසේ වෙතත් රූපයට පණ දෙන්නට ජෝතිපාලයන්ට තිබුණේ අපූර්වතම හැකියාවකි. ඔහු විසින් සරල ගීයක් කොට ගයනා ලද ‘අඬන්නේ ඇයි සුදු මැණිකේ’ මුල් ගීතය ශ්‍රවණය කරන්නෙකුට ඔහුගේ හැඟුම්බර හඬ දහසක් රූප රාමු මවන්නක් බැව් යන හැඟීම මතු වීම පුදුමයක් නොවේ. මට ජෝතිපාලයන් මුණ ගැසී ඇත්තේ එකම එක වතාවක් පමණි. ඒ විසි හත් වසරකට පෙර ජූලි මාසයේ දිනක නාරාහේන්පිට කිරුළ පාරේ ලංකා චිත්‍රාගාර භූමියේ එවකට පැවැති නෙකෝ ශබ්දාගාරයේදීය. ‘සිතු දේ නොම වෙයි - නොසිතු දෙයක් වෙයි’ යනුවෙන් තැනෙන චිත්‍රපටයක ගී පටිගත කරනු බලන්නට මම ලංකා චිත්‍රාගාරයට ගියේ ආධුනික පුවත්පත් කලාවේදියකු හැටියටය. එහි නිෂ්පාදක කණ්ඩායම ජෝතිපාලයන් රැගෙන ගියේ මා ගිය රථයේමය. චිත්‍රපටයේ නම පරිද්දෙන්ම එදා එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කරන ලද ගීතය ඔහු චිත්‍රපටයක් වෙනුවෙන් ගායනා කරන ලද අවසාන ගීතය විය. ඉන් සිව් දිනකට පසු පාන්දර ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ මේ මහා ගායකයා මිය ගිය බවය. අපේ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ හෘද සාක්ෂිය අවදි කොට සැබෑ යුක්තිය ඉස්මතු කරවන්නට තරම් ජෝතිපාලයන්ගේ හදිසි මරණය බලවත් විය. විසි හත් වසරක් මුළුල්ලේ ද ජෝතිපාලයන් වඩාත් ජීවමාන සාධකයක් බැව් නොකියා සිටින්නේ කෙලෙසද? උකටලීව පසු බසින මිනිසුන් පිළිබඳ දිරියෙන් දිනන්නට නම් කිව යුතු, කියවිය යුතු හොඳම ජීවන වෘත්තාන්ත අතරට ජෝතිපාලයන් එක් කරන්නට මා කිසි විටෙකත් මැළි වන්නේ නැත. ඔහුගේ ගායනය දෙවැනි වන්නේ නම් ඒ දෙවැනි වනුයේ දිරියෙන් නැඟී සිටි ඔහුගේ ජීවන වෘත්තාන්තයටම පමණි. |