|
‘සල්ලි’ සොයා මොල්ලිකුලම් ගියෙමු
2014. 06. 22 මම අද වෙනදාට වඩා වේලාසනින් නැඟිට්ටා. පහුගිය දවසක උපාලි අයියත් එක්ක කතා කර ගත්තු ගමන යන්නේ අද උදේ. මීගමුව, හලාවත, පුත්තලම හරහා කල්පිටිය තමයි අද අපේ ගමනේ මඟ සටහන. ‘සල්ලි’ වේදිකා නාට්‍ය රැගෙන රණවිරුවන් සොයාගෙන යන තවත් ගමනක ආරම්භය අද. වේලාසනින් නැඟට්ට හින්දදෝ මන්දා වේලාව යන්නේ හරිම හිමින්. හත වෙනතුරු කාගෙන්වත් ඇමතුමක් නැහැ. හිටි හැටියේම දුරකතනය නාද වුණා. ‘මල්ලි අපි දැන් එන ගමන්’ සුබ පැතුමක් ද එක් කරමින් කතා කළේ උපාලි අයියා. ඒ වෙන කොට තුසිතත් බස් රථයට ගොඩ වෙලා. තව විනාඩි කිහිපයකින් මමත් ඒ ගමනේ සාමාජිකයෙක් වෙනවා නේද කියන සතුටින් සිත එකවරම පිනා ගියා.
තවමත් බස් රථයේ තුසිතයි මමයි උපාලියි විතරයි. නාවුක හමුදාවේ තිදෙනෙක් බස් රථය ගොඩ වුණු අපව පිළිගත්තේ ඉතාමත් උණුසුම් අයුරින්. තැනින් තැන හිටපු නාට්‍ය කණ්ඩායමේ නඩේ එකතු කරන් අපි ආයේ ආවේ කොටුව දුම්රියපොළ ළඟට. එතෙන්දි නඩේ එකතු කරලා ඉවර වුණේ අලුත් ගමනක්, අලුත් බලාපොරොත්තු රැසක් වගේම අලුත් සබඳතා ගොඩක් හිතේ තියාගෙනමයි. එකිනෙකාට හිනා වුණු පිරිස හරියටම සබඳතාවය ගොඩ නඟා ගත්තේ මීගමුව පහු වෙලා ටික දුරක් යද්දී. පිරිමි පාර්ශවය සීට් 52 බස් එකේ පිටුපස ආසනවල. ටිකෙන් ටික මිමිණෙන ගීත බස් රථයේ නව සබඳතා තැනෙන්නට පටන් ගත්තා.
කොහොමින් කොහොම හරි ගම් දනව් නගර පහු කරලා අපි ආවේ කල්පිටියට. කල්පිටියට එන්න කල්ගත
වුණා තේරුණේ නෑ කියලයි හැමෝම කිව්වේ. කොල්ලන්ගේ භාෂාවෙන් ‘පට්ට ආතල් ගමනක්’.
කාන්තාවන්ගේ භාෂාවෙන් හරි ෂෝක් ගමනක්. සිඳුදියවර සිපගෙන එන ලවන මිශ්‍ර ආගන්තුක සුළං රැල්්ලෙන් පහස ලබන ඇඟපත සිහිල් සුපිරිසුදු ජලයෙන් දෝවණය කරගන්න ලැබීම හැමෝටම හිතට ගෙනාවේ සතුටක්. ඊළඟ මොහොතේ ඈත දියඹ අතරින් හැපෙමින් ගලාගෙන එන සුන්දරත්වයේ නිමැවුම හැමෝම බලන් උන්නේ හරිම සතුටින්. කල්පිටිය නාවුක හමුදා කඳවුරේ සියළු දෙනාම ‘සල්ලි’ වේදිකා නාට්‍ය බලන්න හිටියේ හරිම ආසාවෙන්. පැරැණි කොටු පවුර මධ්‍යයේ ඉදි වූ දැවැන්ත හුදෙකලා වේදිකාව මත ‘සල්ලි’ පෙන්නන්න හැම දේම සූදානම්. ඒත් තවමත් උපාලි පේන්න නැහැ. ‘කෝ උපාලි අයියා’ නාට්‍ය කණ්ඩයමේ නළුවන් ඇවිත් ඇහුවේ කලබලයෙන්.
‘මං ගියා ෂර්ට් එක ඉරාගෙගන එන්න’ මමයි තුසිතයි මූණට මුණ බලාගන්නවා උපාලි දැක්කේ ලාවට වැටුණ සඳ එළියෙන්. ‘ඇයි ගෙදර වැඩ කරන එකා මෙච්චර ලස්සනට ඇඳුම් අඳිනවානං හාමුලට අඳින්න වෙන්නේ රත්තරනින් හදපු ඒවා’ උපාලි කිව්වේ නාට්‍ය කණ්ඩායමේ හැමෝම වගේම වේදිකා පරිපාලනයට නාවුක හමුදාවෙන් ලබාදීලා තිබුණු පිරිසත් හිනාවේ ගිල්වමින්.
හැමෝගේම හෘදයාංගම සුබපැතුම් මැද්දේ අලුත් ගමනේ පළමු නාට්‍ය වාරව ඇරැඹුණේ
උත්සවශ්‍රීයෙන්.
ආරම්භයේ ඉඳලම අවසානය වන තෙක්ම හාස්‍ය මුසු වින්දනය රැගත් ‘සල්ලි’ රැස් වෙලා සිටි හැම දෙනාගේම සියළුම ප්‍රශ්න මොහොතකට අමතක කළ ගාණයි. ඒ තරමටම කල්පිටිය නාවුක හමුදා කඳවුර සිනහවෙහි ගිල් වූ ‘සල්ලි’ අවසාන වුණේ නෙතු අග ආඩම්බරයේ කඳුලු බින්දුවක් රන්දමින්. නාට්‍ය අවසානයේ කණ්ඩායමේ සියලු දෙනා එක්ව ගයන ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ’ ගීතය මහ හඬින් ගයද්දී අප හැම නෙතු අගට කඳුලක් ඉතිරි වූයේ ඒ විරු සොයුරන්ගේ සේවාවේ අභිමානය සමරමිනි.
උපාලිගේ මේ සද්කර්තව්යයට අමිල වටිනාකමක් ද ඔවුන් එක් කළේ හද පිරි බැතියෙන්.
2014. 06. 20 කල්පිටියෙන් නාවුක හමුදා කඳවුරේ දී ලැබුණු සුවදායක නින්දෙන් ඇහැරුණු නඩයේ සියළුම දෙනා කලපු දියවර මත වෑස්සෙන හිරු කෙඳින් මවන චිත්රයේ අසිරිය නරඹන සුන්දර උදෑසනයි මේ. තුන් දෙසකින් කලපුවෙන් වට වූ මේ සුන්දර බිම් කඩෙහි තැන තැන ගිමන් නිවන නාට්‍ය නඩය ඒ අතරතුර පුහුණුවීම් කටයුතුවල යෙදෙන්නේ සාමුහික කටයුත්ත අකුරටම ඉටු කළ යුතු නිසාමය. ඒ අතරතුර උපාලි සහ සමන්ලතා 1996 වසරේ සිට ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට රස සැපයූ මේ නාට්‍යයේ සුන්දර මතක මෙනෙහි කරමින් අප සමඟ සුවිසල් නුග රුක පාමුලය. ‘ඒ දවස්වල යුද්දෙ. අපි නාට්‍යය පෙන්නනවා. කිලෝ මීටර් 4, 5 ක් දුරින් දරුණු සටන්. ඇතැම් වෙලාවට වෙඩි හඬ පවා ඇහෙන මානේ ඉඳන් තමයි ඒ කාලේ වීර සෙබලුනට නාට්‍ය පෙන්නුවේ. ඒක නං අමතක නොවෙන අත්දැකීම් එකතුවක්.
නාට්‍ය කණ්ඩායම කල්පිටියේදී පෑ දස්කම් මෙන්ම විස්කම් ආස්මිතය. නාවුක සෙබළුන්ගේ හිතට සුවදායක බවක් එක් කළ නාට්‍ය කණ්ඩායම පුත්තලමේදී ද ඒ හැකියාවන් පෑවෝය. පුත්තලමට පසුව අද සවස මොල්ලිකුලම් බලා පටත්ව යා යුතුය. අන්තර් ජාලයේ මඟ පෙන්වීමට අනුව එය දිගු සුන්දර ගමනකි. විල්පත්තු වන වියල අතරින් දිවෙන රළු ගුරු පාර දිගේ ගමන වැටී තිබේ. ඉඳහිට හමුවන පතොක් පඳුරු මෙන්ම දුලබ දියකඳුරු මේ මඟ දෙපස වර්ණවත් කරයි. ශුෂ්ක කලාපයට ආවේණික තුරු ලතා මණ්ඩපයන්ගෙන් සුපෝෂිත වූ මේ මඟ අප සැමට ආගන්තුකය.
හැන්දෑව සුවදායක වුව ද සුන්දර පරිසරයෙන් ප්‍රාණවත් වූ ගත ද ගමනට සූදානමිනි. ‘වල්
අලි ඉන්නවා පාර දිගටම’ බස් රථයේ අපගේ ආරක්ෂාවට උන් නාවුක සෙබලා පවසන්නේ ගණනකට
නොගනිමිනි. ඔවුනට මේ ගමන සාමාන්‍ය උවද අපට අසාමාන්‍ය වූ එකකි. කඳමළු කරපින්නා ගෙන
අප මොල්ලිකුලම් නාවුක හමුදා කඳවුරට ළඟා වුණේ රාත්‍රී හතට අටට පමණය. නාවුක හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උණුසුම් පිළිගැනුම මැද අප මොල්ලිකුලම් බිම දෙදිනකට අපේ කර ගත්තේ අනවසරයෙනි.
2014. 06. 24 අද උදේ පාන්දර වෙනකල්ම දැනගෙන හිටියේ මොල්ලිකුලමට ආව කියලා විතරයි. මහ රාත්‍රියේ මුණගැසුණ සද්දන්තයාගේ ගාමිභීර තේජාන්විත බව තවමත් හිතින් මැකිලා ගිහිල්ලා නැහැ. දැන් නාට්‍ය කණ්ඩායමේ හැමෝම අපේ සහෝදර සහෝදරියන් තරමට සමීපයි. ඉඳහිට අප අතරේ ඇතිවන විහිළු තහළු නිමක් නැහැ. මොල්ලිකුලමේ තියෙන්නේ සුන්දර නාවුක හමුදා කඳවුරක්.
රාජකාරිය දේවකාරිය කරගත් නාවුක සෙබළුන් රඟහල වෙතට පැමිණියේ දෙනෝරාවක රසය විඳ ගැනීමේ නොනිමි ආශාවෙන්. නළු නිළි පිරිස සමඟ සුහද කතාබහක යෙදුණු පිරිස සුවදායක ආසනවල ඈඳි ගත්තේ වේදිකාව දෙස නෙත් යොමමිනි. වේදිකාව ඉදිරියේ සියළු කටයුතු සූදානම් වෙද්දී වේදිකාව පිටුපස නළු නිළියන්ගේ විහිළු තහළුවල නිමක් නැහැ. ඉතාමත් සහෘද මේ නළු නිළි කණ්ඩායම තමන්ගේ රඟපෑමේ කටයුත්ත අකුරටම කරන්නට වෙහෙසෙන්නේ මේ හමුදා සෙබළුන් රසවත් කිරීම ඒකායන අරමුණ කොටගනයි. මොල්ලිකුලම් හි දර්ශන වාර ද්විත්වයක් පෙන්වා අවසන් වූ රාත්‍රිය සුන්දර වූ එකකි.
2014. 06. 25 අද නාට්‍ය කණ්ඩායමට නිවාඩු දවසක්. ඒ නිසාම අද සහෘද කතාබහ බොහෝමයි. ඒ නිසාම හැමෝම එකම තැනකට වෙලා ජීවිතේ අත්දැකීම් බෙදා ගන්නේ හරිම ආදරයෙන්. මෙම නාට්‍ය කණ්ඩායමට නිරතුරුවම උපදේශනය සපයන පූජ්‍ය බෝපැත්තේ මෙත්තජි හිමියන්ගේ සංවේදී කවි බණ පදයක අදහස් ලබන්නටත් මෙම කණ්ඩායමට වාසනාව උදා වූයේ අපට ද අමරණීය සිහිවටනයක් එක් කරලමිනි. කරදිය මුසු වියළි සුළං රැලි අතරේ දවස ගෙවිලා ගියේ හෙට දවසට තවත් බලපොරොත්තු එකතු කරමිනි. මමත් තුසිතත් රාත්රිියේම මොල්ලිකුලමෙන් නික්මුණේ හෙට දවසේ බලාපොරොත්තු රැසක් ඉතිරි කර ගනිමින්.
රංග පිරිවර
* උපාලි කීර්තිසේන
|