|
රඟන අයියයි ලියන මල්ලියි හමුවුණු දවසක්
ශි‍්‍රයන්ත හා අජිත් මෙන්ඩිස් අයියා මලෝ සමඟ සතුටු සාමිචිය
‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා’ ශ්‍රියන්ත වගේම අජිත් මල්ලිත්, නංගිත් අප්පච්චිට අත්වැල ඇල්ලුවා. ‘නිතරම වගේ ඇහෙන මේ සාජ්ජේ රාගම ගමේ අයට නම් පුදුමයක් නෙවෙයි’
‘ඒක තවත් අර්ථවත් වෙන්නේ අප්පච්චි දෙකක් දාගත්ත වෙලාවට. එතකොට නම් මුළු ගමටම ඇහෙන්න ඔහු ‘නාමෙ නොදිරනා’, ‘පරම රමණී’ වගේ පැරැණි චිත්‍රපට ගීත ගයනවා. ඒ සෑම ගීතයක්ම අදටත් අපේ හිතේ තියෙන්නේ ඔහු නිසා කිව්වොත් නිවැරැදියි.’ අජිත් මෙන්ඩිස්, ශ්‍රියන්තගේ මල්ලිත් කතාවට හවුල් වුණා. වර්තමානයේ ඉන්න ශ්‍රියන්ත මෙන්ඩිස් කියන රංගන ශිල්පියාවත්, අජිත් මෙන්ඩිස් කියන පිටපත් රචකයාවත් නිර්මාණය වීමේ මූලික අඩිතාලම වැටෙන්නේ ඒ විදියට. ශ්‍රියන්ත රංගනයෙන් හක්කලං පාන කොට තිරය පිටුපස ඉඳගෙන හක්කලං පෑවේ අජිත් මෙන්ඩිස්. ඒත් බොහොම දෙනෙක් නොදන්න කාරණයක් තිබුණා. ඒ අජිත් කියන්නේ ශ්‍රියන්තගේ මල්ලි කියලා. මේ අපූරු අයිය, මලෝ මුණ ගැසෙන්න අප පසුගිය දිනෙක ශ්‍රියන්තගේ නිවසට ගියා. පරණ පුරුද්දට වගේ අතීත මතක අතර ගිලිලා හිටිය නිසාදෝ ශ්‍රියන්ත ‘පෙර දිනයක පෙම් කළ යුවතිය’ ගයනවා. අජිත් ඊට තාලය ඇල්ලුවා. ‘කාලයකට පස්සේ මුණ ගැහුණ වෙලාවේ අපි මේ අතීතයට ගිහින් ආවා. ඒකත් කොයි තරම් දෙයක්ද?’ සුපුරුදු සිනහවත් මුවඟ රඳවා ගත් ශ්‍රියන්ත නැවතත් කතාව ආරම්භ කළා. ‘ඇයි අයියේ සීයගේ කතන්දර ඔයාට මතක නැද්ද?’ අජිත් තවත් පරණ කතන්දරයක් මතකයට නැඟුවා. ‘ඉස්සර අපිව වට කරගෙන සීයා කතන්දර කියනවා. එයා හිටියේ බූරු ඇඳක. අපිත් ඉතිං බූරු ඇඳේ වාඩිවෙලා එයා කියන අරාබි නිසොල්ලාසයේ කතා, මුවන් තිස්ස කුමාරයගේ කතාව, කාපිරි කුමාරයගේ කතාව, ඔරිසන් පාලෙන්ටන්ගේ කතාව අහගෙන ඉන්නේ කට ඇරගෙන. සමහර දවසට මේ කතා අහන්න වටේ පිටේ ඉන්න ළමයි කිහිප දෙනෙකුත් එකතු වෙනවා. ටික වෙලාවකින් දන්නේම නෑ අපි හැමෝටම නින්ද ගිහින්’ ශ්‍රියන්ත තමන්ගේ කුඩා අවදියට පිය නැඟුවා. ‘මම හිතන්නේ පිටපත් රචකයකු කිරීමේ මූලික අඩිතාලම නිර්මාණය කරන්නේ අප්පච්චි වගේම සීයා. ඒ කතා මට තවමත් මතකයි. ඒ කතාවලට තියෙන ආශාව මාව පොතපත කියවන්න නැඹුරු කරනවා. කලාවට හිතැති මිනිසුන් කරනවා’. අජිත් කියන පිටපත් රචකයා බිහිවීම ඔහුගේ හිතේ රුඳුණේ ඒ ආකාරයට බවයි ඔහු කිව්ව කතාවෙන් අපට හැඟුණේ. තවත් අතීතයේ දවසක සිද්ධ වුණු අපූරු සිද්ධියක් ඔහු මතකයට නැඟුවා. ‘එදා මමයි අයියයි හිටියේ කඩුල්ල ළඟ. සවස හයට විතර කඩුල්ල දමන්න ආව අපි ළඟට ආවෙ ගමේ කොල්ලො කට්ටියක්. ඔවුන් අපට කොළඹ යන්න කතා කළා. අපිත් දෙපාරක් හිතන්නේ නැතිව ඔවුන් එක්ක කොළඹ ආවා. කොළඹ සිරිය නරඹලා රාත්‍රී 12.00 ට පටන් ගත්ත ‘තුෂාරා’ චිත්‍රපටයත් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවෙන් නැරැඹුව අපි හැමෝම ගෙදර එන්න පිටත් වුණා. දැන් ඉතිං පාන්දර තුන විතර වෙලා. දුම්රියට නැග්ග අපි බහින තැන කෝච්චිය නතර කළේ නැහැ. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හැමෝම කේච්චියෙන් පැන්නා. ඒ පැනලා තිබුණේ මඩ ගොඩකට. ඒ හපන්කම් අවසාන වෙලා ගෙදර යන කොට උදේ හත විතර වෙලා. මේ වන විට කඩුල්ල දමන්න ගිය ළමයින්ට මොකද වුණේ කියලා ගෙදර හැමෝම බය වෙලා. අපි දෙන්නට හොඳ වේවැල් කසායක් ලැබුණා අප්පච්චිගෙන්. ශ්‍රියන්තගේ හිනාව මුළු නිවෙසෙම විහිඳුණා. ‘ඇයි ඔබ දෙපළගේ කලා ජීවිතයට පාසල බලපෑවේ නැද්ද?’ ‘අපි දෙන්නම ගියේ කතෝලික පෞද්ගලික පාසලට. එහි නිතරම වගේ පෙන්නුවේ ෂේක්ස්පියර්ගේ නාට්‍යය. අපි ඒවා බලන්නේ ජනේලයෙන් එබිලා. සිංහල නට්‍යයකට කියලා පෙන්නුවේ’ සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’. ඒ වේදිකා නාට්‍යයත් අපේ කලා ගමනට ආශිර්වාදයක් වුණා’ අජිත් උත්තර බැන්ඳා. ‘මේ නාට්‍ය නරඹන අවස්ථාවේ මගේ හිතේ අපූරු සිතුවිල්ලක් ඇති වෙනවා කවදා හරි නළුවෙක් වෙන්න ඇත්නම් කියලා. ඒ විතරක් නෙවෙයි, මේ වේදිකා නාට්‍යයේ රඟපාන්න ඇත්නම් කියලත්. අපේ ඇතුළේ ඉන්න සංස්කෘතික මිනිසා නිතරම ඉන්නේ නිද්‍රාගතව කියලා මම නිතරම වගේ කල්පනා කරන දෙයක්. එහෙම කියන්නේ අද වන විට ඒ සියල්ල සැබෑවක් බවට පත් කරගන්න මට හැකියාව ලැබෙන නිසයි. ඉලක්කගත සැලසුම අපව අද මෙතනට අරගෙන ආවා. තමන්ගේ හිතේ ඉපදෙන ඉලක්කයට යන්න ඒ සැලසුම බොහොම වැදගත්’. ශ්‍රියන්ත පාසලේ අතීතයට පිවිසිලා. එහෙත් ඔවුන්ව පාසලේ නාට්‍යවලට ගත්තෙත් නෑ. ඔවුන් ඒවට යන්න උත්සාහ කළෙත් නැහැ. ඔවුන් හොඳට ඉගෙන ගත්තා. විද්‍යා විෂයයන්වලින් ඉගෙන ගත්ත ශ්‍රියන්ත, අජිත් නාට්‍යවලට තිබුණු ආශාව නිසාම ලුම්බිණියේ හොඳ ප්‍රේක්ෂකයෙක් වුණා. නාට්‍යවලත් රඟපෑවා. ‘ඒ 70 දශකය. මුළු කලා මාධ්‍යවලම පිබිදීමක් ඇති වෙලා තිබුණු යුගයක්. ඒ පිබිදීම අපේ සිත්වලත් තිබුණා. මුලින්ම අපේ ගෙදර නැවතිලා හිටිය සේනක පෙරේරා (යමුනා මාලිනී ගේ සැමියා) අපේ හොඳ මිත්‍රයෙක්. ඔහුටත් මේ කලා උණ වැලඳිලා තිබුණා. ඔහු කේ. බී. හේරත්ට කියලා ‘ඉල්ලිස’ කියලා නාට්‍යයක් ලියවගෙන ආවා. ඒකේ මම රඟපෑවේ දොරටු පාලගේ චරිතය. ඒක බොහොම හාස්‍ය, විනෝදය පිරුණු චරිතයක්. මල්ලිත් ඒකේ රඟපෑවා. ඒ ඔහු මඟියෙක් විදියට. මේ නාට්‍යයට ගතවුණේ පැයක් වගේ කාලයක් නිසා, අපි ඒ කාලයේ සිටිය ජී. එල්. චන්ද්‍රපාල කියන කෙටි නාට්‍යකරුවාවත් මීට සම්බන්ධ කර ගත්තා. ඔහුගේ ‘සතුරෝ’ නාට්‍යයත් එදා රඟ දැක්වුණා. ඒ 1976 නොවැම්බර් මාසයේ රාගම තලගොල්ල කියන ඉස්කෝලේ තමයි මේ නාට්‍ය දෙක වේදිකා ගත වුණේ. අපේ රංගනයට පිවිසීමේ මුල්ම බීජය නිර්මාණය වුණේ එහෙමයි. ඊට පස්සේ මම ගමේ අය අතර ජනප්‍රිය චරිතයක් වුණා.’ අද වගේම ශ්‍රියන්ත එදත් ජනප්‍රිය චරිතයක්. මේ සියලු දෙනාම එකතු වෙලා නාට්‍ය කණ්ඩායමක් නිර්මාණය කර ගත්තා. ‘ඒ කණ්ඩායමට ජයන්ත චන්ද්‍රසිරිත් එකතු වුණු බව මට මතකයි. මේ කාලයේ සරසවිය පුවත්පත අපි නිතරම කියවනවා. ඒකේ තිබුණු එක් දැන්වීමකට අනුව සුදර්ශියට ගිය මම අයැදුම්පතක් ගෙනාවේ නාට්‍ය වැඩමුළුවකට දමන්නයි. ඒක දකින අයියාට ඒ වැඩමුළුවට යන්න උවමනා වෙන්නේ මේ අතරයි.’ අජිත් තමන්ගේ අයැදුම්පත අයියට දෙන්නේ බොහොම කැමැත්තෙන්. ‘එදා මල්ලි මට ඒ අයැදුම්පත නොදුන්නා නම් අද ශ්‍රියන්ත කියන නළුවා නොසිටින්න තිබුණා. කොහොම නමුත් නෝබට් ජේ. මයර්ගේ නාට්‍ය වැඩමුළුවට මම සහභාගි වෙන්නේ ඒ විදියට. එතැන අද ක්ෂේත්‍රයේ ඉන්න බොහොම දෙනෙක් හමුවුණු තැනක්.’ ‘ඇත්තටම අජිත් කියන නළුවාට මොකද වෙන්නේ’ මගේ සිතට නැඟුණේ ප්‍රශ්නයක්. ‘ ‘ඉල්ලීස’ නාට්‍යයෙන් පස්සේ මම රඟපෑම අත්හැරියා. මට රඟපාන්න බෑ කියලා මම දැනගත්තා. ඒත් මම ජී. එල්. චන්ද්‍රපාල මහත්තයාගේ සහයක විදියට කාලයක් වැඩ කරලා තිබුණු නිසා පිටපත් ලියන පැත්තට ඉබේම වගෙ තල්ලු වෙනවා. මුලින්ම මම පිටපත ලිව්ව ‘දෙයියන්ගේ පුංචි අක්කරය’ ලුම්බිණියේ යූත් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරනවා. මේ නාට්‍යයේ තමයි මුලින්ම අයියයි කුසුම් දෙන්නම එකට මුලින්ම රඟපාන්නෙත්. මේකේ නළුවෙක් නොමැති වීම නිසා මමත් නැවත එහි රඟපානවා. මට ඇරෙන්න අනෙක් චරිතවලට සම්මන කිහිපයක්ම ලැබෙන්නේ දෛවයේ සරදමට වගේ.’ අජිත්ගේ, ශ්‍රියන්තගේ මුහුණ බැලුවේ හිනා වෙවී. මෙයා ලියාදෙන පතරංග ජාතකය වගේ පිටු සංඛ්‍යාව දහයකට පහළොවකට මගේ අතේ සංස්කරණය වෙනවා. සමහර වෙලාවට ඉතිං ගෝරි ගොඩයි. මොකද මට එහෙම කරන්න පුළුවන් ඔහු මගේ සහෝදරයා නිසා. ඒත් නාට්‍ය කරන්න ගිහින් ඇනෙන සමහර තැනකදි ආයෙත් ඔහුගේ පිහිට පතනවා. එතකොට තමයි ඔහුගේ චෝදනාව එළියට එන්නේ. ඒ සියල්ල බොහොම සුන්දර රණ්ඩු තමයි.’ ශ්‍රියන්තගේ කතාවට දෙන්නටම හිනා. ‘අපේ නාට්‍ය කණ්ඩායමෙන් වෘත්තියක් විදියට රංගන වෘත්තියේ නියැළිලා ඉන්නේ මම පමණයි. අනෙක් අය අද වන විට විවිධ රැකියා කරනවා. මල්ලි වුණත් පිටපත් රචකයෙක් වුණත් ඔහු රැකියාව කරන්නේ ග්‍රැෆික් නිර්මාණකරුවෙක් විදියටයි. කොහොම නමුත් අපේ පවුලෙන් කලා ක්ෂේත්‍රයට දෙදෙනෙක්ම දායක වුණා’. මේ අතර වසර තිහකට පස්සේ අජිත්ගේ අධ්‍යක්ෂණයෙන් වේදිකා නාට්‍යයක් ළඟදීම විදේශ ගතවීමටත් නියමිතයි. මගේ ‘කෑම ලෑස්තියි’ වේදිකා නාට්‍යය ඉදිරියේදී මාස කිහිපයකටම ඔස්ට්‍රේලියාවේ යනවා. ඒ වගේම මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වෙන ‘මුල්’ කියන වෘත්තාන්ත ටෙලි නාට්‍ය මාලාව ගැනත් සඳහන් කළ යුතුමයි. ඒ පිටපත් ලියන්න මම ගොඩක් මහන්සි වෙනවා. පැරැණි මූලාශ්‍ර පොතපත පරිහරණය කරලා ලැබෙන සියලු කරුණු එකතු කරලා සංසන්දනය කරලා තමයි පිටපත ලියැවෙන්නේ. ඒක බොහොම වගකීමෙන් යුතුව කළ යුතු කාර්යයක්’. අජිත්ගේ ඒ කීමට ශ්‍රියන්ත අපූරු අදහසක් එකතු කළේ මෙහෙම. ‘ඒ වගේ වගකීමෙන් පිටපතක් ලියන රචකයෝ අද ඉන්නවා නම් ඒ බොහොම අල්පයයි’ අතීත සිතුවිලි අතර ගෙවුණු හෝරා කිහිපය බොහොම රසමුසුයි වගේම අර්ථවත් කියලා මට සිතුණා. ඒ අර්ථවක් හෝරා කිහිපයට ඔවුන්ට සමු දුන්න මා ඒ අතීතය සිතේ තබාගෙන පිය මැන්නේ බොහොම සතුටෙන්. |