වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජයන්ත විමලසේන අභාවප්‍රාප්ත වෙයි

ජයන්ත විමලසේන අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තකයකු වූ ජයන්ත විමලසේන අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු අසූ හයක් වූ ඒ මහතා සිංහල විශ්ව කෝෂයේ සංස්කාරකවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය කර්තෘවරයෙකි. පරිවර්ථන කෘති වෙනුවෙන් සිව් වරක්ම රාජ්‍ය සම්මානයන් පිදුම් ලැබූ ඔහු ‘හිමගිර උපන්නේ’ ‘නිදැල්ලේ’ ආදී ග්‍රන්ථ රැසක පරිවර්ථකවරයාය. විමලසේන මහතාගේ අවසන් කටයුතු පසුගියදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.


ඩී. ආර්. පීරිස් වියෝ වී දස වසරයි

ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු වූ ඩී. ආර්. පීරිස් මහතා වියෝ වී පසුගිය ජූනි පළමුවැනිදාට දස වසරක් විය. ඒ නිමිත්තෙන් ඩී. ආර්. පීරිස් පදනම මඟින් සංවිධානය කෙරෙන ‘තාල සර’ අනුස්මරණ ප්‍රසංගය ජූලි 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.


මොහිදීන් බෙග් සමරා පෙම් මල් මාලා 5 දා

අල්හාජ් මොහිදින් බෙග් ගැයූ ගීත ඇතුළත් ‘පෙම් මල් මාලා’ ගීත ප්‍රසංගය ජූලි 05 වැනිදා මරදාන ටවර් රගහලේදී පැවැත්වේ. එහිදී මොහිදින් බෙග් විසින් ගායනා කළ සුමියුරු ගීත රැසක් බාල පුතු වූ ඉලියාස් බෙග් විසින් ගායනා කිරීමට නියමිතය.


ආනන්ද කුමාරස්වාමි කෘතිය දොරට වැඩුම අද

මාධ්‍යවේදී සම්පත් බණ්ඩාරගේ නවතම කෘතිය ‘ආනන්ද කුමාරස්වාමි – විශ්වීය මිනිසකුගේ ජීවිතය සහ නිර්මාණ’ දොරට වැඩුම සහ සංකථනමය සැඳෑව මෙම මස 03 වැනිදා එනම් අද සවස කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


රේවතීගේ සාපය එළි දකී

පරිවර්තක තිලක කුඩාහෙට්ටිගේ ‘රේවතීගේ සාපය’ කෘතිය මේ මස 08 වැනිදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනයේදී එළි දකී.


‘අමර මියුරැසි’ මරදානේ දී

අමරසිරි පීරිස්ගේ ‘අමර මියුරැසි’ ඒක පුද්ගල ගී ප්‍රසංගය මේ මස 05 වැනිදා සවස 6.30 ට මරදාන ශාන්ත ජෝසප් විද්‍යලයීය ශාලාවේදී පැවැත්වෙයි. කථනය වසන්ත කුමාරගෙනි.


බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලිය 5 – 6 බොරැල්ලේ

සමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ පළමු වටය ජූලි 05 සහ 06 යන දෙදින තුළ බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව පළාත්වලින් ඉදිරිපත් වූ කෙටි නාට්‍ය අතරෙන් තෝරා ගැනෙන නාට්‍ය ජූලි මස 19, 20 දෙදින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ කෙටි නාට්‍ය උළෙල සැප්තැම්බර් මස 26, 27 සහ 28 යන දිනයන්හිදී බොරැල්ල තරුණ බෞද්ධ සංගම් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.