|
කිළිකුණු ඇති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්
සුගත් සමරකෝන්ගේ තිර රචනය ඇසුරෙන් ‘සරසවිය’ ගෙන එන කතාව02 කොටස
රජු තම අතැති කුසලානය ඉහළට එසැවූයේ එය හිස් බව හඟවන්නටය. අසල තැනක විවිධ මාදිලියේ බෝතල් පිරී තිබිණි. ඒ සියල්ලෙහි කැටයම් මැද ඉංග්‍රීසි අකුරු සටහන්ව තිබිණ. ගෙවුණු දවසේ සවස එහි පැමිණි ඉංග්‍රීසි නිලධාරියා ප්‍රියමනාප එකෙකි. වෙනදාට මාලිගයට ගොඩවදින අහංකාර පෙනුමැති නිලධාරියකු වෙනුවට මෙවර පැමිණ සිටින්නේ බොහෝ නිරහංකාර මිනිසෙකි. ඒ ද නිකම්ම නොවේ. රොබට් බ්‍රවුන්රිග්ගෙන් අති විශාල තෑගි සම්භාරයක් ද සහිතවය. මේ තෑගි භෝගවලින් සමහර දේ පසුගිය කාලය මුළුල්ලේ තමන් විඳි චිත්ත වේදනාවලට මහත් සැනසුමක් ගෙන දුන්නේය.
අහම්බෙන් තමන්ට රජකම උරුම වූ දා සිට මහනුවර සිටි ඇතැම් රදලයන් තමන්ට එරෙහිව
කුමන්ත්‍රණය කරන්නේ යැයි කන්නසාමිගේ සිතෙහි සැකයක් තිබිණි. ශ්‍රී වික්‍රම රාජසිංහ
ලෙස නම් කර ඔටුණු පැලැන්ඳුව ද තමා අයත් වන්නේ මේ ජන වර්ගයට නොවන බැව් රජුගේ සිතෙහි
නිරන්තරයෙන් පැවැතුණු හැඟීමක් විය. ඒ නිසාමදෝ ඔහු බොහෝ දෙනා දෙස බැලුවේ සැකයෙනි.
අන්තඞපුරයට ගෙන එන සුරූපී ලලනාවගේ ළමැදට තුරුළු වී නිදන රජු හිටිවනම පිබිදෙයි.
ඒ අසල පවන් සලන සේවිකාවකගෙන් ලැබෙන පවන ගත නිවද්දී මුළු සිරුරම දහඩියෙන් තෙමිනි. කිසිවකු හෝ සිරියහන් ගැබට විත් තම හදවත පලා ජීවිතය පැහැර ගනු ඇතැයි බියක් ඔහුගේ සිතේ හොල්මන් කරන්නට විය. රජකමට උරුමකම් කියා පලා ගිය මුත්තුසාමි ඉංග්‍රීසින් විසින් පාවා දෙනු ලදුව තම නියමය පරිදි මරා දමන ලද්දේ කලකට පෙරය. එහෙත් ඒ මුත්තුසාමිගේ කවන්ධ සිරුර කොයි මොහොතක හෝ රදලයන් සමඟ එක්වනු ඇත. එහෙත් බ්‍රවුන්රිග් විසින් එවනු ලබන වීදුරුවල පුරවා ඇති මධුවිත මේ සියලු බිය ද දුක්ඛ දෝමනස්ස ද පලවා හරිනු ලබන දිව ඔසුවක් බැව් රජු වටහාගෙන සිටියේය. අලුතෙන් පුරවන ලද මධුවිත තොලගාන රජු හීන්සීරුවේ බැලුවේ තමන් වටා සිටි ඇමැතිවරුන් දෙසය. මේ ඇමැතිවරුන් බහුතරය ස්වදේශිකයෝ වූහ. ඔවුන් අභිබවා තම වර්ගයාට මේ මිනිසුන් පාලනය කරන්නට ලැබුණේ මෙයින් ශත වර්ෂයකට උඩදීය. එය කිසිදු බලහත්කාරකමකින් පැහැර ගෙන නොවේ. ස්වදේශිකයන්ගේ රාජවංශය අහඹු ලෙස කෙළවර විණ. ඒ වනවිට ඔවුන් සිය බිරින්ඳෑවරුන් ලෙස සරණ පාවා ගත්තේ තම දේශයේ එනම් ඉන්දියාවේ මධුරා පුරයේ රාජකීය කුමරියන්ය. ඒ රාජ වංශය අනුව පුතෙකු නැති කළ කිරුළ පැවරුණේ භාර්යාවගේ සොහොයුරාටය. එතැන් පටන් තම වර්ගයාට මේ රමණීය දූපතේ වඩාත්ම සුන්දර හා සශ්‍රීක අඩවියක පාලනය සියතට ගැනීමට හැකිව තිබිණ. තමා ජීවත් වන සෙංකඩගල නගරය වටා මහවැලි ගඟ පවුරක් මෙන් ගලා ගියේය. එයින් එහා කඳු වළල්ල තම රාජධානියට මනා ආරක්ෂාවක් ලබා දුන්නේය. යොදුන් ගණනාවකින් එපිට පැවැති මූදුකරය දක්වා වූ රාජධානිය කලකට ඉහත මේ දේශයෙහි හිමිකරුවන් වූ සිංහලයන් අත පැවැතිණි. ශත වර්ෂ කිහිපයක් මුළුල්ලේ දැන් ඒ බිම්කඩ අයිතිව ඇත්තේ සුදු ජාතිකයන්ටය. උතුරුකරයේ ආර්ය චක්‍රවත්තිගේ කුඩා පාලනයක් පැවැතිය ද ඒ වනවිට එකී සියලු බිම්කඩ ද සුද්දන් අතට පැවැරී තිබිණ. එබැවින් තම රාජධානියට මුහුදුබඩ අයිතියක් නොවිණ. එහෙත් එයින් අවැඩක් සිදු නොවිණි. සෙංකඩගල පුරවරයේ මෙන්ම හඟුරන්කෙතද, මැද මහනුවර, මන්දාරම් නුවර ද ආදී තවත් කුඩා මාලිගා කිහිපයක් රජු සතු විය. ඒ සියල්ල මෙහෙය වූයේ හදිසි සතුරු ප්‍රහාරයකින් පසුබැස පලා යන්නටය.
මැඳුරු කවුළුවෙන් එහා දළදා මාලිගය කදිමට පෙනුණි. ඉන් එහා රාජකීයකත්වය රැඳි සිංහයාගේ ධජය ලෙළ දෙමින් තිබිණි. එතැනින් එහා තිබුණේ අලුතෙන් සාදන ලද වැවය. දළදා මාලිගයට යාබදව ගොඩනැඟුණු පත්තිරිප්පුවත්, නුවර වැවත් ගොඩ නැඟුණේ මෑතකය. මේ රට පුරා බොහෝ වැව් ඉදි වී තිබිණි. ගංගා හරස් කොට දැවැන්ත වාරිමාර්ග තනන්නට සිංහලයා ඉගෙන ගත්තේ කාගෙන්වත් අසාගෙන නොවේ. මිහිඳු හිමියන් වඩින්නට සියවසකට පෙර අභය වැව ගොඩනැඟී තිබිණි. එහෙත් එදා මෙදාතුර වාරි කර්මාන්තය සඳහා විශාල වැව් අමුණු තනන ලද්දේ කෘෂි කර්මාන්තය සඳහාය. එමෙන්ම ඒ කටයුතු සඳහා රටවැසියන් දායක වූයේ සිය කැමැත්තෙන්මය. තමා උපන් මධුරා පුරයෙහි මාලිගාව අසල වූ ස්වරූපය ගෙන දෙන වැවට සමාන වැවක් සෙංකඩගල පුර මාලිගය සමීපයේ ඉදි කරන්නට රජුට අවශ්‍ය විය. ඒ කිසිසේත්ම කුඹුරු අස්වද්දනු පිණිස නොවීය. කුඹුරු අස්වද්දන්න නම් එයට මදක් ඔබ්බෙන් බෝගම්බර වැව ගොඩනඟා තිබුණේ කලකට ඉහතය. නිතර නිතර යුද්ධයෙහි යෙදීමද, කුඹුරු අස්වනුවලින් නිසි ආදායම් ලබා ගැනීමට නොහැකි වීම නිසා රටවැසියන් සිටියේ යම් නොසතුටකිනි. එබැවින් අලුත් වැව් කර්මාන්තයේ යෙදෙන්නට ඔවුන් කෙරෙහි කැමැත්තක් නොවීය. කොහොමටත් මේ වැව් ඉදි වනුුයේ කුඹුරු අස්වද්දන්නට නොවේ. එබැවින් රජුට සිදු වූයේ සිය නිලමේවරුන් ලවා බලහත්කාරයෙන් මිනිසුන් වැවෙහි වැඩට යොදන්නටය. එහෙත් වැව ඉදි කළ පසු නුවරට අලංකාරයක් ගෙන දුන්නේය. වැවෙහි සුළඟ පැමිණ මාලිගය සිසිල් කළේය. ඇහැළේපොළ ඒ වැව දෙස බලා රජු සමඟ පිටත්ව ගියේය. නළඟන ද රජුට ආචාර කොට පසුපසට ගමන් කොට පසෙක වූ පටු ආලින්දයක් දිගේ ගමන් කළාය. අන්තඞපුරයේ බිසෝවරු ඒ මොහොතේ උන්නේ බෙහෙවින් අලස ස්වරූපයෙනි. ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂකයා වූයේ මංජුය. පුරුෂයකු සේ පෙනුණ ද ඔහුගේ සියලු විලාස කාන්තාවකගේ හැඩ ගත්තාය. ‘බිසොවුන් වහන්සේලා අන්තඞපුරයට වෙලා ඉන්නේ වඩින්නකෝ කවිකාර මඩුවට. කවි අහලා විනෝද වෙන්න’ ‘ඔය විනෝදේ නෙවෙයි අපිට ඕනේ නේද අනේ’ බිසවක් පැවසූවාය. ‘එහෙනම් මොනවද බිසවුන් වහන්සේලාට ඕනේ’ මංජු ඇසුවේය. බිසව ඔහු ඇය ළඟට කැඳවා රහසක් කීවාය. මංජු පසුපසට වූයේය. ‘චි . . . බිසොවුන් වහන්සේලා වල් කතාත් කියනවා’ රජු ගියේ කවිකාර මඩුවටය. ඔහු එහි අසුන් ගනිත්ම තරුණියෝ දෙදෙනෙක් රජුට සෙමෙර සලන්නට පටන් ගත්හ. කිසිවකුට නොපෙනෙන පරිදි සුරතලයට ඇගේ නිතඹට පහරක් ගසන්නට රජු සමත් වූයේය. ‘ලෝකුරු නයිදේ’ රජු කවිකාර මඩුවෙහි සිටියෙකු ඇමතීය. ‘උඹට පුළුවන්ද බොරු අටක් ඇති කවියක් කියන්න’
අවසරයි රජතුමනි, ලෝකුරු නයිදේ කවිය කීම ආරම්භ කළේය.
‘කිළිකුණු ඇති වඳිගේ පුතෙක්
තව කොටසක්
ලබන සතියේ 1. උඩරට වැසියන්ට විදේශ මත්පැන් රොබට් බ්‍රවුන්රිග්
|