|
අපි ඔක්කොම කම්කරුවො වෙලා ඉවරයි
‘භවාන්තර’ මවන
රංග බණ්ඩාරනායක හමුවෙමු
‘භවාන්තර’ මේ දිනවල ලාංකේය ප්‍රේක්‍ෂකයා ඉතාමත් ආදරයෙන් වැලඳගත් ටෙලි වෘත්තාන්ත අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙයි. වෙනස්ම කතා තේමාවක් මෙන්ම දුලභ ආකාරයේ නිර්මාණශීලී රූපරාමු භවාන්තර පෝෂණය කොට තිබේ. කලකට පසු කල්පනා මනසින් නැරැඹිය හැකි රූපවාහිනී නාට්‍ය මාලාවක් ලෙස පොදු ප්‍රේක්‍ෂකයා භවාන්තර හඳුන්වා දෙයි. මේ ඒ භවාන්තර පිළිබඳ එහි අධ්‍යක්‍ෂ රංග බණ්ඩාරනායක සමඟ කළ කතාබහකි.
රංග නිමිත්ත භවාන්තර. කොහොමද භවාන්තර බිහි වුණේ? මම සේවය කරන්නෙ ජාතික රූපවාහියේ. රූපවාහිනියෙ නාට්‍ය අංශයේ හැමෝටම නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. මටත් ඒ අවස්ථාව ලැබුණා. මම මුලින් කරන්න හිටියේ ප්‍රේමය එක්ක බැඳුණු සමාජ ගැටලුවක් ගැන කතාන්දරයක්. නමුත් ආයතනික ප්‍රතිපත්ති එක්ක මට කතාව කිරීමේ ඉඩකඩ ඇහිරී ගියා. පිරිවැය පිළිබඳ ගැටලුවක් තමයි ඇති වුණේ. නමුත් ඒ මොහොතේ ලැබුණ අවස්ථාව නැති කරගන්න මං කැමැති වුණේ නැහැ. ඒ නිසා අඩු පිරිවැයකින් ගුණාත්මක මෙන්ම කලාත්මක නිර්මාණයක් කරන්න මා සැලසුම් කළා. ඒ අනුව ආයතනයේ පිරිවැයට හා ප්‍රතිපත්තිවලට අනුකූල නිර්මාණයක් කරන්න මා පෙළඹුණා. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු තමයි මේ නාට්‍යය රචනා කළේ. ඔහු හා මා අතර ඇති වූ සංවාදයක් මේ නාට්‍යය පෝෂණය කළා කියලා අද මට හිතෙනවා. ඒ අනුව ජනතාවට එක එල්ලේ බලා හිඳිය හැකි නාට්‍යයක් තනන්නට මා පෙළඹුණා කීවොත් නිවැරදියි. භවාන්තර හරහා මට ලැබුණු අවස්ථාව රැක ගන්නට ලැබුණා පමණක් නොවෙයි ජනතාව හොඳයි කියන ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමටත් දිරිය ලැබුණා.
මේක වෙනම විදියේ කතාවක් නේද රංග? ඔව්, මේ ගෙවී යන කාලයෙදි ප්‍රේක්‍ෂකයා හුරුවෙලා ඉන්නෙ වෙනම විදියේ නාට්‍ය බලන්න. ඇතැමුන්ට නිර්මාණ පිළිබඳ සංකල්පයක් නැහැ. මාධ්‍යය ප්‍රේක්‍ෂකයා එක්ක සංවාදයක් සබඳතාවයක් නැහැ. මේ නිසා ටී වී එකේ යන ඕනම දෙයක් බලන්න දැන් ප්‍රේක්‍ෂකයා හුරුවෙලා ඉන්නවා. අද ප්‍රමිතිගත ශෛලීන්ට අනුකූලව සිදුවන නිර්මාණ ක්‍රියාවලිය අවමයි. මේ රැල්ලේ නාට්‍ය අතර භවාන්තර තිබෙන්නේ වෙනම තැනක. ඒ තැන නිසාම මේ නාට්‍යය ගැන හොඳ කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේක වෙනම විදියේ කතාවක් වගේම වෙනස්ම නිර්මාණ කටයුත්තක්.
අද ක්ෂේත්‍රයට පැමිණෙන බොහොම දෙනා නිසි හැදෑරීමකින් තොරව කටයුතු කිරීම හරසුන් නිර්මාණ බිහිවීමට උත්තේජනයක් නේද රංග? ඔව්, අද ක්ෂේත්‍රයේ නම් කියවෙන ඇතැම් දෙනාට නිසි හැදෑරීමක් නැහැ. ඒ නිසා ඔවුන් ‘බෙල්ට් එක’ පුරවන්න මොනවා හරි කරන්න පෙළඹිලා ඉන්නවා. දැන් බලන්න ඩිරෙක්ටර්ලා කතාකරන භාෂාවෙන්ම ඒක තේරෙනවා. ටෙලියක් ගහනවා. ටෙලියක වැඩ. ටෙලියක් කරනවා. ගෞරවණීය නිර්මාණයක් අර්ථ ගන්වන ආකාරයෙන්ම ඔවුන්ගේ වැඩ කටයුතු ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. මේක සමාජ ඛේදවාචකයක්. නිසි දැනුමක් බලාපොරොත්තුවක් නැති උදවිය තමයි හරසුන් නිර්මාණවලට මූලික වෙන්නෙ. ඒ අය අතින් තමයි හරසුන් ටෙලි නාට්‍ය බිහිවෙන්නෙ. මේ ගෞරවණීය වෘත්තියට ප්‍රවේශ වීමට ප්‍රථම හොඳ හැදෑරීමක් තිබිය යුතුයි. ඒ හැදෑරීම සමාජයට හිත සුව පිණිස විය යුතුයි. මා භවාන්තර තුළ කතාබහට ලක්කරන්නේ මේ සමාජය ගැනයි. සමාජයේ ප්‍රේමය තියෙන්නෙ කොතැනද. ජීවිතේ වටිනාකම කොතැනද. ජීවිතය කොතැනද කියායි.
අද නළු නිළියෝ වෘත්තිමය කම්කරුවන් වෙලා. මේක නිර්මාණවලට හානියක් නේද? මෙහෙමයි, අද කවුද කම්කරුවො වෙලා නැත්තෙ. අපි හැමෝම කම්කරුවො. අද හැමෝම කුමන හෝ රාමුවක කොටුවෙලා ඉන්නෙ. කාගේ හෝ න්‍යායපත්‍රයකට අනුව තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. මේ රාමුව තුළ අපි අලුත් දේ හොයන්න යාම නිෂ්ඵල කටයුත්තක්. මේ නාට්‍ය හරහාත් අපි රාමුව පුළුල්ව තබාගැනීම ගැන කතාකරලා තියෙනවා.
මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ ඉතා සාර්ථක නළු නිළි පිරිසක් ඈඳාගෙන තිබෙනවා. ඔව්, මගේ නිර්මාණවලට නළු නිළියන් තෝරා ගැන්මේදී මූලික තැන ලැබෙන්නෙ චරිතයට. මයෙ ඔළුවෙ ඇඳුණ චරිත ස්වභාව අනුව ඒ චරිතයට අදාළ ගති ස්වරූප රූපණය කළ හැකි පිරිස තෝරා ගැනීමට මං ප්‍රවේශම් වෙනවා. මම පරිණත නළු නිළියන් වගේම නවකයන් ද මේ කටයුත්තට ඈඳාගත්තේ ඔවුන්ගේ නිර්මාශීලී දායකත්වය මෙම නිර්මාණයට අවශ්‍ය නිසයි. බොහෝ දෙනෙක් නවක නළු නිළියන් මේ නිර්මාණයට භාවිත කරනවා කිව්වම මට දොස් කිව්වා. ඒත් මම දන්නවා ඔවුන්ව රූපරාමුව තුළ පාලනය කළ යුතු ආකාරය. ඒ නිසා නවක පිරිස මට කරදරයක් වුණේ නැහැ. අපේ නළු නිළි කණ්ඩායමට මේ කටයුත්ත සඳහා හොඳ අවබෝධයක් තිබුණා.
මේ සඳහා භාවිත කළ කැමරා තාක්‍ෂණය මොකක්ද රංග? 5D මාර්ක් 3 කියන කැමරාව තමයි අපි භාවිත කළේ. ඒ සඳහා කාච වර්ග රැසක් යොදා ගත්තා. මං කැමැරාව සඳහා තෝරා ගත්තෙ කුලරුවන් ගමගේ. ඔහු යොවුන් පරපුරේ නිර්මාණශීලී කැමරා අධ්‍යක්‍ෂවරයෙක්. මේ නාට්‍යයට කුලරුවන්ව සම්බන්ධ කර ගත්තෙ ඔහුගෙ එකම රූප රාමුවක්වත් නොදැක. මං දැනගෙන හිටියා අපට එකට කටයුතු කරන්න පුළුවන් කියලා. ඔහුගේ රූපවල ගැඹුරට මම කැමැතියි. ඒ වගේම අපි එකම විදියට එකම තීරණයකට කටයුතු කිරීම මේ සාර්ථකත්වයට සෘජුව බලපෑවා.
කොහොමද තාත්තගෙන් (ධර්මසිරි බණ්ඩාරනායක) ලැබුණු ප්‍රතිචාර? තාත්තා මගේ නිර්මාණ කිසිම දෙයක් සංස්කරණයේදී බලන්නෙ නැහැ. නමුත් විකාශය වෙද්දි ඇතැම් නිර්මාණ බලනවා. හඳගම, පතිරාජ මහත්තයා වගේ අයගේ නිර්මාණ විකාශය වෙද්දි තාත්තා ඒව දිහා ආසාවෙන් බලන් ඉන්නවා. මේ දවස්වල සෙනසුරාදා රෑ 8. 30ට තාත්තා ගෙදර ටෙලි විෂන්එක ඉස්සරහා ඉතාමත් ආසාවෙන් ඉඳගන්නවා මං දැකලා තියෙනවා. හොඳ කියනවත් මට ඇහිලා තියෙනවා. මේ ළඟදි තාත්තා තව කෙනෙකුට කිව්වා “මේව දකිනකොට මටත් ආයෙ වැඩක් කරන්න හිතෙනවා” කියලා ඒ තාත්තා භවාන්තර බලලා වෙන කෙනෙකුට දුන්න කමෙන්ට් එකක්. ඒත් මට නම් සෘජුව තවම මුකුත් කියලා නෑ.
මේ කතාව මිනිස්සුන්ට තේරෙනවද? ඔව්, හැමෝම ටාගට් කරගෙන නිර්මාණ කරන්න බැහැ. මගේ ප්‍රේක්‍ෂක කොටස වෙනම ටිකක්. ඔවුන් බුද්ධිමත්. මා දන්නා පරිදි මේ නාට්‍යය ඔවුන්ට අහුවෙලා තියෙනවා.
ඉදිරිය කොහොමද? අපි යන්නෙ අවිනිශ්චිත ගමනක්. අන්තිමේදි නිර්මාණ ඔක්කොම මිනී පෙට්ටියට දාන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ලොකු නිශ්චිත බලාපොරොත්තු නැහැ. ආයතනය මඟින් මට ආයෙත් අවස්ථාවක් ලැබේද දන්නෙත් නැහැ. කවුරුහරි මට අනුග්‍රාහකත්වයක් ලබාදේවිද දන්නෙත් නැහැ. ඒ නිසා ඉදිරියේදි මේක කරනවා කියලා අරමුණක් නැහැ. ඒත් හොඳ වැඩක් කරන්න ආසාවක් තියෙනවා. ඒ වගේම තාත්තගෙ චිත්‍රපටයට උදව් කරන්න තමයි මං ආසාවෙන් බලන් ඉන්නෙ.
තෘප්තිමත්ද ඔබ? ඔව්, මේ ලැබුණදේ ගැන තෘප්තිමත්.
කලකිරීමෙන්ද? නැහැ ... කෙහෙත්ම නැහැ.
|