|
|
|
මම නළු නිළියන් මත යැපෙන අධ්‍යක්ෂවරයෙක් නොවේ
විශිෂ්ට සිනමාකරු රෝමන් පොලොන්ස්කි සරසවියට කියයි
සිනමාව හදාරන කෙනෙකු හෝ සිනමාව අදහන කෙනෙකුට රෝමන් පොලොන්ස්කිව මුණ ගැසීම මහා නිධානයක් පහළවීමක් වැන්න. මේ නිධානයේ රඟ බැලීමට පසුගිය දිනක පැරිසියේ 14 වන ප්‍රදේශයේ සාමාන්‍ය අවන්හලකදී මට වාසනාව ලැබුණි. රෝමන් පොලොන්ස්කි අද දවසේ පුවත්පත් සාකච්ඡාවක් ලබා දෙන්නේ නැත. ඔහුට පුවත්පත් වුවමනා නොවේ. පුවත්පත්වලටය ඔහුව වුවමනා වී ඇත්තේ. ගෙවුණු කාලයේදී තමන්ට මුහුණ දෙන්නට සිදුවුණු ඇතැම් අවාසනාවන්ත පෞද්ගලික සිදුවීම් නිසා ඔහු පුවත්පත්වලින් ඈත්ව සිටියි. තමන්ගේ නිර්මාණයක් තිරයට පැමිණෙන කළදී පවා ඔහු ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි නොවෙයි. ඒ ඔහුගේ හැටිය. දශක කීපයක සිට ඔහුගේ පදිංචිය පැරිසියයි. ඔහු තෙවන බිරිඳ Emmanuelle Seigner නැමැති ප්‍රංශ නිළියකි. ප්‍රංශයේ ප්‍රකට සිනමා සඟරාවක් වන Studio/Cine Live හි පුවත්පත් කලාවේදියකු වන Mathieu Carttier මගේ යන්තම් මිතුරෙකි. මේ මිතුරා නිතර රෝමන් පොලොන්ස්කි හමුවන බව මම දැන සිටියෙමි. පුවත්කලාවේදී මිතුරාව කීප වරක් හමු වී ඔහුට බැගෑපත් වීමෙන් පසුවය පොලාන්ස්කි සමඟ විනාඩි තිහක කතාබහකට මුල පාදා ගැනීමට මට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකාවේ සිනමා පුවත්පතක් සමඟ මුල්වරට කතාබහ කරන්නට කිසිදු පැකිලීමකින් තෙරව සිරුරින් කුඩා එහෙත් මහා සිනමාවේදියා කැමැති වීම විශේෂ කරුණක් විය. නියමිත වෙලාවට පෙර නියමිත අවන්හලට ඇතුලු වන විට රෝමන් පොලොන්ස්කි තරමක සැඟවුණු තැනක තේ කෝප්පයක් බොමින් පොතක් කියවමින් සිටියේය. නිසි හඳුන්වාදීමෙන් පසුව යමක් පානයට යමක් වුවමනාදැයි විමසා සිටි ඔහු වේටරයෙකුට ඒ වුවමනාව දන්වා සිට, මුලින්ම අපේ රටේ වත්මන් සිනමාව ගැන ඔහු විමසුවේය. මගේ රටේ සිනමාව ගැන ඔහුට කියන්නේ කුමක්ද? ලොව ප්‍රධාන පෙළේ සිනමා උළෙලවලට අපේ රටේ නිර්මාණ කලකින් නොපැමිණි බව කීමි. ඉන් පසුව ඔහු කතා කළේ ඒ දිනවල පැරිසියේ ප්‍රදර්ශනය වන අනුරාග් කාෂ්‍යප්ගේ Ugly නම් චිත්‍රපටයේ ඉහළ සිනමා භාවිතය ගැනය. ඔහු කතා කරන්නේ බොහෝ විවේකීවය. කිසිදු හදිස්සියක් නැත. විනාඩි තිහ මේ අයුරින් ගෙවී ගොස් අන්තිමේදී සාකච්ඡාවට මඟ ඇහිරෙනු ඇතැයි මම බිය වීමි. කෙසේ හෝ වේවා සටහන් පොත දිග හැර ගෙන පසුව කුඩා ටේප් රෙකෝඩරය රැගෙන මේසය මතින් තැබූ විට මගේ අල්පේච්ඡ ප්‍රශ්නවලට පිළිතුරු දීමට රෝමන් පොලොන්ස්කි සූදානම් විය. ඔබ ලොව දක්ෂතම හා ජනප්‍රියතම නළු නිළියන් මෙහෙය වූ අධ්‍යක්ෂවරයෙක්. එහෙත් ඔබ වරක් ප්‍රකාශ කළා චිත්‍රපටයක නළු නිළියන් ගැන ඔබ දක්වන්නේ අඩු අවධානයක් කියා? ඇතැම් අධ්‍යක්ෂවරු සිටිනවා තිර රචනය ලියන මොහොතේ සිටම තමන්ගේ චරිත සඳහා නළු නිළියන් සිතේ ඇඳ ගන්නවා. ඇතැම් අය නළු නිළියන් වෙනුවෙන්ම තිර රචනා ලියනවා. ඒත් සිනමාපටයක් කියන්නේ නළු නිළියන් නොවෙයි. නළු නිළියන් නොමැතිව චිත්‍රපටයක් බිහි වෙන්නේ නැහැ. ඒක පැහැදිලියි. ඒත් සිනමාපටයක් කියන්නේ මූලික වශයෙන්ම තිර රචනය, ඊළඟට කැමරා අධ්‍යක්ෂවරයා. සංස්කරණ ශිල්පියා, සංගීත අධ්‍යක්ෂවරයා, පසුතල සැකසීම, මේ දේවල් නිවැරැදිව පැහැදිලිව නොතිබුණොතින් ලෝකයේ හොඳම නළු නළියන්ගෙන් පවා ඇති ප්‍රතිඵලය කුමක්ද? නළු නිළියන්ගේ ප්‍රසිද්ධය මතින් නිර්මාණය අලෙවි කර ගන්නා අධ්‍යක්ෂවරුන් සිටිනවා. නමුත් මම කිසි දිනක මගේ නළු නිළියන් මත යැපිලා නැහැ. නළුවෙක් අද දවසේ මගේ චිත්‍රපටයෙන් ඉවත් වෙලා ගියොත් හෙට දවසේ වෙනත් අයෙක් හොයා ගන්න පුළුවන්. ඒත් මගේ කැමරා අධ්‍යක්ෂක පිට වෙලා ගියොත් ඒ පාඩුව දිගු කාලයක් දරා ගන්න මට බැරි වෙනවා. සිනමා ඉතිහාසය පුරාම ඉදිරියෙන් සිටියේ නළු නිළියෝ. මක්නිසාද අප ඔවුන්ව තිරයේ දකින නිසා. ඒත් යම් අයෙක් තේරුම් ගත යුතුයි නළුවා හෝ නිළිය කරන්නේ ඉතා සුළු කාර්යයක් බව. මේ හේතුව නිසා ද බොහෝ අවස්ථාවල ඔබත් ඔබේ නළු නිළියනුත් අතර ගැටලු අඬදබර ඇති වුණේ. ප්‍රකට කතාවක් තියෙනවා Chinatown රූපගත කිරීම්වලදී ඔබ Faye Dunway ට වැසිකිලියට යන්නට ඉඩ දුන්නේ නැහැයි කියලා?
(සිනහවෙමින්) ඒක දිග කතාවක්. ඒ වගේම හැමෝම දන්න කතාවක්. මගේ චිත්‍රපට බොහොමයක්ම
විශාල මුදලක් වැය කරපු නිෂ්පාදන නොවෙයි. දෙක තුනක් හැරුණු විට. අඩු මුදලකින් සීමිත
දින කීපයක් ඇතුළත රූප ගත කරන විට අධ්‍යක්ෂවරයා වශයෙන් ඔබ සිටින්නේ දැඩි මානසික
ව්‍යාකූලතාවයක. ඔබට කේන්ති යනවා. ඔබ පිස්සෙක් වගේ හැසිරෙනවා. මේ සියල්ල ඔබ කරන්නේ
නිර්මාණය වෙනුවෙන්. ඔබගේ චිත්‍රපටය අසාර්ථක වුණොත් විචාරකයෝ බැන්නොත් ඔබේ මුලු
නිර්මාණ දිවියම විනාශ වෙන්න පුළුවන්. නළු නිළියෝ මේ බව තේරුම් ගන්නේ නැහැ. මගේ
නිර්මාණ සඳහා නළු නිළියන් තෝරා ගෙන පුහුණුවීම්වලට කතා කළාම ඔවුන්ගේ පෞද්ගලික
ලේකම්වරු කියනවා මහා නළුවා කවදාවත් පුහුණුවීම් කරන්නේ නැහැයි කියලා. ඔහු කෙළින්ම
දර්ශන තලයට ඇවිත් රඟපානවා. මම කැමැති නැහැ ඒ කාර්යයට. ලෝකයේම මහා නළුවා වුණත් මගේ
චිත්‍රපටයේදී පුහුණුවීම කළ යුතුයිි. සිනමා ක්ෂේත්‍රයේදී හෝ වෙනත් ක්ෂේත්‍රයකදී අපි
හැමෝටම නියත වුණු ස්ථානයක් තිබෙනවා.
එහෙත් අද දවසේ චිත්‍රපට ආදායම් සොයන්නේ හුදෙක්ම නළු නිළියන්ගේ ජනප්‍රියත්වය නිසා නේද? ඔබ කියන කතාව බොහෝ විට බහුතර හොලිවුඩ් චිත්‍රපටවලට ගැළපෙන්න පුළුවන්. ඒත් යුරෝපීය සිනමාව වෙනස් එකක්. ලෝක සිනමාව කියන්නේ හොලිවුඩ් පුරය නොවෙයි. ප්‍රංශ සිනමාවේ තරු නැහැ. සිටින්නේ නළු නිළියෝ විතරයි. කැතරින් දොනිව් (ප්‍රංශ සිනමාවේ වඩාත් කැපී පෙනෙන නිළියකි) මේ මොහොතේ මේ අවන්හලට ඇතුල් වුණොත් කිසිම කෙනෙක් ගණනකට ගන්නේ නැහැ. ඒත් ඇය සිනමාපටයකින් දකින්න ප්‍රේක්ෂකයෝ කැමැතියි. ලෝකයේ වඩාත් සාර්ථක නිර්මාණ බිහි වෙන්නේ හොලිවුඩ් පුරයෙන් නොවෙයි. අද දවසේ ඉරානය, මැක්සිකෝව, චීනය, ජපානය වගේ රටවලින් මහා නිර්මාණ බිහි වෙනවා. පසුගියදා ඉතාලියෙන් බිහි වුණු Great Beauty චිත්‍රපටය (මෙවර හොඳම විදේශීය චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත් චිත්‍රපටය) කොයි තරම් ලස්සන ද, ජපානයෙන් ආපු Like Father, Like Son චිත්‍රපටය (2013 කාන් සිනමා උළෙලේ ජූරි සම්මානය දිනා ගත් චිත්‍රපටය) කොයි තරම් ලස්සනද ... ආ මං අවුරුදු ගණනකට කලින් ඉන්දීය චිත්‍රපටයක් බැලුවා. නම මට මතක නැහැ. නාඳුනන තරුණයෙක් හා තරුණියක් බසයකදී මුණ ගැහෙනවා වෙනස් ආගම් දෙකකට අයිති. අතරමගදී කඩා වදින කළහකාරි ආගම්වාදීන්ගෙන් බේරෙන්න මේ දෙන්නට සිදු වෙනවා සැමියා සහ බිරිඳ විදිහට හැසිරෙන්න. (මේ චිත්‍රපටය Mr . Mrs Iyer යැයි මම මතක් කර දුන්නෙමි). මේ කිසිම චිත්‍රපටයක තරු නැහැ. මේ හැම එකක්ම වාගේ සාර්ථකයි. අනෙක් අතට හොලිවුඩ් පුරයේ ඉන්නවා තමන්ගේ නම රැක ගත් අධ්‍යක්ෂවරුන්. මාර්ටින් ස්කෝරසේසි ගේ චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයා යන්නේ නළු නිළියන් නිසා නොවෙයි. ටැරන්ටිනෝ, ස්පිල්බර්ග් වැනි අය සාර්ථක වුණේ තරු නිසා නොවෙයි.
ඔබ පෝලන්ත ජාතිකයෙක්. පෝලන්තය, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල චිත්‍රපට නිපදවා තිබෙනවා. මේ රටවල් අතරින් සිනමාකරණය සඳහා වඩාත් ඔබ ප්‍රිය කරන තැන කුමක්ද? අනෙක් රටවල් සමඟ සසඳා බලන කොට පෝලන්තයේ සිනමාව දියුණු නැහැ. දශක ගණනාවකින් මම අමෙරිකාවේ චිත්‍රපටයක් හැදුවේ නැහැ. අමෙරිකාවට පය ගැහුවෙත් නැහැ. මගේ ගමන වෙනස් වුණේ Chinatown චිත්‍රපටයෙන් වුණත් එය ඉතා කටුක අත්දැකීමක් වුණා. අති විශාල පීඩනයකින් තමයි මම ඒ චිත්‍රපටයේ කාර්යයන්හි නිරත වුණේ. බ්‍රිතාන්‍ය සිනමාව නිදහස් තැනක්. මං කැමැතියි එහි චිත්‍රපට හදන්න. ඒත් ප්‍රංශය සුවිශේෂයි. ඇතැම් අවස්ථාවකදී මුලු ලෝකයේම මගේ චිත්‍රපට අසාර්ථක වන විට ප්‍රංශ සිනමා රසිකයන් මගේ නිර්මාණ භාර ගත්තා. ඒ වගේම ප්‍රංශ නිෂ්පාදකයෝ මගේ නිර්මාණවලට මුදල් යෙදෙව්වා. සිනමාකරුවෙකුට ප්‍රංශයේ තිබෙන නිදහස ලෝකයේ කොහේවත් නැහැයි කියලයි මම හිතන්නේ. සිනමා නිර්මාණයේ කාර්යයන් සඳහා නිෂ්පාදකයා අත නොගසන අපූරු තැනක් තමයි ප්‍රංශය. දශක කිහිපයක්ම සිනමාකරණයේ රැඳී සිට විවිධාකාරයේ විෂයන් නිර්මාණ සඳහා උපයෝගි කර ගත් ඔබ සිනමාකරණයේදී මුහුණ දුන් බාධක මොනවාද? අවුරුදු හතලිහක් පුරාම මා මුහුණ දුන්නේ බාධකවලට පමණයි. මා අධ්‍යක්ෂණය කළ කිසිම චිත්‍රපටයක් බාධාවකින් තෙරව ගලා ගිය ඒවා නොවෙයි. ඒත් මුල් චිත්‍රපට කිපයෙන් මා ලබා ගත් අවධානය නිසා නිෂ්පාදකයන් මා වෙනුවෙන් මුදල් යෙදෙව්වා. නිෂ්පාදකයන් සොයා ගැනීම අදටත් අපහසු කරුණක් නොවෙයි. මගේ චිත්‍රපට ආදායම් වර්තා තබන චිත්‍රපට නොවෙයි. ඒත් වැඩි මුදලක් වැය වූ චිත්‍රපටත් නොවෙයි. බාධක පැමිණෙන්නේ නිෂ්පාදනයේ විවිධ අවධීන්වලදී. බොහෝ අවස්ථාවලදී ප්‍රදර්ශකයන්ගෙන් බෙදා හරින්නන් වෙතින් ගැටලු මතු වෙනවා. ඔවුන් මගේ මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම විදෙස් රටවල ප්‍රදර්ශනයේදී ඒ රටවල බෙදා හරින කටයුතු කරන පුද්ගලයන් චිත්‍රපටය තමන්ගේ වුවමනාවට සංස්කරණය කරනවා. විශේෂයෙන් අමෙරිකාවේදී ප්‍රදර්ශනය වෙන්නේ මා නිපදවූ චිත්‍රපටය නොවෙයි. ඉතිං බාධා සිත් කැඩීම් නිතරම තියෙනවා. මගේ ජීවිතයේ කිසි දිනක මා ප්‍රීතියෙන් ජීවත් වුණා යැයි කිව නොහැකියි. සිනමාව විසින් මා ලෝකයේ ඉහළම තැනට ගෙන ගියා. ඒ වගේම මා ලෝකයේ නරකම තැනට ඇද දැමූ අවස්ථා ද තිබෙනවා. අද යුරෝපයේ වැඩි වශයෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නවා චිත්‍රපට සඳහා. ශ්‍රී ලංකාවේත් එය භාවිතයට ගන්නා බවට හඬ නැගෙනවා. ඔබ මේ නව තාක්ෂණය ගැන සිතන්නේ කුමක්ද? එදා අපි පොත්වලින් කතා කියෙව්වා. අද අතේ ගෙන යා හැකි කුඩා E-Book වලට පොත් සිය ගණනක් ගබඩා කර ගත හැකියි. පුස්තකාලයක් වුවමනා වන්නේ නැහැ. තාක්ෂණය නිසා නොයෙක් පහසුකම් සැලසෙන බව සැබෑව. එහෙත් මගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් වගේ මමත් තවමත් ජීවත් වන්නේ අතීතයේ. කුවින්ටන් ටැරන්ටිනෝ පැරිසියේදී හමුවුණු අවස්ථාවක මට කියා සිටියා තමා සිනමාහල් කීපයක් මිලට ගන්නට උත්සාහ කරන බව. ඔහුගේ උත්සාහය නියමාකාරයේ මිමී 35 චිත්‍රපට ඒ ශාලාවල ප්‍රදර්ශනය කිරීමයි. ඔහු මේ ඩිජිටල් තාක්ෂණය හඳුන්වන්නේ TV in Public යන නමින්. ඒක සත්‍යයක්. සිනමාව කියන්නේ ජීවිතයට වඩා විශාල (Lager Than Life) කලාවක්. එය එසේ වන්නේ එදා අතීතයේ සිට උපකාර කර ගත් තාක්ෂණය නිසා රූපයේ අපි දකින ගැඹුර නිසා තමයි සිනමාවේ මිත්‍යාව ඇති වුණේ. සිනමා කෘතියක් නිපදවන්නට එක්තරා කාල වකවානුවක් වුවමනායි. මානසිකව මෙන්ම කායිකව ද විශාල වෙහෙසක් දැරිය යුතුයි. එහෙත් අද දවසේ ජංගම දුරකතනයෙන් පවා චිත්‍රපට නිපදවිය හැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තත්ත්වය හොඳ වෙන්න පුළුවන්. හෙට දවසේදී චිත්‍රපටයක් දවසින් රූපගත කරලා තවත් දවසකින් සංස්කරණය සහ අනෙක් වැඩ නිම කරලා සතියකින් සිනමාහල් වලට යොමු කරන්න හැකියාව ලැබේවි. එහෙත් මේ සියල්ල නිසා සිදු වන්නේ සිනමාව නැමැති මහා කලාවේ මිථ්‍යාව විනාශ වීමයි. කෙටියෙන් කියනවා නම් මේ කියන ඩිජිටල් තාක්ෂණයේ ලෝලයෙක් නෙවෙයි මම. ඔබේ සිනමාකරණය ගැන ලෝකයේ ඇතැම් සිනමා පාසැල්වල අධ්‍යයනයට ලක් කෙරෙනවා. සිනමාව හදාරන එසේත් නැතිනම් අධ්‍යක්ෂණය සඳහා සිහින මවනවුන් ඔබගේ සිනමා ගමන ඉහළින් අගය කරනවා. මේ අයට ඔබ දෙන උපදෙස කුමක්ද? හැමෝම සතුටු කරන්න හැකියාව තිබීම. (සිනහවෙමින්) මට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකක්ද මට දෙන්න පුළුවන් උපදෙස . . .? මං හිතනවා පොතක් ලියන්නට වුවමනා නම් පොත් කියවිය යුතුයි. හොඳ පොත් කියවිය යුතු යි. සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න නම් මුලින්ම චිත්‍රපට බැලිය යුතුයි. හොඳ චිත්‍රපට නැරැඹිය යුතුයි. ඒවා අධ්‍යයනයට ලක් කළ යුතුයි. විශ්ලේෂණය කළ යුතුයි. ඇතැම් විට මගේ දේශන අසන අයට මම කියනවා අඩුම තරමින් දවසකට එක චිත්‍රපටයක් නරඹන්න කියා. අද දවසේ ඒක බොහොම පහසු කාර්යයක්. එත් හැම චිත්‍රපටයක්ම නෙවෙයි. නරක චිත්‍රපට බැලීම හොඳ නැහැ. හොලිවුඩ් පුරයේ බිහිවෙන ජනප්‍රිය තාලයේ හාස්‍යමය චිත්‍රපට හැකිතාක් දුරට මඟ හැරිය යුතුයි. යුරෝපීය සිනමාව වැඩි වැඩියෙන් නැරැඹිය යුතුයි. මගේ සිනමා ගමන ඇරැඹුණේ චිත්‍රපට නැරැඹීම තුළින්. ජේම්ස් කැමරන් වැනි අධ්‍යක්ෂවරයෙක් ගත්තාම ඔහු ලෝක සිනමාවේ වඩාත් සාර්ථකම චිත්‍රපට දෙක (Titanic, Avtar) අධ්‍යක්ෂණය කළා. එහෙත් මා දන්නවා ඔහු අදටත් වැඩියෙන්ම කරන්නේ චිත්‍රපට බලන එකයි. මාර්ටින් ස්කෝරසේසි වැනි අයෙක් සිනමාව ගැන නොදන්නා දෙයක් නැහැ. ඔහු නොබලපු චිත්‍රපටයක් නැහැ. සමහර විට ඔබලාගේ රටේ චිත්‍රපටත් ඔහු බලලා ඇති. යම් ආකරයකින් ඔබේ චිත්‍රපට උළෙලක් ශ්‍රී ලංකාවේ සංවිධානය කළොත් ඔබ එයට සහභාගි වෙන්න කැමැතිද? අද දවසේ මගේ ජීවිතය ගෙවෙන්නේ පැරිසියේ. මම අමෙරිකාවේ හෝ එංගලන්තයේ සිදුවන කතා රූපගත කරන්නේ ප්‍රංශයේ ඉඳන්. පහුගිය කාලේ මා මුහුණ දුන් නීතිමය ගැටලු නිසා හැකිතාක් දුරට විදෙස් ගමන් අඩු කරලයි තිබෙන්නේ. ඒ නිසා ඔබේ ආරාධනාව අකැමැත්තෙන් වුණත් භාර ගන්න ලැබෙන්නේ නැහැ. ඒත් මං කැමැතියි හැකි ඉක්මනින් ඔබේ රටේ චිත්‍රපටයක් නරඹන්න.
* * * * * * * * * * * * * * * * * * * * * *
පොලොන්ස්කි ගැන යමක්රෙසාඩ් පොලොන්ස්කි සහ බුලා පොලොන්ස්කි නම් වූ යුදෙව් ජාතික මාපිය යුවළට දාව උපන් රජ්මුන්ඩ් රෝමන් තෙයිරි පොලොන්ස්කි 1933 වසරේ අගෝස්තු 18 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී උපත ලැබීය. පෝලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් හා රංගන ශිල්පියෙක් ලෙසින් රෝමන් පොලොන්ස්කි නමින් ලෝක ප්‍රසිද්ධ වූ ඔහු කුඩා කළ හැදී වැඩෙනුයේ පෝලන්තයේදීය. සුන්දර ළමා වියක් ගෙවමින් පොලන්තයේ ක්‍රාකෝ හි දිවි ගෙවූ ඔහුගේ ජීවිතය වෙනස් වූයේ දෙවන ලෝක යුද සංග්‍රාමය සමඟිනි. ජර්මනියේ නාසි හමුදාව විසින් පෝලන්තයේ ක්‍රාකෝ නගරය අත්පත් කර ගෙන එහි වූ සියලුම යුදෙව්වන් කුඩා බිම් ප්‍රදේශයකට එක්තැන් කර සිරකරුවන් බවට පත් කළේය. ඒ වන විට පොලොන්ස්කිගේ වයස අවුරුදු පහක් පමණ විය. එහිදී විවිධාකාර වූ දුක් ගැහැටවලට ලක් වූ ඔහුගේ පියා නාසීන් විසින් සිර ගත කරද්දී මව ඝාතනයට ලක් කර තිබුණි. වසර ගණනාවක පුරා සැඟවෙමින් ජීවිතය ගෙවූ පොලොන්ස්කි හට නිදහසේ සේයා මැවූයේ පියාගේ මිතුරෙකුගේ පවුලක සහායෙන් රොමෙක් ඩිලික් නමින් රොමානු කතෝලිකයෙකු ලෙස පෙනී සිටිමිනි. ජර්මන් හමුදා පෝලන්තය ආක්‍රමණයට පෙර ගෙවූ ප්‍රීතිමත් දිවියේදී ඔහු දෙමාපියන් සමඟින් චිත්‍රපට නැරඹීමට ගොස් තිබුණි. නාසි ආක්‍රමණයෙන් පසු කුඩා ඉඩක හිර වූ පෝලන්ත ජාතිකයන් අතරේ සිටියදී නාසි හමුදා භටයන් රාත්‍රියේදී එළිමහනේ සවි කළ තිරයකින් චිත්‍රපට නරඹනු පුංචි පොලොන්ස්කිගේ නෙත ගැටිණි. ඒ කටු කම්බි වැට අතරිනි. එදා සිට ඒ රිදී තිරයට පොලොන්ස්කි පෙම් බැන්දේය. 1945 දී දෙවන ලෝක යුද සංග්‍රාමයෙන් පසු තරුණ පොලොන්ස්කි හට රිසි සේ චිත්‍රපට බැලූයේ අත ඇති සියලුම මුදල් වැය කරමිනි. 1950 වසරේදී පෝලන්තයේ ලොඩ්ස් හි ජාතික චිත්‍රපට පාසලට ඇතුළත්වීමට පොලොන්ස්කිට අවස්ථාව ලැබීය. ඔහුගේ සිනමා දිවිය ආරම්භ වූයේ රංගනයෙනි. 1953 වසරේදී Trzy Opowiesci (Three Stories) හි රංගනයෙන් ඇරැඹි එම රංගන දිවියේ Rower (1955), The Magic Christian (1969), Blood For Dracula (1976), Rush Hour 3 (2007), Caos Calmo (2007) ඇතුළු චිත්‍රපට රැසක් ඔහු සිය රංගනයෙන් ඔපවත් කළේය. 1959 වසරේදී උපාධිය සම්පූර්ණ කළ ඔහු 1962 වසරේදී සිය ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය එළි දැක් වූයේය. Knife in The water නම් වූ එය දෙවන ලෝක යුද සංග්‍රාමයෙන් පසු තිරගත කළ පළමු පෝලන්ත චිත්‍රපටය ද විය. එය ඔස්කාර් සම්මාන උළෙලට ද නිර්දේශ විය. 1974 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළ Chinatown චිත්‍රපටය සඳහා සිය මවගේ මතක සටහන් එකතු කර තිබුණි. ඒ ඇය ඇඳ පැළැඳි ඇඳුම් මොස්තර, රූපලාවන්‍ය ආදිය එහි රඟපෑ ෆායේ ඩුනවේ ගේ චරිතයට එක් කරමිනි. කුඩා කාලයේ සිට ඔහු අත් විඳි ඇතැම් දේ සිය නිර්මාණ අතරට එක් කරන්නට ද පොලොන්ස්කි අමතක නොකළේය. 2001 වසරේදී අධ්‍යක්ෂණය කළ The pianist චිත්‍රපටය දෙවන ලෝක යුද සමයේදී පෝලන්ත ජාතික සංගීතඥයෙකු වූ Waldyslaw Szpilman ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දේ ඔහු ද එම බිහිසුණු කාලයට මුහුණ දුන් අත්දැකීම් හේතුවෙනි. The Pianist ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන හතකට නිර්දේශව සම්මාන තුනක් දිනා ගත්තේය. 2002 වසරේදී කාන්ස් චිත්‍රපට උළෙලේදී එයට හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය හිමි වන විටදී පොලොන්ස්කි ළමා අපචාර චෝදනාවකට වරදකරු වී අමෙරිකානු අත් අඩගුවට පත්ව සිටියේය. ඔහු අධ්‍යක්ෂණය කළ Chinatown, Tess, The Ghost Writer ආදී චිත්‍රපට ලොව ප්‍රධානතම සිනමා සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය. පොලොන්ස්කිගේ පළමු විවාහය 1959 වසරේදී පෝලන්ත ජාතික නිළියක වූ බාබරා ලාස් සමඟ සිදු විය. 1961 වසරේදී එම විවාහය කෙළවර වීම සමඟ ඔහු 1968 දී රංගන ශිල්පිනියක වූ ෂැරොන් ටේට් සමඟ විවාහ වූයේය. 1969 වසරේදී එම කසාදය කෙළවර වූයේ ලෝ ඇන්ජලිස්හිදී ඇය ඝාතනයට ලක්වීමෙනි. 1989 වසරේදී පොලොන්ස්කි යළිත් විවාහ වූ එම්මානුවෙල් සිග්නර් ඔහුට වඩා වසර තිස්තුනක් වයසින් බාල විය. ඔවුන් දෙදෙනාට දියණියක හා පුතෙකු සිටියි. එම්මානුවෙල් සමඟින් සාර්ථක දිවි පෙවෙතක් ගෙවන පොලොන්ස්කි දැන් ගත කරන්නේ සිය ජීවිතයේ අසූ වැනි කඩඉමයි.
|
|




රෝමන් පොලොන්ස්කි
(Roman Polanski) ගැන හැඳින්වීමක් කෙටියෙන් හෝ කරන්නට නම් අඩුම
තරමින් පුවත් පත් පිටු දෙක තුනක්වත් වැය වනු නියතය. ඔහු නළුවෙකි. තිර රචකයෙකි.
වත්මන් ලෝක සිනමාවේ සිටින දැවැන්ත අධ්‍යක්ෂවරයෙකි. පොලොන්ස්කි අතින් චිත්‍රපටයක්
බිහි වන සෑම විටකම නියත වශයෙන්ම යහපත් හෝ අයහපත් විචාර සිය ගණනක් පුවත්පත්වල පල
වෙති. ඔහුගේ සිනමා න්‍යාය ගැන හෝ ඔහුගේ රූප හැසිරවීම ගැන සිනමා පාසැල්වල අධ්‍යයනයට
ලක් වෙති. වසර 45 ක පමණ කාලය ඇතුළත ඔහු විසින් බිහි කරන ලද සිනමා නිර්මාණ දෙස බැලීම
තුළින් පමණක් රෝමන් පොලොන්ස්කි යනු කවුරුන්දැයි හඳුනා ගන්නට හැකිය.
Knife in the Water (1962), Rosemary’s Baby (1968), Chinatown (1974), Tess
(1979), The Pianist (2002), The Ghost Writer (2010) යනු ඔහු විසින් අධ්‍යක්ෂණය කරන්නට
යෙදුණු විසි පහක් පමණ වූ නිර්මාණවලින් තෝරා ගත් කීපයකි.
අපිට සීමාවන් තිබෙනවා. ඒවායින් පිට නොපැන
සිටින්නට උත්සාහ කළ යුතුයි. අවාසනාවකට වගේ වැඩියෙන්ම පිට යන්නේ නළු නිළියෝ. එසේ
වුණාම ඔවුන්ව නිසි තැන්වල තියන්න අධ්‍යක්ෂවරයා දැනගත යුතුයි.