වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම ඒ ආදරේ ගැන කතා කරන්න කැමැති නැහැ

මම ඒ ආදරේ ගැන කතා කරන්න කැමැති නැහැ

පුර කලණි - පුණ්ණා , මුතුපලස - නෙහාරා , ස්නේහා - සාගරී දිලිනි ලක්මාලි සමඟ සුහද කතාබහක්

දිලිනි ලක්මාලි තිරිමාන්න. මේ දවස්වල නරඹන්නන් අතර බොහොම ජනපි‍්‍රය චරිතයක්. ජාතික රූපවාහිනියේ ‘පුර කලණි’ හි පුණ්ණා ලෙසත්, ස්වර්ණවාහිනියේ ‘මුතුපලස’ හි නෙහාරා ලෙසත්, හිරු රූපවාහිනියේ ‘ස්නේහා’ හි සාගරී ලෙසත් ඇගේ රසිකයන් අතර සැරිසරන ඇයව බොහෝදෙනා හඳුන්වන්නේ දිගු වරලසක් හිමි යුවතිය කියලා. නරඹන්නන් වෙනුවෙන් අපි ඈ සමඟ මෙසේ සංවාදයක යෙදුණා.

* මේ දවස්වල ඔබට කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

මේ චරිත ත්‍රිත්වය ටෙලි නාට්‍ය නරඹන්නන් අතර බොහොම ජනප්‍රියයි. සමහර රසිකයො මට කතා කරන්නෙත් ඒ ඒ නමින්. ඒ ගැන මට දැනෙන්නේ සතුටක්. ඒ වුණත් නිතරම මම උත්සාහ ගන්නේ මේ චරිත තුන් ආකාරයට රඟපාන්නයි. මම හිතනවා ඒ උත්සාහය සාර්ථකයි කියලා. ටෙලි නාට්‍ය නරඹන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් ඒ බව හැඟෙනවා.

* ඔය තරම් දිගු වරලසක් හිමිවෙන්නේ වලස් තෙල් ගාන නිසාද?

අපෝ නැහැ.

* බොරු කියන්නෙපා.

ඇත්තමයි අක්කේ, මේ කොණ්ඩය මට ලැබුණේ මගේ පරම්පරාවෙන් කියලයි මට නම් හිතෙන්නෙ.

* ඒ කොහොමද?

මොකද මගේ අම්මගේ කොණ්ඩෙත් දිගයි. අම්මගෙ පවුලේ අයගේ කොණ්ඩෙ කොහොමත් දිගයි. ඒ නිසා මටත් දිග කොණ්ඩයක් ලැබෙන්න ඇති.

* කිසිම සාත්තුවක් නොකරමද?

මම කොණ්ඩය වවන්නේ අටේ පන්තියේ ඉඳලා. එදා ඉඳන් අද දක්වාම මම කොණ්ඩයට විශේෂ සාත්තුවක් කරලා නැහැ.

* දිගු වරලස නිසා ආදර ආරාධනා එහෙම ලැබිලා තියෙනවද?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. රසිකයන් බොහොම දෙනෙක් ඒ ගැන කියලා ආදර ආරාධනා කරලා තියෙනවා.

* ඒ වගේම ඔබට නිතරම ලැබෙන්නේ ආදර වන්තියන්ගේ චරිතමයි?

ඔව් ඉතිං, ඊට උචිත වයසක මම ඉන්න නිසා වෙන්න ඇති.

* පුණ්ණාගේ පෙම්වතා බොරුකාරයෙක්?

ඇත්තටම ඔව්, පුණ්ණා ඒ වුණාට ඒ වග දන්නෙ නැතිවයි ආදරය කරන්නේ. නමුත් ඔහු එහෙම කරන්නේ ඈට තියෙන ආදරය නිසා. ආදරයේදි ඒ වගේ බොරු කරන්නේ ඔහු ඇත්තටම ආදරය නිසා කියලා මට හිතෙනවා.

* ඇත්තටම ඔබට එහෙම පෙම්වතෙක් ආදරය කළොත්?

එහෙම බොරුවක් කරනවා නම් එයින් පෙනෙන්නේ ආදරයක් නැහැයි කියන එකයි. එහෙම කෙනෙක් කළොත් එහි ප්‍රති විපාක විඳින්න වෙන්නෙත් එයාටමයි. මම නම් හිතන්නේ ස්වභාවධර්මයට අනුවම ඔහුට විපාක විඳින්න සිදුවේවි. මට නම් හිතෙන්නේ එහෙමයි.

* බොරුවට කිසිම සමාවක් නැහැ?

බොරු කරන්න ඕන නැහැනේ. එයාට ඇත්තම කියන්න පුළුවන්නේ.

* ඔබ මීට ටිකකට කලින් කිව්වේ බොරු කරන්නේ ආදරයට කියලා?

මම ඒ කතා කළේ ටෙලි නාට්‍යයේ චරිත දෙක ගැනයි.

* ඔබට ඒක අදාළ නැද්ද?

ඒක මෙහෙමයි. මටත් ඒ වගේ වෙන්න පුළුවන්. අනේ මන්දා? මම කාටවත් බොරුවක් කරන්නේ නැති හින්දා මට හිතා ගන්න බැහැ. මම නම් ආදරය කරන කෙනාට බොරු කියන්නේ නැහැ. ඇත්තම කියනවා.

* ඒ වුණාට ඔබ කලින් කිව්වේ වෙන කාරණයක් නේ?

අනේ අක්කේ ඔයා ඕකම අල්ලාගෙන කතා කරනවානේ.

* ඔබ සුන්දර යුවතියක්නේ. ආදරය කරලා තියෙනවද?

ඔව්, මමත් ආදරවන්තියක් වෙලා හිටියා. ආදරය කළා.

* ඒ ආදරයට මොකද වුණේ?

ඒ ආදරය මේ වනවිට නම් නැහැ. ඒක හුඟක් පරණ කතාවක්. මම ඒ ගැන මතක් කරන්නවත් කැමැති නැහැ.

* නමුත් ඒ ආදරය මල්පල දරන්නම නේද ගියේ?

ඔව්, ඒක විවාහය දක්වාම යන්න තිබුණු දෙයක්. මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.

* ඔබ දෙදෙනා අතර නොගැලපීම් ඇති වුණා.

ඒත් ඒ ගැන මං කතා කරන්න කැමැති නැහැ. ඒක නවත්තලත් ඉවරයි. ඒ ගැන කතා කළා කියලත් වැඩක් නැහැ.

* ආයෙත් ආදරය කරන්න අදහසක් නැද්ද?

ආදරය කරන්න ඕනැ. ඒත් තවම ඒ ගැන හිතුවේ නැහැ.

* ආදර ආරාධනාවලින් නම් අඩුවක් නැතුව ඇති නේද?

ආරාධනා නම් ඕනෑ තරම් එනවා. එහෙම යෝජනාවක් ආපු පලියට තීරණයක් ගන්න බැහැ නේ. මේක ජීවිතය හා අනාගතය කියන දෙකම පිළිබඳ තිබෙන ප්‍රශ්නයක් නේ. ඒ ගැන තීරණයකට එන්න මම අම්මලාට භාර දුන්නා. ඔවුන් ගේන යෝජනාවකට මම කැමැති වෙනවා.

* ඔබ බලාපොරොත්තු වන්නේ මොනවගේ කෙනෙක්ද?

ඕනෑම කෙනෙකු වගේම මමත් කැමැතියි මට ආදරය කරන පවුලේ අයට ආදරය කරන හොඳ කෙනෙකුට.

* රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් හොඳ නැද්ද?

අපෝ, මම රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් නම් තෝරා ගන්නෙ නැහැ. ඒක නම් සීයට දාහක් ෂුවර්.

* ඔය තරමටම රංගන ක්ෂේත්‍රයේ ඉන්න අයත් එක්ක තරහා මොකද?

අනේ අක්කේ ඒ අයත් එක්ක මගේ එහෙම තරහක් නෑ. කොයි ක්ෂේත්‍රයක හිටියත් ඔහු හොඳ නම් හොඳයි.

* ගෙදර අයට බොහොම ආදරෙයි වගේ?

ඔව්, මමයි, මල්ලියි තමයි පවුලේ ඉන්නේ. මගේ නිර්මාණවල විචාරකයන් වෙන්නේ ඔවුන්.

* ඔබ රංගනයට අවතීර්ණ වෙන්නෙ අවුරුදු කුමරියක් වෙලා.

ඔව්, අයි. ටී. එන්. අවුරුදු කුමරිය ලෙස 2008 වසරේ කිරුළ පැලඳුවාට පස්සෙ මගේ මුල්ම ටෙලි නාට්‍යය වෙන්නේ ජානක සිරිවර්ධන ගේ ‘පිනි බිංදු’ ටෙලි නාට්‍යය. මුලින්ම රංගනයට පිවිසෙන්න නෙවෙයි මා අදහස් කරගෙන සිටියේ ගුවන් සේවිකාවක් වෙන්නයි.

* එහෙම නොවීම ගැන දැන් දුකක් හිතෙනවද?

නෑ. රංගන ශිල්පිනියක් වීම ගැන සතුටුයි.

* රංගනය ගැන හදාරලා තිබෙනවද?

එහෙම නම් නෑ. මම ගොඩක් වෙලාවට කරන්නේ චිත්‍රපට බලන එකයි. ඒකත් එකම වර්ගයකට සීමා වෙලා නැහැ. හින්දි, දමිළ, සිංහළ, බටහිර චිත්‍රපට ආදී විවිධ වර්ගයේ චිත්‍රපට බලනවා. ඒවායෙන් රංගනය ගැන හදාරනවා.

* ළඟදි නරඹපු චිත්‍රපටයක් එහෙම මතකද?

‘බාග් මිල්කා බාග්’ කියලා චිත්‍රපටයක් මා නැරැඹුවා. ඒක ඉන්දීය සම්මාන රැසක් දිනපු චිත්‍රපටයක්.

* ඔබත් අධ්‍යක්‍ෂවරුන්ට කරදරකාර නිළියක්ද?

අපෝ නැහැ. මම දින දීලා තියෙන දවස්වලට වෙන කිසිම වැඩක් භාර ගන්නේ නැහැ.

* ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාන නිසා කොහොමද දවස ප්ලෑන් කර ගන්නේ?

ටෙලි නාට්‍යයක වැඩක් නැතිනම් මම ඉතිං ගෙදර ඉන්නවා. නැත්නම් නිදා ගන්නවා.

* ක්ෂේත්‍රයේදීත් ඔයා කරන්නේම අයිනක් අල්ලගෙන නිදිය ගන්න එක නේද?

ඒක නම් ඇත්තයි. මම ෂූට් එකට යන්න වාහනය ආව ගමන් ඒකට නැඟලා නිදා ගන්නවා. මම ආයෙත් නැඟිටින්නේ රූගත කිරීම් ස්ථානයේ. රූගත කිරීම් කරන අතරතුර ලැබෙන ඉඩකඩේදීත් කරන්නේ අයිනක් අල්ලගෙන නිදාගන්න එකයි.

* මේ නිසා ක්ෂේත්‍රයේ නමක් පටබැඳිලා ඇති එහෙම නම්?

අපෝ ඒක ගැන නම් ඔහොම කියන්න එපා. ඊට පස්සේ මට හැමෝම ඒ නමත් කියාවි.

* ඔයාට ආදරය කරන රසිකයන්ට අමතන්න පුළුවන් කොහොමද?

ඔවුන්ගේ ඇමතීම්, ලිපි මට බොහොම වැදගත්. ඒ නිසා 65/60, බාලිකා විද්‍යාල පාර, කොස්ගම කියන ලිපිනයට ඔවුන්ට මට ලිපි එවිය හැකියි.