|
||||
අත්තිකාරම්වලින් අල්මාරියක්
මම දෙවැනි සැරේට සාරියක් ඇන්ඳෙ තරංගා චිත්‍රපටයේ උත්සවයට. මම ඇන්ඳෙ අක්කා දෙවැනි මනමාලියට කලින් ඇඳපු සුදු පාටට හුරු ලේස් සාරියක්. අක්කා මට ඔසරියක් ඇන්ඳුවා. ඉන වටේට රැලි තියනකොට එක විදියකට ඉන්නෙ නැහැ දැඟලිල්ල වැඩියි කියලා ගුටියකුත් කෑවා. අක්කා ඒ දවස්වල රූපලාවණ්‍ය ඉගෙන ගන්න පංතියකට යනවා. ඒ නිසා අක්කා දන්න හොඳම විදියට මාව හැඩ වැඩ කළා. ලස්සනට ඔසරිය අන්ඳලා කොණ්ඩෙ බැඳලා, කොණ්ඩෙට සුදු අරලිය මල් දෙකකුත් ගැහැව්වා. රවී මාව එක්කරගෙන යන්න ආවාම කිව්වා ‘ෂා... පී‍්‍රති අද නිකන් මනමාලියක් වගේනෙ’ කියලා. අයියෝ එදා තිබුණෙ පුංචි උත්සවයක්. මම ඇඳගෙන ගිය හැටි හොඳටම වැඩියි. (මම Over dressed) පුංචි සාදයකට සාරියකුත් ඇඳලා. ඒ මදිවට ඒක සුදු ලේස් සාරියක්. මොනවා
කරන්නද, තිබුණ එකනේ ඇඳගෙන ගියේ. තව කොණ්ඩෙට මලකුත් ගහලා. ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලා හිත හිත තොරම්බල් කරත්තෙ වගේ ලැජ්ජාවෙන් හිටියා. මම එහෙම හිතුවත්, රවී පස්සෙ දවසක කිව්වා එදා මාව දැක්ක ගමන් එයා හිතුවේ කවදා හරි බඳින්නෙ මාවමයි කියලා. සිනමාවට අලුතෙන් සම්බන්ධවෙන පුංචි ගෑනු ළමයි සමහර උත්සවවලදී මුණ ගැහුනම ඒ අය උත්සවයේ තරාතිරම නොදැන ඇඳ පැලඳගෙන එන හැටි දැක්කම මම එදා තරංගා උත්සවයට ගිය හැටි මතක් වෙනවා. මේ කාල සීමාවේදිම විජය ධර්ම ශ්‍රී මහත්තයා ඔහු කුලුඳුලේ අධ්‍යක්‍ෂණය කරන ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ චරිතයකට මාව සම්බන්ධ කරගත්තා. එහි ගිවිසුම් අත්සන් කරන දවසේ නීටා ප්‍රනාන්දු කියන සුප්‍රසිද්ධ නිළිය මං ළඟට ඇවිත් කිව්වා ‘මම හිතාගෙන හිටියේ ඔයා හුඟාක් ලොකුයි කියලා. ඇත්තට බලනකොට චූටි කෙල්ලෙක්නේ’ එහෙම කියලා මාත් එක්ක හිනා වෙච්ච හැටි තාමත් මතකයි. එදා ගිවිසුම් අත්සන් කරලා මට අත්තිකාරම් වශයෙන් දුන්නෙ රුපියල් හාරසියයක් නැත්නම් පන්සියයක්. හරියටම මතක නැතත් ඒ සල්ලිවලින් මම අල්මාරියක් ගත්ත බව නම් හොඳටම මතකයි. ඒ අල්මාරිය අපේ ගෙදර තාමත් තියෙනවා.
අයියා කිව්වා බඳින්න නංගිට වයස තියෙනවානේ තාම දහනමයනේ. රඟපාන්න ගත්තා විතරයි ඊට කලින් තව චිත්‍රපට දෙක තුනක්වත් කරන්න කියලා. මල්ලි කිව්වා පිස්සුද අක්කගෙ වාසනාව රවි අයියා එන්නේ එක එක කාර්වලින්, බෙන්ස් එකකුත් තියෙනවා. අක්කා බඳින්න අක්කේ. ඊට පස්සෙ දෙන්නටම එකට රඟපාන්න බැරියෑ කියලා. ලබන සතියට... |
||||