|
හද මැවුණේ ආදරය කරන්නයි
ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මිය ගොස් හය වසරයි
බඹරා වගේ ඇත තවම විසේ . . .
1977 වසරේ තිරගත වූ ‘චණ්ඩි පුතා’ චිත්‍රපටයට ඉහත ගිතය රචනා කළේ දැනට වසර හයකට පෙර
2008 ජූලි මස 03 වැනි දින අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගීත නිබන්ධක ජෝර්ජ් ලෙස්ලි
රණසිංහයි. 1986 ජූලි මාසයේදීම අපගෙන් සමු ගත් එච්. ආර්. ජෝතිපාල ගායනා කළ එම ගීතය
සංගීතවත් කළේ ප්‍රකට සංගීතවේදී සරත් දසනායකය. මෙකී කලාකරුවන් තිදෙනාම දැනට ජීවතුන්
අතර නොසිටියත් මෙම ත්‍රිත්ව සහභාගිත්වයෙන් ජනප්‍රිය ගීත කිහිපයක්ම බිහි වී තිබේ. ‘ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හද සැනකෙළියේ වල්මත් වීලා රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ . . .’
යන ගීතය ද එවැන්නකි. 1974 තිරගත වූ ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ ආ ‘ලස්සන ලෝකෙක ඉපදීලා’ ගීතය වර්තමානයේ ද තරුණ කලාකරුවන් විසින් ගයනු නිතර අසන්නට ලැබේ.
කොළඹ කැටවලමුල්ලේදී 1932 මැයි මස 14 වැනි දින උපත ලද ලෙස්ලි සිප් සතර හැදෑරුවේ ගමේ පාසැල වූ කොළඹ ආනන්ද විදුහලෙනි. ආනන්දයේ මෙත්තානන්ද යුගයේදී එහි සිංහල සාහිත්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ලෙස්ලිට මෙත්තානන්ද විදුහල්පතිවරයාගේ ආශිර්වාදයෙන් මහා ගත්කරු මාර්ට්න් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණේ විදුහලෙහි සාහිත්‍ය සංගමයේ කර්්‍යයන් සඳහා උපදෙස් ලබා ගැනීමටය. සාහිත්‍ය විෂය මුල් කරගෙන ආරම්භ වූ එම ඇසුර ලෙස්ලි ආනන්දයෙන් සමුගෙන ජනමාධ්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට අත්තිවාරම දමන ලදී. 1953 දී ලෙස්ලි ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කළ ‘ජනතා’ නම් වූ සවස පත්‍රයට වාර්තාකරුවෙකු ලෙස පුහුණුවට බැඳෙන්නේ මෙලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙතින් ලැබුනු අනුග්‍රහය මතය. එවකට ‘ජනතා’ පත්‍රයේ කර්තෘවරයාව සිටියේ ප්‍රකට කවියෙකු වූ මීමන ප්‍රේමතිලක කිවිඳානන්ය. ජෝර්ජ් ලෙස්ලිගේ කලා දිවියේ ඉදිරි ගමනට මීමන ප්‍රේමතිලක කිවිඳානන්ගෙන් ද ලැබුණේ මහත් වූ අත්වැලකි. ගුවන් විදුලියේ විවිධ වැඩසටහන්වලටත්, ගීත රචනයටත් ලෙස්ලි පිවිසියේ ජනතා පත්‍රයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය. ලෙස්ලි තම මුල්ම ගීතය රචනා කළේ එවකට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේ නිෂ්පාදිකාවක් වූ ජනප්‍රිය ගායිකා ජී. ඇස්. බී. රාණි පෙරේරාටයි.
ජෝර්ජ් ලෙස්ලි 1955 දී ලංකාදීප පුවත්පත් ගොන්නට එක් වුණු පසු ඔහු ජනප්‍රිය ගායකයින්
දෙදෙනකුගේ සමීප ඇසුරට පත් විය. ඔවුන් නම් ලංකාදීප පත්‍රයේ කටයුතු කළ සුසිල්
ප්‍රේමරත්න හා සී. ඩී. ෆොන්සේකාය. ලෙස්ලි, සුසිල්, සී. ඩී. ත්‍රිත්වය 1950 දශකයේ අග
භාගයේ සහ හැටේ දශකයේ මුල් භාගයේ ජනප්‍රිය ගීත රැසක්ම නිර්මාණය කළහ. ලෙස්ලි, සුසිල්
ප්‍රේමරත්නට ලියූ ගීත අතර 1957 දී රචනා කළ, ‘ආදරේ මට නෑ කියා කීවා නම් මුලදී ඔයා’ ගීතය ඉතා ජනප්‍රිය විය. ඉන් පසු ලෙස්ලි විසින් සුසිල් ප්‍රේමරත්නට ගී රැසක්ම රචනා කළේය. ඒ අතර, ‘සිංහල ජන සංගීත මැවිනා ‘ රන් කරලින් බර කෙත් වතු පීදෙන සුන්දර සිරි ලංකා’ (ඉන්ද්‍රානි සේනාරත්න සමඟ) ‘නාරං දොඩං අඹ ඇයි මේ තරම් මට (මල්ලිකා කහවිට සමඟ) ‘මල් රේනු නටලා වැහි බිංදු වැටිලා’ ‘නිල් සේල හදෙන් සැරසී උදයෙන්’ (මල්ලිකා කහවිට සමඟ) ‘මම ආදරෙයි ඔබට මනමාලියේ’ ‘රත්තරන් මැණික් යෙදූ මාලිගා දෙකක් එයා’ (රුක්මණී දේවි සමඟ) වැනි ජනප්‍රිය ගීත සඳහන් කළ හැකිය. පනහේ දශකයේ අග භාගයේ ලෙස්ලි විසින් සී. ඩී. ෆොන්සේකාට ලියූ ගීත එලෙසම ජනප්‍රිය විය. ඒ අතර ‘කවට කමට ඔබෙයි මගෙයි නම ලියා’
‘ඔයාට රත්නේ මං ආදරෙයි’
‘කැකිරි පැලෙන හිනා ගමක් එළිය වුණා’
‘රහසේ කීව ප්‍රේම කතා නෑ’
‘පතොක් කැලෑවේ මලක් පිපීලා’ වැනි ගීත වෙසෙසින් සඳහන් කළ හැකිය. ගුවන් විදුලි ගීත රචකයෙකු ලෙසත් චිත්‍රපට පසුබිම් ගීත රචකයෙකු ලෙසත් ජොර්ජ් ලෙස්ලි රණසිංහ කීර්තිමත් නමක් දිනා සිටියේය. ඔහුගේ ජනප්‍රිය වූ ගුවන් විදුලි ගීත අතර පහත සඳහන් ගීත කිහිපයත් උදාහරන ලෙස ගෙනහැර දැක් විය හැකිය. ‘ඇයි දැන් එපා වෙලා’
‘රන් ඇට පොට’ (එච්. අර්. ජෝතිපාල) ‘සෙනෙහස රන් සිංහාසන’ (ත්‍යාගා එන්. එඩ්වඩ්) ‘නොමඟ නොයන් පුතේ’ (විල්බට් ඇන්තනි) ‘සඳපානයි ඔබේ සුදු මුහුණයි’ (සිසිර- ඉන්ද්‍රානි සේනාරත්න) ‘ඈත ගමේ ජනපද ඇති වෙලා (ටී. ඇම්. ජයරත්න – නීලා වික්‍රමසිංහ) තිරගත වූ චිත්‍රපට 75 කට පමණ ගීත රචනයෙන් දායක වී ඇති ජෝර්ජ් ලෙස්ලිගේ චිත්‍රපට ගීත බොහොමයක්ම බෙහෙවින්ම ජනප්‍රිය වුණු අතර එම ජනප්‍රියතාවය අද දක්වාම පැවතීම ඔහුගේ නිසඟ කුසලතාව පෙන්නුම් කරන්නකි. ලෙස්ලිගේ චිත්‍රපට ගීත අතරින් පහත දැක්වෙන ගීත වඩාත් කැපී පෙනේ. ‘හඳපානේ මල් පිපුණා’ (හිතට හිත) ‘සුන්දර සුබ සිහින මැකී’ ‘සීතල වතුර ගලයි’ (සීතල වතුර) ‘පෙම් නැලවිල්ලේ මම් සැනසිල්ලේ’ (ඉපදුනේ ඇයි) ‘සොඳුරු ලොවට මල් වැහැලා’ (අපේක්ෂා) ‘ලස්සන ලෝකෙක ඉපදීලා’ (කස්තුරි සුවඳ) ‘දේදුනු පායා පාට වැටෙනවා’ (සීයේ නෝට්ටුව) ‘බඹරා වගේ ඇත තවම විසේ’ (චණ්ඩි පුතා) ‘ආදර කිතියෙන් හද සැලුනා’ (හිතුවොත් හිතුවාමයි) ‘පන පලයන් ලබන සුමානේ’ (වාසනා)
‘කව්දෝ මිනිසාගේ දෛවේ පෙරලන්නේ’ (සරදියෙල්ගේ පුතා) ජෝර්ජ් ලෙස්ලි ‘සිනමා වංශ කතාව‘ නමින් ප්‍රකාශයට පත් කළ ශාස්ත්‍රීය කෘතිය සිනමාව පිළිබඳව සිංහලෙන් පල වූ එවැනි එකම ග්‍රන්ථය ලෙස ඉතිහාස ගත වෙයි. සිනමාවේදියකු ලෙස තිර කතා කිහිපයක්ම රචනා කළ ඔහු යකඩයා, සව්දන් ජෙමා, රජ කොල්ලෝ යන චිත්‍රපටවලට කතාව, දෙබස් හා තිර රචනය නිර්මාණය කළේය. ලෙස්ලි විසින් ලංකාදීපයට රචනා කළ ‘සාහසිකයෝ’ නම් වූ චිත්‍ර කතාව පසුව ‘අභිරහස’ ලෙස සිනමාවට ද එක් විය. ගීත රචකයකු ලෙස ජනප්‍රියත්වයට පත් වුව ද ජෝර්ජ් ලෙස්ලි වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකු ද විය. ඉරිදා ලංකාදීප, වනිතා විත්ති හා දීපශිකා යන සතිපතා පත්‍ර තුනේම කතෘවරයා වීමට තරම් හැත්තෑව දශකයේදී ඔහු වරම් ලැබීය. මේ අතරින් දීපශිකා පත්‍රය සිනමාව හා කලාව වෙනුවෙන් කැප වූ පත‍්‍රයක් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ලෙස්ලි ලියූ ගී පද සරලය. එහෙත් ඒවායින් ගැඹුරු ජීවන දහමක් විවරණය කළ අවස්ථා ද වෙයි.
උල්පත් සැදුණේ සිසිල උනන්නයි මල් කෙමි මැවිනේ රොන් වෑහෙන්නයි මී වද බැඳුනේ පැණි සුරකින්නයි හද මැවුණේ ආදරය කරන්නයි
කෝකිල රණසිංහ |