වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ බජට් එකෙන් ටෙලි නාට්‍ය දෙකක් හදන්න තිබුණා

මේ බජට් එකෙන් ටෙලි නාට්‍ය දෙකක් හදන්න තිබුණා

රිටිගල අබියස ගෙනෙන රංජිත් අනුරාධ පීරිස් හමුවෙමු

රිටිගල පිළිබඳ ඓතිහාසික කතාන්දර පුරාණෝක්ති ඕනෑතරම් අපට හමුවෙයි. රිටිගල ජයසේන පිළිබඳ කතාන්දරයෙන් මහසෝනා පිළිබඳ කුහුල දනවන ඉතිහාස පුවතක් අප කන වැටුණේ කුඩා කලදීමය. ඒ නිසාම රිටිගල එදවස සිටම අපට අතිශය සමීපය. එසේ අති සමීප වූ රිටිගල දැකබලා ගත් පිරිස අල්පය. නමුත් රිටිගල නම ඇසුණු පමණින් අප ඊට ඇලුම් කරන්නට තරම් සමීප වී සිටින්නෙමු.

මේ දිනවල විකාශය වන ‘රිටිගල අබියස’ ටෙලි නාට්‍යය ද වෙනස්ම කතා තේමාවක් රැගත් කුතුහලය පිරි පරිපූර්ණ ටෙලි නිර්මාණ කාර්යයකි. කලකට පසුව පවුලේ සියලු දෙනා එක්ව කුතුහලය පිරි සන්තෝෂයෙන් මෙන්ම ඥානාන්විතව නරඹන රිටිගල අබියස කේ. බී. හේරත් ගේ රචනයකි. මෙහි අධ්‍යක්ෂවරයාද අපට හුරු පුරුදු මීට පෙර ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ රැසකින් හමුවූ රංජිත් අනුරාධ පීරිස්ය. හංස තොටුපල, කහඉර පාමුල වැනි සුවිශේෂී නිර්මාණ අපට තිළිණ කළ රංජිත් සමඟ සරසවිය ‘රිටිගල අබියස’ ගැනත් තවත් බොහෝ කරුණු ගැනත් කළ කතා බහකි මේ.

අපි රිටිගල අබියසින්ම ගමන අරඹමු?

ඔව්, ‘රිටිගල අබියස’ වෙනස්ම තාලයේ කතාන්දරයක්. කොහොමටත් මම ගුණාත්මක නිර්මාණයක් බිහි කරන්නට කැමැති කෙනෙක්. ‘රිටිගල අබියස’ බිහිවෙන්නෙත් ඒ නිර්මාණ බිහිකිරීමේ ඇති උනන්දුව හා උත්සාහය නිසාමයි. මීට කලකට පෙර අපි රිටිගල සංචාරයක නිරත වුණා. මේ සංචාරයේදී රිටිගල ජයසේන නිරතුරුව මගේ හිතේ මතුවුණා. ඒ වගේම ඒ සුවිශේෂී වන වදුලට පා තැබූ මොහොතේ ඉඳළම මොකක්දෝ අමුත්තක් අපි හැමෝටම දැනුණා. රිටිගල වසාගත් මිත්‍යා මත ජනශ්‍රැති මට මතක් වුණා.

ඒ වගේම රිටිගල අංගම් පොරවල රාජධානිය වගේම මවු බිම. යක්ක ගෝත්‍රිකයන් ගේ එදවස වාස භවනය. මේ කරුණු සියල්ල සලකා බලා මම මේ සුන්දර පරිසරය අලළා නිර්මාණයක් බිහි කරන්න හිතාගෙනමයි එතනින් ඉවත් වුණේ. ඉතිං කාලෙකට පස්සෙ රිටිගල ගැන බොහෝ තොරතුරු සොයා ගන්නට මට හැකි වුණා. ඒ අනුව මේ පරිසරය ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්නට හොඳම තැනක් ලෙසට වැටහුණා.

මා ගවේෂණය කළ කරුණුත් රැගෙන හමු වුණේ කේ. බී. හේරත් මහතා. එතුමා අපේ නිර්මාණ කලාවේ ඉතා දැවැන්තම පුද්ගලයෙක්. එතුමා සමඟ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තමයි ‘රිටිගල අබියස’ බිහි වුණේ. මා හිතනවා ඉතා සාර්ථක නිර්මාණයක් බිහි කරන්නට අපට ඉඩ ලැබුණේ සියලු බලවේගවල ආශිර්වාදයෙන් කියලා.

රිටිගල අධි ආරක්ෂිත වන උයනක්. කොහොමද රූගත කිරීම්වලට යොදා ගත්තේ?

ඇත්තටම පිටපත පටන් ගනිද්දිම කේ. බී. හේරත් මහත්තයා මට කිව්වෙ මේ පිටපත රිටිගලම රූගත කරමු කියලා. රිටිගල කියන්නේ රූගත කිරීම්වලට අවසර ගැනීමට අපහසුම තැනක්. මං ඒ පිළිබඳ කල්පනා කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිටපත යොමු කළා. ඔවුන් පිටපත කියවලා එහි වටිනාකම තේරුම් ගත්තා. පුරා විද්‍යා ස්මාරකවලට මෙන්ම වනාන්තරයට, කෙටියෙන් කිව්වොත් වැලි කැටයකට පවා හානි නොවන පරිදි මේ කටයුත්ත කරන ලෙසට ඒ නිලධාරීන් අපට උපදෙස් දුන්නා. ඉන් අනතුරුව තමයි මේ රූගත කිරීම් ඇරඹුණේ.

මේක බොහොම දුෂ්කර රූගත කිරීමක් ලෙසට පෙනී යනවා?

ඔව්, වනාන්තරයෙන් වටවුණු ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු වුණේ. ඒ වගේම ජල ප්‍රශ්නයත් මතු වුණා. තාක්ෂණික උපකරණ භාවිතයේදී පරිසරයට හානි නොවන පරිදි ඒවා රැගෙන යාමට, ගෙන ඒමට සිදු වුණා. වටේටම අලින්ගෙන් පිරිච්ච වන බිමක තමයි මේ කටයුතු සිදු වුණේ. වාහනයකින් කරන කාර්යයන් මිනිස් ශ්‍රමයෙන් කරන්නට සිදුවුණා. ඒ විතරක් නොවෙයි මේ අධි ආරක්ෂක වනාන්තරයේ අප විසින් පිළිපැදිය යුතු කරුණු රැසක් තිබුණා. මේ සියල්ල එක්වූ කළ තැනුණේ දුෂ්කර මඟක්. අපි ඒ මඟ ජය ගත්තා කියලා හිතෙනවා.

රිටිගල අභියස නරඹන්නට පවුලේ සැම එකතු වන වගක් පෙනෙනවා.

ඔව්... දැන් ක්‍රමයෙන් අපේ ටෙලිනාට්‍ය රැල්ල යහපත් අතට හැරෙනවා. ඒක සන්තෝෂයට කාරණාවක්. රිටිගල අභියසට ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයන් ලැබෙනවා. මොකද අපි පේ‍්‍රක්ෂකයාට දිය යුත්තේ බුද්ධිමත් දේ. එතකොට තමයි පේ‍්‍රක්ෂකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්න අපට ලැබෙන්නේ. අපට ලේසිය කියලා තිබිබ ගැහුවා ටෙලි නාට්‍ය දීල පේ‍්‍රක්ෂකයාට බුද්ධිමත්ව සමීප කරගන්නට බැහැ.

ඒත් මේ බුද්ධිමත් ආමන්ත්‍රණයට බජට් ප්‍රශ්නය හරස් වෙනවා.

ඔව්... ඇත්තටම මේ වගේ නාට්‍ය කරන එක අපට පහසුයි. මේ ටෙලි නාට්‍යයට විශාල පිරිවැයක් දැරුවා. ඒත් ඊට සමගාමීව අපට ලැබෙන මුදල අල්පයි. මේ බජට් එකෙන් ටෙලි නාට්‍ය දෙකක් කරන්න තිබුණා. හැබැයි වෙසක් නාට්‍ය වගේ ටෙලි නාට්‍ය කරල මිනිසුන් රවටන්න බැහැ. හොඳ නිර්මාණ කරන්න සල්ලි ඕනෙ.

ඔබේ ඊළඟ නිර්මාණයට බජට් ප්‍රශ්නය බලපානවාද?

ඔව්... බජට් ප්‍රශ්න තියෙනවා. ඒත්මං හොඳ නිර්මාණයක් කරන්න ඒ ගැන හිතන්නේ නැහැ. කලා කරුවාගේ උපරිම සතුට ජනතාව පිනවීම. මං ඉන්නේ එතන. ජනතාව පිනවීම හරහා ලැබෙන ආශිර්වාදය මුදලට ගන්න බැහැ.

ඔබ කලා අධ්‍යක්ෂණය පැත්තෙන් ජාත්‍යන්තර නිර්මාණවලට දායකවන කෙනෙක්.

ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මාව දන්නේ වර්ණ ගැන්වීමේ ශිල්පියෙක් විදියට. ජාත්‍යන්තර චිත්‍රපට 50කට අධික ප්‍රමාණයක වර්ණ ගැන්වීමේ ශිල්පයා ලෙස මා කටයුතු කරලා තියෙනවා. වෝටර්, මිඩ්නයි චිල්රන්, වික්ටරි, ඇම්ඩන් වගේම බෙම්බෙ වෙල්වට් විත්‍රපටයෙත් මං වැඩ කළා.

වර්ණ ගැන්වීමේ ශිල්පිය සතු කාර්ය ගැන කතා කරමු.

ඔව්... ජාත්‍යන්තර (හොලිවුඩ්) චිත්‍රපටවල වර්ණ ගැන්වීමේ ශිල්පිය සුවිශේෂි චරිතයක්. ඉදිකරන ලද පසුතලවල ඒජින් කිරීම වගේ පින්තාරු සිදුවන්නේ ඔහු අතින්. ඒජින් කිරීම කියන්නේ, අපි හිතමු 1980 කඩ කාමරයත් අපි ඉදිකලා කියලා. මේ කඩ කාමරයේ දියසෙවෙල බැඳෙන තැන, වහලයේ වර්ණය, උළුහස්සේ පැහැය, බෝතල්වල වර්ණය වගේම මකුළුදැල් බැඳි ඇති තැනත් නිවැරැදිවම තිබිය යුතුයි. වර්ණ ගැන්වීමේ ශිල්පියා තමයි මේ අවශ්‍ය පැහැය සකසන්නේ.

අපේ නිර්මාණවල මේ පිළිබඳ සැලකිල්ලට ගන්නේ ඉතා අඩුවෙන්.

ඔව්... අපේ නිර්මාණවල මේ පිළිබඳ තිබෙන දැනුම අල්පයි. ඒ නිසා මේ සියුම් කරුණ ගැන ඔවුන් සිතන්නේ නැහැ.

ඔබේ ඊළඟ නිර්මාණය මොනවගේ එකක්ද?

ඒක යුධ විරුවන් සම්බන්ධ කතාවක්. ආචාර්ය ජගත් විජේනායකයන් තමයි නිෂ්පාදනය කරන්නේ. මුලතිව් වනාන්තරයේ තමයි රූ ගැන්වෙන්නේ.

මේ අවසානය

ඇත්තටම මේ ටෙලි නාට්‍යයට දායක වූ සියලුම ශිල්පින්ට ශිල්පිනියන්ට මා මේ මොහොතේ ස්තූතිවන්ත විය යුතුමයි. ඔවුන් කිසිම දෙයක් ගැන නොතකා දුෂ්කරතා මැද තමයි මේ නිර්මාණය කළේ. ඒ වගේම මා නිරතුරුවම දිරිමත් කරන පේ‍්‍රක්ෂකයන්ටත් ස්තූතියි.