|
|
මම නටන්න ගිහින් නාගත්තා
තීක්ෂණ අනුරාධගේ අලුත් තොරතුරු
* තීක්ෂණ දැන් නළුවෙක්ලු නේද? ඒකනෙ බලන්නකෝ, මගේ රඟපෑම් හොඳද මන්දා.
* ඇයි කවුරුත් නරකක් කිව්වද? නැහැ, නැහැ. එහෙම නෙවෙයි. මං ඉතින් ගායකයනෙ. ගායකයො රඟපාන්න ආවාම දන්නැද්ද, විවේචන එනවා වැඩියිනේ.
* මට පේන්නේ තීක්ෂණට කවුරු හරි පවසලා වගේ නොදන්න රඟපෑම නොකර දන්න ගායනය කරගෙන ඉන්න කියලා? මං දන්නවා මගේ රංගනයේ අඩුපාඩු ඇති. නමුත් මං රංගනයට ආගන්තුක නැහැ.
* ඒ කියන්නේ ඔබ මීට පෙර රඟපාලා තියෙනවාද? ඔව්. හැබැයි අද ඊයේ නෙවෙයි. ඔයාට මතකද බින්දුගේ චාරිකා කියලා ඒකාංගික නාට්‍යයක් ගියා ජාතික රූපවාහිනියේ. එකේ බිංදුට රඟපෑවේ මං. එතකොට මම බොහොම පුංචියි.
* ඇයි දිගටම රඟපෑවේ නැත්තේ? ඒ කාලෙම අධ්‍යාපන කටයුතුවලට වැඩි වශයෙන් යොමු වුණා. ආයෙත් මං නැවත මතු වන්නේ ගායකයකු විදිහට.
* ෆේස් බුක් නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්? මම ඒකෙ නිහඬ පොත් ගුල්ලෙක්. පන්සිළු තමයි නම.
* ටිකක් සිරියස් චරිතයක්? ඒක නම් එහෙම තමයි. නාට්‍යයේ හැමෝම සහාය දුන්නා මගේ චරිතය ගොඩ නඟා ගන්න.
* ඔබ වැඩිපුරම රඟපාන්නේ දෙනුවන සේනාධි කියන නව පරපුරේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා සමඟ. ඔහු සාමාන්‍යයෙන් දර්ශන තලයේදීත් විහිළුවෙන්මයි ඉන්නේ. ඒ තත්ත්වය මැද කොහොමද ඔබ සිරියස් වුණේ? ඔහු නිසා තමයි මං මෙච්චර සැහැල්ලුවෙන් රඟපාන්නේ. හිනා යන කතාවක් කියන්නේ නැති නළුවෙක් හිටියා නම් මට නිසියාකාරව රඟපාන්න ලැබෙන එකක් නැහැ. දෙනුවනගේ විහිළුවලට හොඳට හිනා යනවා. හැබැයි නාට්‍ය ඇතුළේ ඔහු කවදාවත් අනවශ්‍ය දේ කියන්නේ නැහැ.
* මා දැන් නවතින්නේ සායම් කිරිල්ලි ගාව? සායම් කිරිල්ලි කියන්නේ මගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කරපු ගීතයක්. බහුතරයක් විරහ ගීත කියූ මාව රසිකයෝ වෙනමම තැනකට ඔසවා තැබුවා මේ ගීතය නිසා. වේග රිද්මේ ගීයක් හින්දා එය සෑම තරාතිරකම රසික රසිකාවියෝ රස වින්ඳා. බොහෝ දෙනෙක් මට දැන් කියන්නේ සායම් කුරුල්ලා කියලා.
* සායම් කිරිල්ලි විඩියෝවේ ඔබ පෙනී සිටියේ හරිම අපහසුවෙන් කියලා මට දැනගන්නට ලැබුණා? ඊට හේතුව තමයි මට නටන්න බැරිකම. සිංදුවේ කොල්ලො දෙන්නට ඉන්නේ කවිංග සහ ධනුක. ඔවුන් දෙන්නට නම් හෙඳට නටන්න පුළුවන්. සෑහෙන වෙලාවක් ගියා මට ඩාන්සිං ස්ටෙප් ටික හදා ගන්න. කෙටියෙන්ම කිව්වොත් මං නටන්න ගිහින් නා ගත්තා.
* තීක්ෂණට අන්වර්ථ නාමයක් තියෙනවා කියලා දන්නවාද? නැහැනෙ. මොකක්ද ඒ?
* අඬන ගායකයා? මටත් ඔය කතාව කනින් කොනින් ඇහිලා තියෙනවා. මං වැඩිපුරම කිව්වේ විරහ ගීතනේ. ඒක නිසා එහෙම කියනවා ඇති. නැත්නම් මගේ ගීත අහපු අය අඬනවාද දන්නේ නැහැ.
* ඔබේ කටහඬට වඩාත් ගැළපෙන්නේ විරහ ගීත යැයි කවුරුන් හෝ කිව්වොත්? වෙන්න පුළුවන්. මං ගීතයක් ගයද්දි හුස්ම ගන්න හඬ වැඩිපුර ඇහෙනවා කියලා ගීත අහන අය පවසලා තියෙනවා. ඒ තත්ත්වය මත මට විරහ ගීත සුදුසු ඇති. නමුත් සායම් කිරිල්ලි වේග රිද්මයේ ගීතයක්. ඒත් ඒක ජනප්‍රිය වුණා. මට හිතෙන්නේ එහි රිද්මයත් එක්කයි එහෙම වුණේ.
* ඔබ කාලයක් පැරැණි සිංදු රීමේක් කරලා නොයෙක් දෙනාගෙන් බැනුම් ඇහැව්වා? මගේ අම්මෝ ආයෙත් නම් සිංදු රීමේක් කරන්නේ නැහැ. * හේතුව? චෝදනා විවේචන දරාගන්න බැරි නිසාද? ඒකත් එක හේතුවක් තමයි. නමුත් මං මටම ප්‍රතිපත්තියක් හදාගත්තා ආයේ පැරැණි සිංදු කියන්නේම නැහැ කියලා. මගේ සිංදු විතරයි මං මින් ඉදිරියට ගයන්නේ.
* ඔබේ අලුත්ම ගීතය ‘පමා වූ අතිතෙ’ ගැන යමක් කියමු? ඒක මාධ්‍යයන්ට බාර දීලා තවම සති තුනයි. ක්‍රම ක්‍රමයෙන් එය රසිකයන්ගේ කනට යමින් තියෙනවා. ඒ අතර සායම් කිරිල්ලි වැඩිපුර ප්ලේ වෙනවා. පමා වූ අතීතේ ඊට හාත්පසින්ම වෙනස් සහ සුපුරුදු විරහ ගීතයක්.
* එහි වීඩියෝවේ ඔබ තරුණ වියේ සිට මහළු විය දක්වා චරිතයක් රඟපානවා මම දුටුවා. රොමේෂ් සුගතපාලත් මෙවැනිම වූ වීඩියෝවක් කළා. සමහරු හිතාවි මේක ඒකේ කොපියක් කියලා? ඒ වීඩියෝවයි මේ වීඩියෝවයි එකිනෙකට වෙනස්. ඒකේ කතාව නෙවෙයි මේකේ තියෙන්නේ. අනික මගේ චරිතෙත් වෙනස්. දැනටමත් මට පමා වූ අතීතේ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මට විශ්වාසයි රසික රසිකාවියෝ මෙය තවත් හොඳින් ඉදිරියේදී රස විඳියි කියලා.
* ටෙලි නාට්‍ය සංගීත නිර්මාණය සඳහා ඔබට අනන්තවත් අවස්ථා ලැබුණත් චිත්‍රපටයක සංගීත නිර්මාණයකට අවස්ථාව නොලැබුණේ? මම නම් දන්නේ නැහැ ඒ ඇයි කියලා. නමුත් හරිම ආසාවෙන් ඉන්නවා චිත්‍රපටයක සංගීතය සපයන්න හෝ ගීත ගයන්න. * සුපිරි තරු මාවතේ ඔබට වඩා ඉදිරියට ගිය ඇතැම් තරගකරුවන්ට වඩා ඔබ අද ජනප්‍රියයි. කොහොමද එහෙම වුණේ? මං හිතන්නේ වාසනාව.
* ගායකයකු වුණාම කපටි වෙන්න ඕනෑ කියලත් මතයක් තියෙනවා? ඒකට කියන්නේ කපටිකම නෙවෙයි. ක්ෂේත්‍රය ගැන හොඳ මීටරෙන් එහෙමත් නැතිනම් අවධානයෙන් ඉන්න ඕනෑ. මං හොඳ උදාහරණයක් කියන්නම්කෝ. ‘සරසවිය’ පත්තරේ දේශපාලන සාකච්ඡාවක් පළ වුණොත් ඒක කවුරුවත් අපේක්ෂා නොකරන දෙයක්. ඔයාලා තමන්ගේ පාඨක කොට්ඨාශය හඳුනාගෙන ඒ අයට සුදුසු ලිපි පළ කරනවා. අන්න ඒ වගේ සංගීත ලෝලීන්ව හඳුනාගන්න ඕනෑ ගායකයකු වුණාම. එතකොට මිනිස්සු අතරට යන්න ලෙහෙසියි.
* නවීන තාක්ෂණය හින්දා අලුත් ගීතයක් නිර්මාණය කළ සැනින් එය අහන්නට පුළුවන්. ඒක හොඳද? හොඳයි. නමුත් සී. ඩී. කර්මාන්තයට කන කොකා හැඬුවේ මෙහෙම ඉක්මනින් ගීත අහන්න සහ ඩවුන්ලෝඩ් කරගන්න හැකි වීම නිසා.
* තික්ෂණ මේ දිනවල අනෙක් කටයුතුවලට අමතරව බටනලා වාදනය ඉගෙන ගන්නවලු. මොකද එහෙම හදිසියේම හිතුණේ? මට ඒ පැත්තෙන් අලුත්ම නිර්මාණයක් කරන්න හිතුණා. බටනලාව කියන්නේ හොඳ වාද්‍ය භාණ්ඩයක්. එය භාවිතයෙන් සංවේදී නිර්මාණ කරන්න පුළුවන්. මගේ ඊළඟ නිර්මාණය එහෙම එකක් වේවි.
* සංගීතය තවත් පරපුරකට බෙදා හරින්න ආසාවක් නැතිද? තවම නැහැ. බලමු ඉදිරියේදී.
* කොහොමද පවුල් ජීවිතේ එහෙම? බොහොම සුන්දරව ගලාගෙන යනවා.
* කවදා දිහාවෙද පියෙක් වෙන්න හිතාගෙන ඉන්නේ? ලබන අවුරුද්දේ විතර. |



