වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න මගේ පි‍්‍රය මිතුරෝ

එන්න මගේ පි‍්‍රය මිතුරෝ

සැප්තැම්බර් මාසය ආරම්භ වන විටම අපේ ඔළුවට එන්නේ කොළඹ පොත් ප්‍රදර්ශන පිළිබඳය. පසුගිය අවුරුදු පහළොවක් තිස්සේ මේ කටයුත්ත අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත්තේය. එයට පෙර ද සියවස් ගණනක් සැප්තැම්බර් නමින් මාසයක් තිබුණද දශක ගණනක් මෙරට සාහිත්‍ය මාසයක් තිබුණ ද පොත් මිලයට ගැනීමේ ෆැෂන් එකක් ඇති වූයේ ගතවුණු පහළොස් වසරේදීය. එයට පෙර කාලයේ නම් සාහිත්‍ය මාසයට කරන්නේ ගුණසේන සාප්පුවෙන් පොතක් ගැනීම පමණි. එහෙත් දැන් පොත් ගොන්නක් කර පින්නාගෙන සැණකෙළියක් ද නරඹා යාළු මිත්‍රාදීන් ද හමුවීම් සිරිතක් සැප්තැම්බර් මාසයේදී උදා වී ඇත. එය මෙරට උදා කර ඇත්තේ පොත් ප්‍රකාශකයන්ය. එය අමුතුම ජාතියේ විලාසිතාවකි. මේ විලාසිතාව චිත්‍රපට ක්ෂේත්‍රය උදෙසා ගොඩ නැඟිය නොහැක්කේ මන්ද?

මෙරට පැවැත්වෙන ප්‍රථම අන්තර් ජාතික සිනමා උළෙල ලෙස 2 වැනිදා ඇරැඹෙන කොළඹ අන්තර් ජාතික සිනමා උළෙල ඒ සම්බන්ධව හොඳ තෝතැන්නක් වෙනු ඇතැයි මම දැඩිව විශ්වාස කරමි. ලේක්හවුස් ආයතනයේ ගරු සභාපති බන්දුල පද්මකුමාර මහතා පසුගියදා මේ ජාත්‍යන්තර උළෙල පිළිබඳ මට අපූරු කතාවක් පැවසුවේය. එය ඔවුන්ගේ ගැටවර වියේ පටන් තිබුණු සිහිනයක් සැබෑවීමක් බවය. එනම් එය හැටේ දශකයේ අවසානයෙන් ඇරැඹෙන්නකි. නැතහොත් ඔහු ඇතුළු කොළඹ ආනන්දයේ සිසු පිරිසක් ‘නිම්වළල්ල’ චිත්‍රපටය රූපගත කරන සමයේ ඇති වූ බලාපොරොත්තුවකි.

මා මුල් වරට අන්තර් ජාතික සිනමා උළෙලකට සහභාගි වූයේ 1995 වසරේදීය. ඒ කේරළයේ පැවැති අන්තර් ජාතික සිනමා උළෙලයි. ඊට සමගාමීව කල්කටාවේ ද පැවැති අන්තර් ජාතික සිනමා උළෙලට සහභාගි වී මාසයකට කිට්ටු කාලයක් රටෙන් බැහැරව සිටි මම පසුව තවත් මාසයක් පුරා එම සිනමා උළෙල පිළිබඳ ලිපි මාලාවක් ‘සරසවිය’ට ලියූවෙමි. මා එම ලිපි මාලාව නිමා කළේ ‘අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ’ යනුවෙන් බලාපොරොත්තුවක් ඇති කරගෙනය. සිනමා උත්සව හරහා ඇති වූ මගේ ආකර්ෂණය කෙතරම් ද යත් එතැන් පටන් වාර්ෂිකව මම ඉන්දියාවේ සිනමා උළෙල සඳහා සහභාගි වීමි. ඒ හැම විටම මගේ අභිමතය වූයේ මෙරටදී ද කවදා හෝ සිනමා උළෙලක් පැවැත්විය යුතු බවය. එබැවින් කොළඹ අන්තර් ජාතික සිනමා උළෙල පරම්පරාගත පැතුමක් සාර්ථක වීමකි.

සිනමා උත්සවයක් යනු වෙනම ෆැන්ටසියකි. වෙනම පැෂන් එකකි. මෙරටට ආගන්තුක මෙකී ෆැන්ටසිය පැෂන් එකක් වන්නට නම් එය වාර්ෂිකව පැවැත් විය යුතුය. එමෙන්ම එහි ප්‍රතිඵල ලබන්නට තවත් දෙවසරක් පමණ ගත වෙයි. කලා භවනේ කොණක ඇරැඹි පොත් ප්‍රදර්ශනය බී. එම්. අයි. සී. එච්. භූමිය පුරාම පැතිරෙන්නට අවුරුදු 2 ක්ම ගත විය. කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ ද ෆැෂන් එකක් ලෙස දකින්නට තවත් දෙවසරක්වත් ගත වෙන්නේ යැයි මා විශ්වාස කරන්නේ එබැවිනි. කෙසේ හෝ වේවා එය මේ වසරේදීම තරුණ තරුණියන් අතර ෆැෂන් එකක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

ජාත්‍යන්තර සිනමා උළෙලක් මෙරට ප්‍රේක්ෂකයන්ට තවමත් ආගන්තුක එකකි. සතියක් මුළුල්ලේ සිනමා ශාලා කිහිපයක් මුල් කොට ගෙන පවත්වන්නා වූ මේ මංගල්‍යයට ඇතුළත් සම්මන්ත්‍රණ, වැඩමුළු, පුවත්පත් සාකච්ඡා ආදි අංගෝපාංග බොහොමයකි. සම්මත ජාත්‍යන්තර උත්සවවලදී චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසු රාත්‍රිය එළැඹෙන්නේ බොහෝ විට සුන්දර සාදයක් සමඟය. ඉන්දියාවේ ගෝවේ පැවැත්වෙන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලට සමගාමීව පන්ජිම් නගරය ද සැණකෙළි සිරි ගනියි. ලොව පුරා සතර දිග් භාගයේ සිට පැමිණෙන සිනමාකරුවන් මෙන්ම ඉන්දියාව හා තදාසන්න රටවල සිනමාව මව් බස කොට ගත් පිරිස ද මෙහි දී එකිනෙකා හමු වෙති. වාරණයෙන් තොරව චිත්‍රපට රිසි ලෙස විඳ ගනිති. දිගු පෝළිම්වල දැවටෙමින් සිනමාහල්වලට රිංගා ගන්නා අය ද අසුනක් නොමැති නම් බිම හෝ වාඩි වී චිත්‍රපට නරඹති. කිසිවෙකු වී අයි පී නැත. ඉහළම තලයේ නළුවන් ද සිනමාකරුවන් ද රසිකයන් හා වාඩි වී චිත්‍රපට නරඹන්නේ මානයෙන් තොරවය. චිත්‍රපට නරඹන්නේ නැත්නම් ඔවුහු වීදි සරමින් එහි ඇති උත්සව අසිරිය විඳ ගනිති.

සිනමා උත්සවයක් හරහා වඩාත්ම ප්‍රතිලාභ ලැබෙනුයේ රටක ආර්ථිකයට බැව් මම කිහිපවරක්ම සඳහන් කර ඇත්තෙමි. එබැවින්ම ජාත්‍යන්තර සිනමා උලෙළක අවශ්‍යතාවය මම බොහෝ අවස්ථාවල බලධාරීන්ගේ ඇසට යොමු කළෙමි. එහෙත් කවර මියුරු හඬෙන් වීණා නොව පපර බෑන්ඩ් ගැහුව ද අලියා බීරි නම් බීරිමය. ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා වෙහෙස විය යුත්තේ බොක්කෙන් කැපවීමෙනි. වැටුපකට ලැබෙන රස්සාවකට චිත්‍රපට උත්සව සංවිධානය කළ නොහැක. එය ලෝකය කරා ගෙන යන්නට අවශ්‍ය වනුයේ ඒ සඳහා ඇති දැවැන්ත උවමනාව හා කැපවීමය. එය සපුරා ඇති කළ අන් සියල්ල සොයා ගත හැකි වෙයි. ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මේ සඳහා උර නොදෙන්නට මෙවර වෑයම ද කල් යනු ඇත.

ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් යනු හුදු චිත්‍රපට නැරැඹීමක් හෝ සිනමා අධ්‍යයනයකට පමණක් සීමා නොවේ. ප්‍රංශයේ සිනමා උළෙල අගනුවර පැරීසියේ නොතබා කාන් වැනි ඈත මුහුදුබඩ නගරයක පවත් වන්නේ ද, ඉතාලියේ මහ සිනමා උළෙල රෝමයේ නොපවත්වා හතර වටින් ජලය පිරි වැනීසියේ පවත් වන්නේ ද, ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල නවදිල්ලියේ නොපවත්වා ඉන් ඈත ගෝවේ ප්‍රාන්තයේ පන්ජිම් නගරයේ පවත් වන්නේ මන්ද? මේ පසුපස ඇත්තේ දැවැන්ත සංචාරක ව්‍යාපාරයයි. දැවැන්ත ආයෝජන ප්‍රවර්ධන සංකල්පයයි. කොටින්ම සිනමා උළෙලක් එක් අතකින් නංගී පෙන්වා අක්කා දීග දීමක් වැනිය. නංගී රූමත් සිනමාවය. අක්කා රටකට උපයා ගත හැකි ධනස්කන්දයයි. ජාත්‍යන්තර පිළිගත් සිනමා උළෙලකට පැමිණෙන බහුතර සංචාරකයෝ ද විනෝදාශ්වාදයේ උපරිම ඵල නෙළන්නෝ වෙති. වර්තමානයේ ඉන්දියනු සිනමා උළෙලකදී අප විඳින කටුක අත්දැකීම නම් එහි දිනෙන් දින වැඩි වන ආරක්ෂක නීති රීතිය. එය අද ඉන්දියානු සිනමා උළෙලකට නොව ඒ රටෙහි සාමාන්‍ය සිනමා ශාලාවකදී පවා අත් විඳින කටුක අත්දැකීමකි. එහෙත් වර්තමානයේ අප මෙරටදී ඒ අත්දැකීමට මුහුණ පාන්නේ නැත. ආසියාකරයේ සිනමා උළෙලක් පැවැත්වීම සඳහා වඩාත්ම නිදහසේ ඇවිද යා හැකි රට ලංකාව යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එබඳු විටෙක පවත්වන සිනමා උළෙළක අත්දැකීම අනාගත මෙරට සිනමාවට තෝතැන්නක් වීම අනිවාර්ය කරුණකි. සිනමාව යනු එක රටකට සීමා වන්නක් නොවේ. අද ලෝකයේ චිත්‍රපට කර්මාන්තය පවතින්නේ එකිනෙක රටවල් හා මිශ්‍ර වෙමිනි. ඉන්දියානු චිත්‍රපට සඳහා ඇමෙරිකානුවන් ආයෝජනය කරන්නා සේම ඉරාන චිත්‍රපට සඳහා බහුලව ආයෝජනය කරනුයේ ප්‍රංශයය. අප්‍රිකානු සිනමාව සහමුලින්ම රඳා පවතින්නේ ද ප්‍රංශය අතේය. අපේ රටේ ද සමහර චිත්‍රපට සඳහා ප්‍රංශය, ජපානය, ඉන්දියාව හා ජර්මනිය අයෝජනය කළ වග අමතක නොකළ යුතුව ඇත. තවමත් අපේ සිනමාව ආයෝජනයක් ලෙස සලකන කළ එය පවතින්නේ එදා වේල ආර්ථිකයක් හමුවේය. එය ස්ථිරසාර ආයෝජන රටාවකට ගෙන යෑමට මේ ජාත්‍යන්තර සිනමා උත්සව කදිම අවස්ථාවකි. ඒ සමගාමීව පැවැත් විය හැකි සිනමා වෙළෙඳ පොළයි. එය මූල්‍ය ආයෝජකයන් හා සිනමාකරුවන්ගේ හමුවීමයි. එමෙන්ම සංචාරක ප්‍රවර්ධනයේ ද ඒ හා බැඳුණු ව්‍යපාරික කටයුතු සියල්ලක් සඳහා ද ජාත්‍යන්තර සිනමා උත්සවයක් යනු මිල කළ නොහැකි අවස්ථාවකි. එමෙන්ම රටක් පිළිබඳ ප්‍රතිරූපයක් ගොඩ නැංවීමේදී වර්තමාන සිනමා උත්සව ලොව පුරා මහත් බලපෑමක් ඇති කරයි. එබැවින් මෙරට සිනමාකරුවන් හෙළි කළ මේ මාවත ඉදිරියට ගෙන යෑමේ හා ඉන් විපුල ඵල නෙළා ගැනීමේ හැකියාව සියලු බලධාරීන්ගේ වගකීමක් වෙයි. අවසාන වශයෙන් එකක් කිව යුතුය. මේ පරම්පරාගතව දුටු සිහිනය අනාගත පරපුරට ද දායාද කර දීම අතිශය වැදගත් බවයි.

මෙවර ‘සරසවිය’ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා පිටු අටක්ම වෙන් කරන්නේ එහි වටිනාකම දත් බැවිනි. එහි අනාගත දරුවන්ට ද ඉඩක් හිමි විය යුතුය. ඒ ඉඩ සැලසීම මව්පියන් වන අපගේ වගකීමක් ද වන්නේය.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අසුන සොයා ගන්නට ශාලාව ඉදිරියෙහි පෝළිමේ ඉන්නට මම කැමැත්තෙමි. ඔබ ද ඒ පෝළිමේ සිට සම අසුන් ගෙන චිත්‍රපට නරඹනු ඇතැයි දකින්නට මම කැමැත්තෙමි.